මාරු මාරු… රටටමනේ මේ අමාරු

226

පී.බී.හදිස්සියේ ගියේ ඇයි…?

ලේකම්වරු මාරුව හේතුවෙන් දේශපාලනයේදී ලේකම්වරුන්ගේ ජවනිකා පිළිබඳව යළිත් කතිකාවතක් මතුවී තිබේ. ලේකම්වරු ලෙස පත්වන්නේ පාරිපාලන සේවයේ ඉහළම නිලධාරීන්ය. ස්ථිර විධායක ලෙස විධායකයේ අධිකාරිය ක‍්‍රියාත්මක කිරීම සහ මූල්‍ය බලතල මෙම නිලධාරීන් සතුව තිබේ. රාජ්‍ය පරිපාලනයෙන් පිට ලේකම්වරුන් පත් කිරීමේ සම්ප‍්‍රදාය හඳුන්වාදෙන ලද්දේ, ජේ. ආර්. ජයවර්ධන මහතා විසිනි. 65 -70 හත් හවුල් ආණ්ඩුවේ, කැබිනට් අමත්‍යංශයක් වූ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස ජේ. ආර්. පත් කර ගන්නා ලද්දේ, ආනන්ද තිස්ස ද අල්විස්ය. විශේෂත්වය වූයේ ඊට පසුව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති වූ ආණ්ඩුවේ, රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කෝට්ටේ ආසනය නියෝජනය කළ ආනන්ද තිස්ස ද අල්විස්, පත්වීමය.

මෙසේ විකාශය වූ ලේකම්වරුන්ගේ කතාවේ විධායක ජනාධිපතිවරු අරභයා ලේකම්වරු දස දෙනකු පත්වී තිබේ. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ජනාධිපති ලේකම් ලෙස පත් වූයේ ඩබ්ලිව්. එම්. පී. බී. මැණික්දිවෙල මහතාය. ජේ. ආර්. ජයවර්ධන මහතා සිය ජනාධිපති කාල සීමාව පුරාවට එක් ජනාධිපති ලේකම්වරයෙකු පමණක් පත් කරගෙන සිටි හෙයින් මැණික්දිවෙල මහතා 1979 වසරේ සිට 1989 දක්වා ජනාධිපති ලේකම් තනතුර දරන ලද්දේය. රණසිංහ පේ‍්‍රමදාස මහතා ජනාධිපති ලෙස කටයුතු කරන සමයේ ඔහුගේ ලේකම් තනතුර සඳහා පත් වූයේ පේ‍්‍රමදාස මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන විට අගමැති ලේකම්ධුරය දරණ ලද කේ. එච්. ජේ. විජේදාස මහතාය. පේ‍්‍රමදාස මහතාගේ හදිසි අභාවය හේතුවෙන් ජනාධිපතිවරයෙක් නොමැතිව පැය කිහිපයක් ජනාධිපති ලේකම් ලෙස කටයුතු කිරීමේ අත්දැකීම ද ලද විජේදාස මහතා, 1993 මැයි පළමු වැනිදා සන්ධ්‍යාවේම, ඊළඟ ජනාධිපති ඞී. බී. විජේතුංග මහතාගේ ලේකම් ලෙස ද පත්විය. 1989 සිට 1994 දක්වා ජනාධිපති ලේකම් ලෙස ක‍්‍රියා කළ විජේදාස මහතාගෙන් පසුව ජනාධිපති ලේකම් තනතුර සඳහා පත් වන්නේ, කුසුම්සිරි බාලපටබැදි මහතාය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති ධුරය සඳහා පත්වීමෙන් පසු, කුමාරතුංග මහත්මිය අගමැතිනිය ලෙස සිටියදී ඇයගේ ලේකම් ලෙස කටයුතු කළ බාලපටබැදි මහතා ජනාධිපති ලේකම් තනතුර සඳහා පත්වූ අතර, පරිපාලන සේවයෙන් පිටත අයෙකු අගමැති ලේකම් සහ ජනාධිපති ලේකම් ලෙස පත්වූ ප‍්‍රථම අවස්ථාව ලෙස එය සටහන් වේ. 1994-2003 කාලය තුළ ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ බාලපටබැදි මහතා, ජනාධිපතිනිය එම තනතුරේ සිටියදීම එම තනතුරින් ඉවත්ව ඔස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ, ශ‍්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්ව ගියේය.

බාලපටබැඳි මහතාගේ අස්වීමෙන් පසුව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ජනාධිපති ලේකම් ලෙස පත්වූයේ, ශ‍්‍රී ලංකා පරිපාලන කේෂ්ත‍්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ ඩබ්ලිව්. ජේ. එස්. කරුණාරත්න මහතාය. 2003-2005 කාලය තුළ එම තනතුර දරන ලද කරුණාරත්න මහතාගෙන් පසුව ජනාධිපති ලේකම්ධුර සඳහා පත් වූයේ ලලිත් වීරතුංග මහතාය. රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ වීරතුංග මහතා, ඊට පෙර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස කටයුතු කළ සමයේ අග‍්‍රාමාත්‍ය ලේකම් ලෙස කටයුතු කළ අතර, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත්වීමෙන් පසු ජනාධිපති ලේකම් ලෙස පත්විය. 2005-2015 කාල සීමාවේදී ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ වීරතුංග මහතා, වර්තමානයේ ජනාධිපති උපදේශක ලෙස කටයුතු කරමින් සිටියි. කොළඹ මහාධිකරණය විසින් 2015 ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් කෝටි හැටක් වැය කරමින් සිල් රෙදි බෙදා දුන් බවට නීතිපතිවරයා පවරා තිබූ නඩුව අනුව, ලලිත් වීරතුංග මහතා වෙත වසර තුනක බරපතළ වැඩ සහිතව සිරද`ඩුවමක් නියම කළේය. පසුව ඔහු එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් පසුව, ජනාධිපති ලේකම් ලෙස පත්වූයේ, ඊට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ලෙස සේවය කරන ලද පී. බී. අබේකෝන් මහතාය. 2015 වසරේ සිට 2017 දක්වා ජනාධිපති ලේකම් තනතුර දැරූ පසු අබේකෝන් මහතා ජනාධිපති ලේකම් තනතුර සඳහා සමුදුන් අතර, ඉන්පසුව ජනාධිපති ලේකම් ලෙස පත්වන්නේ, 1996 වසරේදී පරිපාලන සේවයෙන් විශ‍්‍රාම ගිය පසුව 2001 දෙසැම්බර් මාසයේදී ආරක්ෂක ලේකම් ලෙස සේවය කළ ඒ මහතා, 2015 යහපාලන රජය සමයේ ජනාධිපති උපදේශක හා නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පෞද්ගලික අංශයේ සිට රාජ්‍ය සේවයට බැඳුණා. අනතුරුව දිසාපතිවරයෙකු ලෙස කටයුතු කළ අතර, 2017 ජුලි මස ජනාධිපති ලේකම් තනතුරට පත්විය. ඔහු එම තනතුරෙන් ඉවත් වන්නේ, 2018 වසරේ මැයි මාසයේදීය. විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ කටයුතු කරමින් සිටි සෙනෙවිරත්න මහතා, එම ධුරයේ සිටියදීම විශ‍්‍රාම ලැබූ අතර ඊට මාස කිහිපයකට පසු ජනාධිපති ලේකම් ලෙස පත්විය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත්වීමෙන් පසු සිය ලේකම්වරයා ලෙස තෝරා ගන්නා ලද්දේ, ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාය. 1994 සිට 2000 දක්වාත් 2005 සිට 2015 දක්වාත් පැවැති රජයන් හි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වූ ආචාර්ය ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත්ව යන බවට ස්ථිරවම තහවුරු වූයේ මේ සතියේදීය. ඒ මහතා සම්බන්ධයෙන් විවිධ දේශපාලන නායකයන් චෝදනා මුඛයෙන් කතා කරන ලද්දේ මුත්, ආර්ථිකය හැසිරවීම සම්බන්ධයෙන් ඔහු දරන ලද පරිණතභාවය විශේෂ ඇගයීමකට ද ලක්ව තිබුණි. නිෂ්පාදන ආර්ථිකයක් සඳහා ඔහු සිය සේවා කාලය තුළ කරන ලද සේවාව හේතුවෙන් සහ යුද සමයේදී ආර්ථිකය නගා සිටුවීම සම්බන්ධයෙන් ද ඔහු වෙත බොහෝ පාර්ශ්වයන්ගෙන් ප‍්‍රශංසා හිමිවිය. ජයසුන්දර මහතා පුද්ගල ඇසුරේදී දක්වන දුරස්ථභාවය හේතුවෙන් බොහෝ මැති ඇමැතිවරු සහ නිලධාරීන් ඒ මහතා සම්බන්ධයෙන් සුහදශීලී තත්ත්වයක නොසිටි අතර, දැඩි නිලධාරියෙකු ලෙස ද ඔහු විවේචනයට පාත‍්‍ර වී තිබුණි. මේ හේතුවෙන් ඒ මහතා වෙත ජනාධිපති ලේකම් තනතුරෙන් ඉවත් වන ලෙස අවස්ථා ගණනාවකදීම ප‍්‍රසිද්ධියේ මෙන්ම අප‍්‍රසිද්ධියේද බලපෑම් එල්ල වන්නට පටන් ගෙන තිබුණි. මේ සඳහා ප‍්‍රබල බලපෑමක් පසුගිය කාලය පුරාම එල්ල වී තිබූ අතර දැනට ලැබී ඇති ආරංචි මාර්ග අනුව කියවෙන්නේ ආචාර්ය ජයසුන්දර මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. තමන් ධුරය දැරූ කාලයේ දී මුහුණ පාන ලද ගැටලූ හා දුෂ්කරතා ගැන ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇතැයිද සඳහන්ය. ඒ අනුව ජනවාරි මස 31 වැනිදා තමන්ට ධුරයෙන් ඉල්ලා අස්වීමට අවසර පතන බවද ඔහු සඳහන් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරන අතර තවත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු මේ වසරේ දෙසැම්බර් 31 වෙනිදා සිට සිය තනතුරෙන් අස්වනු ඇති බවය. නව ජනාධිපති ලේකම් ලෙස අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා පත්වනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ප‍්‍රථම උපාධිය හදාරා ඇති ගාමිණී සේදර සෙනරත් මහතා 1984 වර්ෂයේදී ශ‍්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳව පශ්චාත් උපාධිය සහ ඇමරිකානු රජය පිරිනමන නායකත්වය පිළිබඳව ආරාධිත ශිෂ්‍යත්වය ඇතුළු විදේශ පාඨමාලා ගණනාවක් හදාරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවය කළ පසුව මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස්වරයා ලෙස ද ඒ මහතා සේවය කළේය.

මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස 2004 වසරේදී පත්වීමෙන් පසු ඒ මහතා, අගමැති අතිරේක ලේකම් ලෙස ද පසුව ජනාධිපති අතිරේක ලේකම් සහ ජනාධිපති කාර්ය මාණ්ඩල ප‍්‍රධානි ලෙස ද වසර ගණනාවක් කටයුතු කළ කෘතහස්ත නිලධාරියෙකි. විශේෂයෙන් එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට එරෙහිව සටනේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග තිරය පසුපස විශාල සේවයක් ඉටු කරන ලද රටේ ආර්ථික සංවර්ධනය උදෙසා ද විශාල දායකත්වයක් ලබා දුන්නේය. ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථා රජයට පවරා ගත් පසු එහි සභාපති ලෙස පත්වූ ඒ මහතා, එතෙක් ෂෙල් සමාගම සතුව තිබූ

ගෑස් සමාගම රක්ෂණ සංස්ථාවේ කොටස් සහිත ලිට්‍රෝ ගෑස් සමාගම වෙත මිලදී ගැනීමෙන් පසු එය ලාභ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කළ අතර, රක්ෂණ සංස්ථාව යටතේ තවත් ආයතන ගණනාවක් ස්ථාපිත කරමින්, අධිවේගී මාර්ග සේවා සැපයුම, කොළඹ සහ තවත් ප‍්‍රදේශ ගණනාවක තරු පන්තියේ හෝටල් සංස්ථා ආදිය සඳහා නායකත්වය ලබාදුන්නේය. එසේම මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ සේදර සෙනරත් මහතාට එරෙහිව යහපාලන රජය සමයේ නඩු පවරන තිබුණි. කිහිපවිටක්ම ඒ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පැවති පාලනය උත්සාහ දරන ලද්දේය.

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීම ඇතුළු සියලූ අධිචෝදනාවලින් ගාමිණී සේදර සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට බස්නාහිර පළාත්බද පළමු ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළ අතර, විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති කිසිදු අධි චෝදනාවක් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවට ඒකමතිකව නිගමනය කළ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඬුල්ල, නඩුවට පාදක වූ ගනුදෙනු සිදුකළ ලිට්‍රෝ ගෑස් සමාගම කැන්විල් හෝල්ඩින්ස් සමාගම, හෙලැන්කෝ සමාගම සහ සිනෝ ලංකා සමාගම ඇතුළු සමාගම්, සමාගම් පනත යටතේ ස්ථාපිත කර ඇති සමාගම් පනත යටතේ පවත්වාගෙන යන ආයතන වන බැවින් එකී සමාගම් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය එහි අධ්‍යක්ෂ මණ්ඩල සතුව ඇතැයි පෙන්වා දුන් විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය. පළමුවැනි හා දෙවැනි විත්තිකරුවන් වන ගාමිණී සෙනරත් හා පියදාස කුඩාබාලගේ යන විත්තිකරුවන් දෙදෙනා කටයුතු කර ඇත්තේ එකී සමාගම්වල ප‍්‍රවර්ධනය වෙනුවෙන් බවත් ප‍්‍රධාන මූල්‍ය නිලධාරියා වන තුන්වන විත්තිකාර කොක්කාවිට ලියනගේ ලසන්ත බණ්ඩාර නමැත්තා කටයුතු කර ඇත්තේ සිය සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ විසින් ලබාදෙන ලද උපදෙස් අනුව රාජකාරී වගකීමක් ඉටුකිරීමක් පමණක් බවත් තීන්දු කළහ. සමාගමේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා තීරණ ගැනීමේ බලය සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරෙන බවත් එවැනි තීරණවලදී ලාභ මෙන්ම අලාභ ද සිදුවීම වැළැක්විය නොහැකි බවත් පිටු 283 ක් වූ තීන්දු ප‍්‍රකාශය මඟින් පෙන්වා දුන් විනිසුරු මඬුල්ල දෙවැනි විත්තිකරු විසින් ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදල් කැන්විල් හෝල්ඩින්ස් සමාගමට ප‍්‍රථමයෙන් බැරකර දෙවනුව හෙලැන්කෝ සමාගමට යොමුකර ඇත්තේ චේතනාන්විතව සාපරාධී විශ්වාසය කඩකිරීමේ අරමුණින් බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔප්පු කොට නොමැතිවීම ද තම අධිකරණය සැලකිල්ලට ගත් බව පෙන්වා දී තිබිණි.

ඒ අනුව නොදොස් කොට නිදහස් වූ ගාමිණි සේදර සෙනරත් මහතා, මීළඟ ජනාධිපති ලේකම්වරයා ලෙස පත්වනු ඇත.

මේ ආණ්ඩුවේ ලේකම් මාරු බහුලව සිදු වූයේ, කෘෂිකර්ම අමාත්‍යාංශය මූලික කර ගනිමිනි. වත්මන් රජයේ පාලන කාලය අතරේ පසුගිය මාස 25ට කෘෂිකර්ම ලේකම්වරුන් පස් දෙනකු පත්කෙරිණි.

  • 2019 නොවැම්බර් – රවීන්ද්‍ර හේවාවිතාරණ

(මාස 9)

  • 2020 අගෝස්තු – මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා (මාස 7)
  • 2021 මාර්තු – රෝහණ පුෂ්පකුමාර (මාස 3)
  • 2021 ජූනි – මහාචාර්ය උදිත්. කේ. ජයසිංහ (මාස 6)
  • 2021 දෙසැම්බර් – ඞී. එම්. එල්. ඞී. බණ්ඩාරනායක

ලෙස එම පත්වීම් සිදුවිය. රජයේ අතිශය සාධනීය වූ කාබනික පොහොර ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරගැනීම සඳහා වූ අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම ලේකම් මාරුව සිදුවිය. කෙසේ වෙතත් දැනට ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, බොහෝ විට නව වසරේදී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවිය හැකි බව සහ නව ලේකම්වරු ගණනාවක් පත්වීමට නියමිත බවය. ජනමාධ්‍ය අමාත්‍යංශයේ වත්මන් ලේකම්, ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන ජගත් විජේවීර මහතා විශ‍්‍රාම යෑමෙන් පසු නව වසරේදී ඒ සඳහා තවත් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන අනුෂ පැල්පිට මහතා පත්වීමට නියමිතය. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරය දරන සැලසුම් සහ ප‍්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන පැල්පිට මහතා, එම අමාත්‍යාංශය අලූතින් ගොඩ නගන අතරේම, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්වීම හේතුවෙන් ඔහු වෙත අමාත්‍යාංශ දෙකක, ලේකම් ලෙස එකවර සේවය කිරීම සඳහා අවස්ථාව උදාවනු ඇත. ගාමිණි සෙනරත් මහතා ජනාධිපති ලේකම් ලෙස පත්වීමෙන් හිස් වන අග‍්‍රාමාත්‍ය ලේකම් ධුරය සඳහා තවත් පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අනුර දිසානායක මහතා පත්වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment