සමෘද්ධිය වගේ තුන් ගුණයක් අස්වැසුම දුන්නා
සංචිත තිබෙන නිසා වාහන ආනයන සීමා ලිහිල් කළා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෑගල්ලේදී කියයි
කබීර් ජනපති ළඟට එන්න ආසයි බයයි – තලතා අතුකෝරළ
චාන්ස් එකක් දෙන්නැයි ඉල්ලන මාලිමාවට අවස්ථාවක් දුන්නොත් සිදුවන්නේ ජනතාවගේ ‘චාන්ස් එක’ ගිලිහී යෑම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෑගල්ලේදී පෙරේදා (14 දා) පැවසීය.
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ඔවුන් ඉදිරිපත් කරන අයවැය මගින් අයි.එම්.එෆ්. කොන්දේසි සියල්ල කැඩී ගොස් ජනතාවගේ ස්ථිර අනාගතය විනාශ වී යන බවද ජනාධිපතිවරයා කීය.
මාලිමාවට චාන්ස් එකක් දී අනාගතය නැති කරගන්නවාද? නැතිනම් රට ශක්තිමත් ස්ථිර අනාගතයකට ගෙන යනවාද? යන කාරණය ජනතාව විසින් තීරණය කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.
කෑගල්ල ජනරැලියට අමතරව මෙදින ජනාධිපතිවරයා යාපනයේ සහ මාතලේ ජනරැලිවලටද සහභාගී විය.
මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 13 දා පුත්තලම සහ බේරුවල ප්රදේශවලද ජන රැලි පැවැත්විණි. එම ජනරැලි අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
‘ජනාධිපතිවරණයේ අන්තිම සතියට ඇතුළු වී තිබෙනවා. මං රට භාර ගනිද්දී කවුරුවත් හිටියේ නැති වුණත් අද තිස්අට දෙනෙක් ජනාධිපති ධුරය ගන්න ඉදිරිපත් වී සිටිනවා.
එදා එක්කෙනෙකුටවත් ඔබ විඳින දුක තේරුණේ නෑ. ගෑස් නැති දුක, ආහාර නැති දුක, ඩීසල් නැති දුක, බෙහෙත් නැති දුක, දරුවන්ගේ දුක, පාසල් යන්න බැරි දුක, ඒ එක්කෙනෙකුටවත් තේරුණේ නෑ. අද ඇවිල්ලා ජනතාව ඇන්දුවාට ඔවුන් එදා හැංගිලා හිටියේ කෙහේද? ඇඳ යටද? පැනලා ගියාද?
හරි නම් ජනතාව දුකේ සිටියදී අතහැර දමා පලා ගිය සියලු ජනාධිපති අපේක්ෂකයන් පැමිණ පලායන්නට හේතු කියා ජනතාවගෙන් සමාව ගත යුතුයි.
මේ රටේ ජනතාව අතහැර ගිය නායකයන්ගෙන් තිබෙන ප්‍රයෝජනය මොකක්ද? අප මූල්‍ය අරමුදලට ගියා. අමාරු තීරණ ගත්තා. රටේ ණය බර දරාගන්න බැරි නිසා ණය ගන්න එපා යැයි මූල්‍ය අරමුදල කිව්වා. මුදල් අච්චු ගහන්න එපා කිව්වා. බැංකුවෙන් ණය ගන්න එපා කිව්වා. කෙසේ හෝ අප රුපියල ශක්තිමත් කළා පළමුවෙන්ම අප වියදම් කප්පාදු කළා. අමාරුවෙන් හෝ බදු වැඩි කිරීමේ තීරණය ගත්තා. බඩු මිල දෙගුණයක් බවට පත්වුණා.
බදුවලට සරිලන පරිදි ආදායම වැඩි වුණේ නැහැ. ඇතැම් විට මට කුණුහරුපෙන් පවා බැන්නා. අපේ ආදායම වැඩි වුණාම රුපියල ශක්තිමත් වුණා. එවිට සමහර භාණ්ඩ මිල සියයට දහයේ සිට හතළිහ දක්වා අඩුවුණා.
ජනතාව විඳින දුක මම දන්නවා. මේ ලේසි පහසු කාලයක් නොවේ. එහෙත් අපට තියෙන බර ටිකෙන් ටික සැහැල්ලු කරනවා. පළමුවෙන්ම සමෘද්ධිය වගේ තුන් ගුණයක අස්වැසුම දුන්නා. රජයේ සේවකයන්ගේ දීමනා වැඩිකර තිබෙනවා. පොහොර සහනාධාරය ලබා දී තිබෙනවා. විශ්‍රාම වැටුප් වැඩිකර තිබෙනවා. වැඩිහිටියන් සඳහා සහන ලබාදී තිබෙනවා.
හැකි අයුරින් රුපියල ශක්තිමත් කර බඩු මිල අඩු කිරීම සහ ආදායම වැඩි කිරීම මගේ සැලසුමයි. එන වසර වන විට ජීවන බර සැහැල්ලු කරන බව මා පවසනවා.
වාහන ආයනයනය කිරීමේ තහනම ඉවත් කර තිබෙනවා. විදේශ විනිමය සංචිතයේ මුදල් තිබෙන නිසා එය කළා. ගිය වසරේ මුදල් තිබුණේ නැහැ. දෙවනුව ආදායම් බදු සීමාව පන් ලක්ෂයේ සිට හත් ලක්ෂ විසි දහස දක්වා වැඩි කළා. ඒ සම්බන්ධයෙන් අප සෑහෙන සහනයක් ලබා දෙනවා.
මේ ප්‍රදේශයේ බීඩි කර්මාන්තය සම්බන්ධ ප්‍රශ්න විසඳීම සඳහා ක්‍රියා කරනවා. පියවරෙන් පියවරට ඒ සහන ලබා දෙනවා. ඔබේ අනාගතය ගැන චාන්ස් එකක් ගන්නවද? ස්ථිර අනාගතයකට යනවද?
ඔවුන්ට චාන්ස් එකක් දෙන්නැයි මාලිමාව කියනවා. ඔවුන්ගේ අයවැය දිහා බැලුවොත් අයි.එම්.එෆ්. කොන්දේසි සියල්ලම කැඩෙනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව කෝටි දහදාහක අයවැය හිඟයක් තිබෙනවා. මාලිමාවේ ප්‍රතිපත්ති අනුව කෝටි හතළිස් දාහක අයවැය හිඟයක් තියෙනවා. මේ අනුව අයි.එම්.එෆ්. සහනය නැති වේවි. එවිට ඩොලරයට රුපියල් 500 ක් ගෙවන්න වෙනවා. මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. ඔවුන් කියන පරිදි රට ගෙනියන්න මුදල් තියෙන්නේ කොහෙද? හොරු අල්ලනවලු. හොරු ඇල්ලුවත් නඩු දාන්න අවුරුදු පහක් යනවා. ඉතින් අයවැය හදන්නේ හුළංවලින්ද?
ඔවුන් ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ නෑ. බනින එක පමණයි කරන්නේ. කරන්නේ මේවට උත්තර දෙන්නේ නැහැ.
පාලකය මුකුත් කරේ නෑ කියනවා. මේ අයගේ කන් ඇහෙනවද? ඇස් පේනවද? කියා අපි දන්නේ නැහැ. 1948 පාසල් 3,188යි, අද පාසල් හා පිරිවෙන් 11,300ක් තිබෙනවා. එදා ශිෂ්‍යයන් ලක්ෂ 13යි. අද ලක්ෂ 44යි. ලැජ්ජා නැතිව කියනවා මොකුත් කළේ නැහැ කියලා. එදා රජයේ විශ්වවිද්‍යාල එකයි තිබුණේ. අද විශ්වවිද්‍යාල 17ක් තිබෙනවා. අනුර අධ්‍යාපනය ලැබූ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ගොඩනැඟිලි ලබා දුන්නේ මමයි. අද එම්.බී.එස්. උපාධිධාරින් 1278කුත්, ඉංජිනේරු උපාධිධාරින් 1,600කුත් වාර්ෂිකව බිහි වෙනවා.
1950 වන විට අපේ අපනයන ආදායම ඩොලර් මිලියන 470යි, අද ඩොලර් බිලියන 16යි. වාරි කර්මාන්තය යටතේ 1948දී අක්කර අට ලක්ෂ හැත්තෑ පන්දහසක් අස්වැද්දුවා. අද අක්කර විසි ලක්ෂයක් අස් වද්දනවා.
මොවුන් බොරු කියන්නේ වෛරය ඇති කරන්න. තමන්ට විසඳුමක් නැති නිසා තමන් කෑදර නිසා බලය ගැනීම සඳහා බොරු කියනවා. මේ අයට චාන්ස් එකක් දීලා ඔබේ චාන්ස් එක නැති කරගන්නවද?
සජබෙට ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකක් තියෙනවා. ඒ දෙකේ තියෙන දේවල් පරස්පර විරෝධීයි. සජිත් ප්‍රේමදාස වේදිකාවට ඇවිත් මොකක් හරි නොමිලේ දෙන බව කියනවා. ප්‍රතිපත්ති ප්රකාශනවල ඒ කතා නැහැ. අපි අලුත් ආර්ථිකයක් හදනවා. රැකියා දෙනවා. කෘෂිකර්මය නවීකරණය කරනවා. සංචාරක ව්‍යාපාරය දෙගුණයක් කරනවා ඩිජිටල් කර්මාන්තයද ඇති කරනවා. එතැන් සිට අපි ඉදිරියට යමු යැයි ජනාධිපතිවරයා කීය.
අලි සබි්ර – ලබන සැප්තැම්බර් 21වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය ඉතාමත්ම තීරණාත්මක මැතිවරණයක්. ඒ මැතිවරණයේදී ඡන්දය දිය යුත්තේ කාටද යන්න බුද්ධිමත්ව ගත යුතු තීරණයක්.
අපේ රටේ ආර්ථිකය දියුණු කරනවද? නැත්නම් කඩා වට්ටෝනවද? යන කාරණයට මේ මැතිවරණයේ ප්‍රතිඵල ඍජුව බලපානවා.
වසර 2022 ආර්ථිකය කඩා වැටිලා රට දුවන්නේ නැති වෙලාවෙ රට භාරගත්ත නායකයාට රටේ අනාගතයේ භාර දෙනවද? නැත්නම් ඒ අභියෝගයට බයේ පැනලා ගිය නායකයින්ට රටේ අනාගතය භාර දෙනවද? ඔබ තීන්දු කළ යුතුයි
අභියෝග භාර නොගෙන පැන දුවපු එවැනි නායකයින්ට තමුන්නාන්සේලා රටේ අනාගතය භාර දෙන්නැති බව විශ්වාසයි.
වසර 76ක සාපයක් ගැන අනුර කුමාර කියනවා. වසර හැත්තෑ හයක් කිසි ආණ්ඩුවක් කිසිම දෙයක් රටට කළේ නෑ කියලා කියනවා.
රංජිත් සියඹලාපිටිය –
ආර්ථික වශයෙන් කඩා වැටුණු රට ක්‍රමානුකූලව ගත වූ අවුරුදු දෙකේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ගොඩට ආවා.
ඉදිරි දින හතර පහ මීටත් වඩා කැපවීමෙන් උනන්දුවෙන් වැඩ කරන්න ඕන. අපේ ජයග්‍රහණ ස්ථිරයි. විජයග්‍රහණයකින් නිමා කරන්න අපි උනන්දු වෙන්න ඕන.
අනුර කුමාර දිසානායක මෙතෙන්ට ඇවිල්ලා එයා ළඟ අපේ ෆයිල් තියෙනවා කිව්වා. මහජන දේපළ හොරා කෑවා කිව්වා. මං එයාට අභියෝග කරනවා පුළුවන්නම් ඔයාගේ ෆයිල් අරන් අපිට නඩු දාන්න කියලා.
තාරක බාලසූරිය –
පුළුවන් ශ්‍රී ලංකා ජනාධිපතිවරණ මැතිවරණ ප්රචාරක රැළි ප්‍රධාන වශයෙන් තුනක් කෑගල්ල දිස්ත්‍රික්කයේ තිබ්බා. ඒ තුනටම අති විශාල ජනතාවක් සහභාගි වුණා.
ජනතාව ඇවිල්ල කියන්නේ ඔබතුමාට ඡන්දෙ දෙන්න අපි සූදානම් කියලා. කිසිම බයක් සැකක් හිතාගන්න එපා. අපි අති විශිෂ්ට ලෙස කෑගල්ල දිස්ත්‍රික්කය ඔබතුමාට දිනවා දෙනවා. අපි ඊට පස්සේ ඔබතුමා කෑගල්ලට නැවත ගෙන්වා පිළිගැනීමේ උත්සවයක් පවත්වනවා. ඒ අතර කෑගල්ලේ සංවර්ධනයේ වැඩසටහන් කිහිපයක් විවෘත කරනවා. ඒවායේ වැඩ දැනටමත් ඉවරයි. ඡන්දය නිසා වැඩ නතර වෙලා තිබ්බ ඒවා විවෘත කරන්න බැහැ.
තලතා අතුකෝරළ –
තමුන්නාන්සේලා දන්නවා, කෑගල්ල දිස්ත්‍රික්කයේ මගේ හොඳ යාලුවෙක් ඉන්නවා. එතුමා ජනාධිපතිතුමා ළඟට එන්න කැමතියි. සජබේ හිටියත් ජනාධිපතිතුමා එක්ක කතා කරනවා. එතුමාට හොඳ මොළයක් තියෙනවා. අපේ කබීර් හෂීම් මන්ත්‍රීතුමා.
එතුමා ජනාධිපතිතුමා ළඟට එන්න ආසයි බයයි. එතුමාට මොළේ තිබ්බට කොන්දක් නෑ. මම කොන්ද පණ තියෙන කෙනෙක් හැටියට සියලු මන්ත්රීකම් දාලා මෙතුමාට උදව් කරන්න ආවා.
රාජිකා වික්‍රමසිංහ –
අද මුළු කෑගල්ලම ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයට ඒකරාශී වෙලා තියෙනවා. අපි මේ ශක්තිය 21 දා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබාදී පෙන්නමු.
උදයකාන්ත ගුණතිලක –
අපේ ප්‍රධාන වැවිලි බෝගේ රබර්. රබර් කිරි කපන්න නොදන්න අයට කිරිකට්ටියක් කවුරුත් දෙන්නේ නෑ. ඒවගේම මේ ඡන්දෙදි කෑගල්ලේ අපි නොදන්න අයට බලය දී අත්හදා බැලීම් කරන්නෑ.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.
චමින්ද සිල්වා, කෑගල්ල – එම්. බී. පහළවත්ත, බුලත්කොහුපිටිය – වසන්ත සමයවර්ධන, පුත්තලම – නලීන් හෙන්දුරුගොඩ සහ මහවැව – අමරනන්ද විජේසේකර