මාලදෙණියම මළගෙයක් කළ ඝාතකයා අතටම මාට්ටු

1116

මව පියා සහ මන්දමානසික
පුත්‍රයා නිදිපැදුරේම මරා දමලා
සැකකරු ඥාති පුත්‍රයෙක්
අපරාධකරු ඇල්ලූ පොලිසියේ තිදෙනාට මුදල් තෑගි

මීරිගම, මාලදෙණිය පාරේ නිවසක සිටි මවක, පියකු සහ මන්දමානසික පුත්‍රයා සාහසික ලෙස ඝාතනය කර ඔවුන් සතුව තිබූ මුදල් සහ රන් ආභරණ කොල්ලකාගෙන පලායමින් සිටි පුද්ගලයකු අපරාධය සිදුවී පැය 2ක් ගත වන්නටත් පෙර නාල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (19දා) අලුයම 2.40ට අත්අඩංගුවට ගෙන ඇත.

ගව සොරකමේ යෙදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකට එක්ව සිටි නාල්ල පොලිසියේ නිලධාරීන් තිදෙනකු ඊයේ අලුයම් කාලයේ සැකකටයුතු අන්දමින් මහමගයමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම ත්‍රිත්ව ඝාතනය පිළිබඳ තොරතුරු හෙළි වී ඇත.

මාලදෙණියම මළගෙයක් කළ ඝාතකයා අතටම මාට්ටු

පසුව එම අපරාධකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබී කොල්ලකන ලද රන් ආභරණ සහ රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල් ද සොයා ගැනීමට හැකි වී තිබේ.

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ 77 හැවිරිදි එන්. ලාල් ප්‍රේමසිරි (පියා), 81 හැවිරිදි ලීලාවතී ජයලත් මැණිකේ (මව), 42 හැවිරිදි එන්. සුමුදු ප්‍රියශාන්ත (මන්දමානසික පුත්‍රයා) යන අය බව පොලිසිය පවසයි. හොර හරක් ජාවාරම සම්බන්ධව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් මීරිගම, නාල්ල පොලිසිය මඟින් ඊයේ අලුයම සිට ක්‍රියාත්මක කර සිට ඇත.

නාල්ල පොලිසියට අනුයුක්ත සැරයන්වරුන් වන (33008) පතිරණ, (55461) චන්ද්‍රසිරි සහ කොස්තාපල් (81112) සේනාධීර යන නිලධාරීන් ත්‍රිරෝද රථයක නැඟී නාල්ල අලුයම 2.40ට පමණ කොටදෙණියාව මාර්ගයේ ගොස් ඇත. ඒ අවස්ථාවේ පාපැදියක් තල්ලු කරගෙන ජැකට්ටුවක් ද පැලඳි පුද්ගලයකු මහමග ගමන් කරනු දැක ඔහු නවතා ප්‍රශන කර තිබේ. එහිදී මෙම පුද්ගලයා පවසා ඇත්තේ තමන් මේසන් බාස් කෙනෙකු බවත් කොන්ක්‍රීට් දැම්මේ කාර්යයක නිරත වී සිට නිවස බලා යමින් සටින බවත්ය.

එහෙත් මෙම පුද්ගලයාගේ ක්‍රියාකලාපය සහ හැසිරීම පිළිබඳ සැක පහළ කළ පොලිස් නිලධාරීන් ඔහු සතුව තිබූ ගමන් බෑගය පරීක්ෂා කර ඇත. එම බෑගයේ රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක්, රන් මාලයක් සහ මුදු දෙකක් තිබී ඇත. එමෙන්ම සැකකටයුතු පුද්ගලයා රැගෙන යන පාපැදිය ද කලකින් පාවිච්චි නොකළ මකුළුදැල් බැඳුණු එකක් බව ද නිරීක්ෂණය වී තිබේ.

මෙම පුද්ගලයා පිළිබඳ සැක කළ පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඉතාම කලහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගෙන ඇත. ඔහු පොලිස් නිලධාරීන්ට පහර දී පලායෑමට ද උත්සාහ කර තිබේ. එහෙත් මෙම නිලධාරීන් තිදෙනා ඉතාම සූක්ෂ්ම ලෙස ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව සැකකරු අත්අඩංගුවට ගෙන නාල්ල පොලිසිය වෙත රැගෙන ගොස් ඇත. ඒ වනවිට අලුයම 3.40ට පමණ වී තිබේ.

සැකකරු සතුව තිබී මාලදෙණිය ප්‍රදේශයේ නිවෙසක ලිපිනයක් සොයා ගත් පොලිස් නිලධාරීන් කිසියම් අපරාධයක් සිදුවී ඇති බවට සැකකර එම නිවස වෙත ගොස් පරීක්ෂා කර තිබේ.

ඒ වනවිට නිවසේ ඉදිරියේ දොර අඩක් විවෘත කර තිබී ඇත.

නිවසේ සාලය කොටසේ ආබාධිත පුද්ගලයකු ඝාතනයට ලක්ව සිට ඇති අතර ඔහුගේ මව සහ පියා යාබද කාමරයක ඝාතනය කර සිටිනු පොලිස් නිලධාරීන් දැක තිබේ.

මොවුන් තිදෙනාම ගෙල සිරකර පහර දී ඉතාම සාහසික ලෙස ඝාතනය කර තිබූ බවට නිරීක්ෂණය වූ බව පොලිසිය පවසයි. පසුව මේ පිළිබඳව නාල්ල පොලිසිය වෙත දැනුම් දුන් පොලිස් නිලධාරීන් ඉදිරි විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම ත්‍රිත්ව ඝාතනය සිදු කළ බවට සැකකරන පුද්ගලයා වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකි. බටහදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු ඝාතනයට ලක්වූ ලාල් ප්‍රේමසිරිගේ ඥාති දියණියක සමග විවාහ වී සිටි අයෙකි.

මොහු සති දෙකකට වතාවක් පමණ සිය බිරිඳගේ නිවසට පැමිණෙන්නට පුරුදුව සිට ඇත. බිරිඳගේ නිවස පිහිටා ඇත්තේ ඝාතනයට ලක්වූ ලාල් ප්‍රේමසිරිගේ නිවසට යාබදවය. විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට සැකකරු පෙරේදා රාත්‍රි මාලදෙණිය ප්‍රදේශයට පැමිණ ඇත්තේ තම බිරිඳට හොර රහසේය.

ඊයේ අලුයම් කාලයේදී මොහු ලාල් ප්‍රේමසිරිගේ නිවසට ඇතුළු වී මෙම අපරාධය කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

මෙම ඝාතන සිද්ධියේ අපරාධකරු ඇල්ලූ පොලිස් නිලධාරීන් තිදෙනාට රුපියල් ලක්‍ෂ 2 බැගින් මුදල් ත්‍යාග පිරිනැමීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ තීරණය කර තිබේ.

ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ උපදෙස් මත නාල්ල පොලිස් ස්ථානාධිපති ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු, වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment