මාලබේ නිවසකදී විස දුමක් ආඝ්‍රාණය වූ දෙදෙනෙක් රෝහලේදී මරුට

243

මාලබේ, කහන්තොට පාර, ජයන්ති මාවතේ නිවසක් තුළදී පෙරේදා (13 දා) පස්වරුවේ කිසියම් රසායනික ද්‍රව්‍යයක් තුළින් ආ විෂ දුම ආඝ්‍රාණය වී පුද්ගලයන් දෙදෙනකු මියයෑම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව මාලබේ පොලිසිය පවසයි.

එම රසායනිකය කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, එය හඳුනා ගැනීම සඳහා රස පරීක්ෂක වෙත යොමු කර ඇති බවත් පොලිසිය කියයි. මෙම සිද්ධිය වාර්තා වීමෙන් පසු එම ස්ථානයට ගිය මාලබේ පොලිස් නිලධාරීන්ගෙන් අයකුද එම රසායනිකය ආඝ්‍රාණය වී රෝගාතුරව රෝහල්ගත කෙරුණු බව ද පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 64 හා 42 යන වයස්වල පසුවන දෙදෙනෙකි.

මොවුන් දෙදෙනා යම් කිසි රසායනික ද්‍රව්‍ය කීපයක් කලවම් කිරීමට යෑමේදී එම විෂ වායුව තුළින් පිට වූ විෂ දුම ආඝ්‍රාණය වීමෙන් ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මියගොස් ඇත.

මියගිය දෙදෙනා පිළිබඳ මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවැති බවත්, පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සිදුකිරීමට නියමිතව තිබූ බවත් පොලිසිය පවසයි.

මාලබේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment