මාලිමාවේ ඉන්දීය ගමන රටට – හෙටට කොහොමද

389

යම් හෙයකින් ශ්‍රී ලංකාවෙහි වෙළෙඳපොළ සහ ශ්‍රම වෙළෙඳපොළ යන අංශ ද්විත්වයටම ඉන්දියාව පිවිසුණහොත් ශ්‍රී ලංකාවේහි දිළිඳු ජනයාහට යන එන මං නොමැති වන්නා වූ තත්ත්වයක් උද්ගත වීමටද ඉඩ ඇත. මේ හේතුවෙන් මෙම ගිවිසුම පිළිබඳව පසුගිය කාල වකවානුවෙහි ශ්‍රී ලංකාව තුළ බොහෝ සෙයින් කතාබහට ලක් විය. එම නිසා මෙම

ගිවිසුම මේ ආකාරයටම ඉදිරියට ගෙන යෑමට මාලිමාවට හැකියාවක් ද නොමැති වේ. එසේනම් මෙම ගිවිසුම සර්ව සාධාරණ දෙපාර්ශ්වයටම ඉඩකඩ විවර වන ගිවිසුමක් බවට පරිවර්තනය කර ගැනීමට මාලිමාව කටයුතු කළ යුතුය.

මාලිමාවේ ඉන්දීය ගමන රටට - හෙටට කොහොමද

පසුගිය දිනෙක අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගයෙහි ප්‍රධානීන් පිරිසක් ඉන්දියාවෙහි නිල සංචාරයක යෙදීම දේශපාලන වේදිකාවෙහි පුවත් මවන්නා වූ මාතෘකාවක් බවට පත්විය. මෙම සංචාරය පිළිබඳව පක්ෂව සහ විපක්ෂව බොහෝ අදහස් සමාජය තුළ සංසරණය විය. මේ සම්බන්ධයෙන් ප්‍රකට දේශපාලන විශ්ලේෂකයකු වන අශෝක අභයගුණවර්ධන මහතා දක්වන ලද අදහස් ඔස්සේ සම්පාදිත ලිපියකි.

ලෝකයෙහි රටවල් අතරින් ශ්‍රී ලංකාවෙහි දේශපාලන තත්ත්වය පිළිබඳව සහ අනාගත දේශපාලන පෙළගැසීම් පිළිබඳව ඉතාමත් උද්යෝගයෙන් සහ උනන්දුවෙන් සිටින්නා වූ ප්‍රධානතම රටක් ලෙස ඉන්දියාව හැඳින්විය හැකිය. මෙම උනන්දුව සහ උද්යෝගය වඩාත් ඉහළ යෑමට හේතු වී තිබෙන්නේ අසල්වැසි රටක් වන මාලදිවයින මුළුමනින්ම පාහේ ඉන්දියා අවුට් සටන් පාඨය දෙසට යොමු වෙමින් සිටින බැවිනි. එබැවින් ශ්‍රී ලංකාවල ඉන්දියාවට පවත්නා එක් විකල්පයක් බව පැහැදිලි වේ. එවැනි පසුබිමක ඉන්දියානු රජය විසින් මාලිමාවට නිල ආරාධනයක් යොමු කිරීම පසුපස හෙළිදරව් කර ගැනීමට කිසියම් වූ කාරණාවක් නොතිබේ නම් එය විශ්මයට කරුණකි. එළඹෙන මැතිවරණයන්හිදී මාලිමාව සිංහල ඡන්දවලින් 65්‍ර කට වඩා ලබා ගැනීමට වැඩි ඉඩකඩක් පවතින්නා වූ වාතාවරණයක් නිර්මාණය වී තිබෙන බව ඉන්දියාවේ බුද්ධි අංශ පවා දන්නා කරුණක් බවට කිසියම් රාවයක් ද පැතිරී යයි. මෙවැනි වාතාවරණයක් තුළ සිට ඔවුන් අනුර කුමාර දිසානායක මහතාට තම රටෙහි සාකච්ඡාවක් සඳහා නිල ආරාධනයක් සිද්ධ කරන ලද්දේ කිසියම් පදනමක් සහිතව බව නොඅනුමාන ය. මන්ද යත් පසුගිය වසරවල මෙන් නොව යම් හෙයකින් ඉන්දියානු විරෝධී කක්ෂයකට මාලිමාව ගමන් කළහොත් දමිළ මුස්ලිම් ඡන්ද මාලිමා විරෝධී අපේක්ෂකයන් හට ලැබීමට සලස්වන වාතාවරණයක් තුළ වුවද මාලිමාව ජයග්‍රහණය ලැබීමට ඉඩකඩ සහිතය. එසේ වුවහොත් ගෝඨාභය රාජපක්ෂල මහින්ද රාජපක්ෂ වැනි නායකයන් මෙන් නොව මාලිමාව හරහා එල්ල වන්නා වූ ප්‍රතිප්‍රහාර තුළින් ඉන්දියාවට දැඩි පාඩුවක් සිද්ධ වීමට ඉඩකඩ ඇත. මේ හේතුවෙන් ඉන්දියාවට මාලිමාව සමග නිල වශයෙන් අවබෝධයක් ඇති කර ගැනීමට හැකිද යන කාරණාව සොයා බැලීමට මෙම සාකච්ඡා පවත්වනු ඇතැයි අනුමාන කළ හැකිය.

මීළඟට පැන නැගෙන්නා වූ ගැටලුව වන්නේ අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සාකච්ඡා කළ කාරණා පිළිබඳවය. එය ප්‍රධාන තේමා තුනක් යටතෙහි මෙලෙස දැක්විය හැකිය.

01 ඉන්දීය සාගරයෙහි ඉන්දියාවේ ආරක්ෂාව පිළිබඳ ගැටලුව

02 ශ්‍රී ලංකාවෙහි දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි පිළිබඳ ගැටලුව

03 ශ්‍රී ලාංකීය ආර්ථික ක්‍රියාවලිය තුළට ඉන්දීය ආයෝජකයන් ඇතුළු කරගන්නා ආකාරය සහ චීන ආයෝජකයන් සීමා කරන ආකාරය

ආරක්ෂාව පිළිබඳ ගැටලුව පිළිබඳව සාකච්ඡා කරන විට ඒ පිළිබඳව මාලිමාවේ ස්ථාවරය දැනගැනීම වැදගත් ය. ඒ පිළිබඳව 2019 ජනාධිපතිවරණයේදී සහ 2021 දී මාලිමාව විසින් ඉදිරිපත් කළ වැඩපිළිවෙළ ආශ්‍රයෙන් පැහැදිලි කරගත හැකි වේ. එහිදී ඔවුන් පැහැදිලිව සඳහන් කොට තිබෙන ආකාරයට මාලිමාවෙහි විදේශ ප්‍රතිපත්තිය නොබැඳි පිළිවෙතකි. ඉන්දියන් සාගරයේ බලය අත්පත් කර ගැනීමට බලාපොරොත්තුවෙන් තරගකාරීත්වයක් පවතින්නාවූ රටවල් ලෙස චීනය සහ ඉන්දියාව හැඳින්විය හැකිය. මෙකී නොබැඳි ව්‍යාපාරය තුළ එම රටවල් ද්විත්වයම සිට ඇති බැවින් නොබැඳි පිළිවෙත නම් සීමාවට කොටු කරමින් මෙම ගැටලු විසඳීම අපහසු කාරණාවකි. නොබැඳි පිළිවෙත තුළ සිදුවිය යුතු වන්නේ ලංකාව ඉන්දීය ගැති ආරක්ෂක ක්‍රියාමාර්ගයකට තල්ලු වී චීනයෙහි බී ආර් අයි ව්‍යාපෘතියට හානිකර ලෙසට නොහැසිරෙන බවත් ශ්‍රී ලංකාව බී ආර් අයි වැඩපිළිවෙළට සම්බන්ධ වූවද කිසිසේත්ම ඉන්දියාවට ආරක්ෂාවට තර්ජනයක් ඇති වීමට ඉඩ නොදෙන බවත් කියන කාරණාව ය. මෙය ලෙහෙසි පහසු කාර්යයක් නොවන්නේ යම් හෙයකින් මෙය අතැර දමා ඉන්දීය ගැති ස්ථාවරයක් ගොඩනඟා ගැනීමට මාලිමාව පෙළඹුණහොත් ඔවුනට මුහුණ දීමට සිදුවන්නා වූ මූලිකම ගැටලුව වන්නේ ශ්‍රී ලාංකීය ආර්ථිකය ගොඩනඟා ගන්නේ කෙසේද යන කාරණාවයි. දැනටමත් ඉදිරියෙන්ම සිටින්නාවූ ශ්‍රී ලාංකීය ණයකරු චීනය වේ. ඉන්දියාව ආර්ථික වශයෙන් උදව් උපකාර කරන බව කෙතරම් පැවසුව ද ඉන්දියාවට චීනය මෙන් මුදල් විසිකිරීමට තරම් ශක්තිමත් ආර්ථිකයක් නොමැති අතර එම නිසා ශ්‍රී ලංකාවට සිදුවන්නේ මෙම පාර්ශ්ව දෙකම එක හා සමානව සමබරව පවත්වාගෙන යෑමේ දුෂ්කර කර්තව්‍යයෙහි නිරත වීමය. ඒ සඳහා ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කරන්නා වූ ස්වෝත්සහයෙන් නැගී සිටින්නා වූ වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය වේ.

තවද ලංකාවේ දේපළ සම්පත් ලබා ගැනීමට ඉන්දියාව විසින් චීනය සමඟ කරට කර දරන්නා වූ ප්‍රයත්නය මේ වන විට බොහෝ සෙයින් දුර දිග ගොස් තිබෙන අතර රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට කඩේ යමින් සිටිනා බව නොරහසකි. එය ඉතාම අහිතකර බලපෑම් ශ්‍රී ලංකාව වෙතට එල්ල කිරීමට සමත් වේ. ත්‍රිකුණාමල වරාය සහ ඒ අවට ප්‍රදේශය ඉන්දියාවට ලබාදීමේ වැඩපිළිවෙළල ඉන්දියාව සහ ලංකාව අතර මුහුදු ප්‍රදේශය සම්පූර්ණයෙන් ම ඉන්දියාවට පැවරීමේ වැඩපිළිවෙළල භූමිය අත්පත් කරදීම සඳහා සුළං සහ සූර්ය බලාගාර සැකසීමට ඉන්දියාවට ලබාදීමල එසේම පසු සම්පත් සංවර්ධනය මුවාවෙන් ශ්‍රී ලංකාවෙහි ඉඩම් ඉන්දියාවට ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විට ඉතාමත් වේගයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. රජය ගෙනයන මෙම වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යෑමට ඉඩ කඩ ලබා දීමට මාලිමාවට තවදුරටත් නොහැකි වේ. එසේ නම් මාලිමාව විසින් කළ යුත්තේ මෙම භූමිය චීනයට හෝ ඉන්දියාවට ලබා නොදෙන බවට පොරොන්දුවක් ලබාදීම ය. ඉන් පසු චීනයට හෝ ඉන්දියාව පැවරීමකින් තොරව ශ්‍රී ලංකාව ගොඩනඟන්නේ කෙසේද යන දුෂ්කර අභියෝගයට මුහුණ දීමට මාලිමාවට සිදුවේ. එම අභියෝගය ජය ගැනීම සඳහා ඉන්දියාවට හෝ චීනයට ගැති නොවන ශක්තිමත් ඉදිරි සැලැස්මක් ඔවුන් සතුවිය යුතුය. මෙකී කාර්යය කොතරම් දුෂ්කර වුවද ඒ සඳහා සුවිශේෂී වූ උපාය මාර්ග සැලැස්මක් මාලිමාව සතුවීම අනිවාර්ය වේ. පාවෙන ඡන්ද දිනා ගැනීම සහ ජාත්‍යන්තර ප්‍රජාව සමග පවත්නා වූ සබඳතා සමබරව පවත්වාගෙන යෑමටත් රට සංවර්ධනය කරන්නා වූ වැඩපිළිවෙළ හැකි ඉක්මනින් සම්පාදනය කොට එය රටට ලෝකයට විවෘත කිරීම අනුර කුමාර දිසානායක ඇතුළු මාලිමාවෙහි වගකීමක් වේ.

ඉන්දු ලංකා වෙළෙඳ ගිවිසුමල ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම පිළිබඳව මාලිමාවෙහි ස්ථාවරය ද ඉතාමත් තීරණාත්මක ගැටලුවකි. වසර ගණනාවක්ම රජයන් කිහිපයක් සමඟ පැවැති මෙම සාකච්ඡාවෙහි ප්‍රධානම ගැටලුව වන්නේ මෙම ගිවිසුම සකසා ඇත්තේ ලංකාවට ඉන්දියානු වෙළෙඳපොළ විවෘත කර ගැනීමටත් වඩා ඉන්දියාවට ලාංකීය වෙළෙඳපොළ විවෘත කර ගැනීමේ උපාය මාර්ගයක් වීම හේතුවෙනි. යම් හෙයකින් ශ්‍රී ලංකාවෙහි වෙළෙඳපොළ සහ ශ්‍රම වෙළෙඳපොළ යන අංශ ද්විත්වයටම ඉන්දියාව පිවිසුණහොත් ශ්‍රී ලංකාවේහි දිළිඳු ජනයාහට යන එන මං නොමැති වන්නා වූ තත්ත්වයක් උද්ගත වීමටද ඉඩ ඇත. මේ හේතුවෙන් මෙම ගිවිසුම පිළිබඳව පසුගිය කාල වකවානුවෙහි ශ්‍රී ලංකාව තුළ බොහෝ සෙයින් කතාබහට ලක් විය. එම නිසා මෙම ගිවිසුම මේ ආකාරයටම ඉදිරියට ගෙන යෑමට මාලිමාවට හැකියාවක් ද නොමැති වේ. එසේනම් මෙම ගිවිසුම සර්ව සාධාරණ දෙපාර්ශ්වයටම ඉඩකඩ විවර වන ගිවිසුමක් බවට පරිවර්තනය කර ගැනීමට මාලිමාව කටයුතු කළ යුතුය. ඒ සඳහා ශක්‍යතාවයක් මාලිමාවට පවතීද ඉන්දියාව ඒ සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කරයිද යන කාරණාව මේ වන වන විට අප ඉදිරියේ පවත්නා එක් අභියෝගයකි. යම් හෙයකින් ඉන්දියාව මෙම එකඟතාවයන්ට අකමැති වුවහොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනංවා ගන්නේ කෙසේද යන ගැටලුවට මුහුණදීමට මාලිමාවට සිදුවේ. මෙවැනි පසුබිමක් තුළ මේ පිළිබඳව සාකච්ඡා ඇරඹීම ඉතාමත් හොඳ තත්ත්වයක් ලෙස හැඳින්වීමෙහි වරදක් ද නොමැත. නමුත් ඉන්දියාවත් සමග සුහදශීලී ආකාරයට කටයුතු කිරීමට පවත්නා වූ අවශ්‍යතාව හේතුවෙන් යම් හෙයකින් ලාංකීය ජනයා රැවටීමට හෝ නොමඟ යැවීමට ගියහොත් ඒ ඔස්සේ සිදුවන්නේ ශ්‍රී ලාංකීය ජනතාව මෙන්ම මාලිමාව ද තව තවත් ආගාධයට යෑම පමණි. ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු වූ වින්නැහිය මාලිමාවටත් සිදුවනවාද යන වග තීරණය වන්නේ මාලිමාව සතුව සුපරික්ෂාකාරී වැඩපිළිවෙළක් තිබෙනවාද නොමැති ද යන කාරණාව මත වේ.

මීළඟට ඉන්දියාව අවධානය යොමු කරන්නා වූ තෙවන ගැටලුව වන්නේ උතුරු නැගෙනහිර දමිළ ජනතාවගේ ගැටලුවයි. මේ පිළිබඳව තමිල්නාඩුව සමඟ සුහදශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කර ගැනීමට හැකියාවක් පවතී.

මාලිමාව විසින් 2019 සහ 2021 වර්ෂයන්හී දී ඉදිරිපත් කරන ලද තම ඉදිරි වැඩපිළිවළෙහි සඳහන් වී ඇති ආකාරයට උතුරු නැගෙනහිර දමිළ ජනතාවගේ ගැටලුවට විසඳුමක් ලෙස බලය විමධ්‍යගත කිරීමේ දිගුකාලීන විසඳුමක් ලැබෙනා තුරු ශ්‍රී ලංකාවේ පළාත් සභා වඩාත් විධිමත් සහ කාර්යක්ෂම බවට පත් කිරීම පිළිබඳව සඳහන් කොට ඇත. තවද මාලිමාව පවසන ආකාරයට පොලිස් බලතල පළාත් සභාවන්ට පැවරීමක් සිදු නොකොට දමිළ භාෂාව කතා කරන නිලධාරීන්ල උපාධිධාරීන් පොලිසියට සම්බන්ධ කොටගෙන දමිළ ජනතාවට කිසිදු ගැටලුවක් ඇති නොවන ආකාරයට දමිළ භාෂාවෙන්ම මහජන ආරක්ෂාව පවත්වාගෙන යෑමට ඔවුනට බලාපොරොත්තුවක් ඇත. එසේම දැනට ජනගහනය අඩු ප්‍රදේශයන් ජනාවාසකරණය වන විට එම ප්‍රදේශවල ජන සංයුතිය බරපතළ ලෙස විකෘති කිරීමේ වැඩපිළිවෙළකට ඉඩ නොදෙන බවය. එසේම අදාළ ප්‍රදේශවල වගා නොකරන්නා වූ රජයේ ඉඩම් සංවර්ධනයේදී රජයෙහි සමූහ ගොවිපළවල් හරහා එම ප්‍රදේශවල ජනතාව සම්බන්ධ කොටගෙන ආර්ථික වැඩපිළිවෙළක් දියත් කිරීමටද ඔවුන් බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර ඇත.

මේ අතින් බැලූ විට මාලිමාව විසින් ඉන්දියාවට ඉදිරිපත් කර තිබෙන්නා වූ මාලිමාවෙහි දේශපාලනික විසඳුම කිසිසේත්ම උතුරු නැගෙනහිර දමිල පාක්ෂිකයන්ගේ තෘප්තිය සඳහා හේතු වන්නා වූ දෙයක් නොවන බව පැහැදිලි වේ. මේ අනුව තමිල්නාඩුවෙහි බලපෑම මත ඉන්දියානු මහ රජය කුමන වූ ක්‍රියාමාර්ගයක් ගනීවිද යන අභියෝගය දෙසට මෙම සාකච්ඡාව නිසැකයෙන්ම යොමු වීමට ඉඩකඩ ඇත. මේ පිළිබඳව සිංහල ජනතාවට විශාල තෘප්තියක් නොමැති වුවද විශාල බෙදීමක් ඇති නොවන ආකාරයට සම්මුතියකට පැමිණීමේ ඉඩකඩක් පවතී. එම නිසා මෙකී ප්‍රතිපත්ති මත පදනම්ව මාලිමාව ඉන්දියාවත් සමඟ සාකච්ඡාව පවත්වාගෙන ගියහොත් දකුණෙහි ඡන්ද අතරින් 65%ක් පමණ සිංහල ඡන්ද දිනා ගැනීමටත් සිංහල ඡන්ද මත පමණක් පදනම් වී සමස්තයක් ලෙස ජනාධිපතිවරණයේ 50% සකසා ගැනීමට හැකියාව ලැබේ යැයි පුරෝකථනය කළහැකි ය. මේ අනුව ඉන්දියාව සහ මාලිමාව අතර තිබෙන්නා වූ නිල සංවාදය තුළින් මාලිමාවෙහි ප්‍රතිපත්ති පාවා නොදුනහොත් එමගින් මාලිමාවට විශාල අවදානම් සහගත තත්ත්වයක් උද්ගතවීමට ඉඩ නොවන බව අපහට පැහැදිලි වන්නා වූ කාරණාවකි. එවැනි වටපිටාවක් තුළ ඉන්දියානු මධ්‍යම රජයෙහි අකමැත්තෙන් වුවද ඔවුන් සමග සම්මුතියකට එළැඹීම සඳහා පසුබිමක් සකසා ගැනීමට ද හැකියාවක් පවතී. එසේ වුවහොත් මාලිමාව ඉන්දියානු විරෝධී කක්ෂයකට නොගොස් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමටත් ඉඩකඩ පවතියි.

නමුත් මෙය ඉන්දියානු මධ්‍යම රජයට එතරම් ගැටලුවක් නොවූව ද ශ්‍රී ලංකාවේ දමිල සහ මුස්ලිම් පක්ෂයන්ට ජනාධිපතිවරණයේදී උගතෝකෝටික ගැටලුවක් වනු ඇත. ඉන්දියාව යම් හෙයකින් උදාසීන නිෂ්ක්‍රීය ප්‍රතිපත්තියක් දක්වා ගමන් කළහොත් ලංකාවෙහි උතුරු නැගෙනහිර දමිළ පක්ෂ විශාල ආරවුලකට යෑමට ඉඩකඩ පවතී. නමුත් මාලිමාව ඔවුන් සමඟ සන්ධාන ගතවීමට අකමැති වුවහොත් මාලිමාවට විරුද්ධවල පරාජිත අපේක්ෂකයකු වෙනුවෙන් ඡන්දය භාවිතා කොට පරාජය වීම හැර වෙනත් විකල්පයක් ද ඔවුන් සතුව නොමැත. උඩරට දමිළ පක්ෂ වන මනෝ ගනේෂන් දිගම්බරන්ගේ සංවිධානය ද අනෙක් පසින් ජීවන් තොන්ඩමන් ප්‍රමුඛ දේශපාලන පක්ෂය සිටින අතර රාජපක්ෂවරු බලයට පැමිණි විට තොන්ඩමන් බලය භුක්ති විඳි අතර සහ යූ ඇන් පී ය බලයට පැමිණි විට මනෝ ගනේෂන් බලය භුක්ති විඳිනු ලැබීය. නමුත් මෙවර මෙම පක්ෂ දෙකටම මාලිමාව සමඟ එක්කාසු වී කටයුතු කිරීමට තිබෙන්නා වූ ඉඩකඩ ඉතාමත් සීමිත වීම හේතුවෙන් දමිළ ජනතා නියෝජිතයන් හට විශාල අභියෝගයකට මුහුණදීමට සිදුවී ඇත. එසේම මුස්ලිම් පක්ෂවලටද මෙම ගැටලුව ඒ ආකාරයෙන්ම බලපාන අතර එයට හේතුව වන්නේ මෙතෙක් කල් පැවති මැතිවරණවලදී මුස්ලිම් පක්ෂ විසින් යම් යම් කොන්දේසි ඉදිරිපත් කරමින් එකඟතාවයන්ට පැමිණෙමින් ඒ අදාළ පක්ෂවලට සහයෝගය දීමට කටයුතු කිරීමය. නමුත් මෙවර එය සිදුකිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීම හේතුවෙන් මුස්ලිම් සහ දමිළ පක්ෂයන්ට විශාල අභියෝගයට මුහුණදීමට සිදුවන බව නොඅනුමාන ය.

මෙවැනි තත්ත්වයක් තුළ දකුණෙහි ජනයා ප්‍රධාන දේශපාලන පක්ෂ පිළිබඳව කලකිරී මෙවර මාලිමාවට ඡන්ද දෙන තත්ත්වයකට පත් වී ඇති බවක් පැහැදිලි වේ. එසේම උතුරු නැගෙනහිර සහ සෙසු ප්‍රදේශයන් හී වාසය කරන්නා වූ දමිළ සහ මුස්ලිම් ජනයාද ඔවුනගේ සාම්ප්‍රදායික ඡන්ද රටාවෙන් මිදී මාලිමාවට සිය මනාපය ලබා දීමට ද ඉඩකඩ ඇත. එසේම යම් හෙයකින් ඉන්දියාව මැදිහත් නොවුනහොත් දමිළ සහ මුස්ලිම් සාම්ප්‍රදායික පක්ෂ දුර්වල මට්ටමකට පැමිණෙන අතර එසේ වුවහොත් සිංහලල දමිළල මුස්ලිම් යනාදී භේදයකින් තොරව සියල්ලෝම ඒකරාශී වී දැවැන්ත ජනතා බලවේගයක් බවට පත්වී ඉදිරි අනාගතයේදී මාලිමාව ඔසවා තැබීමට වැඩි ඉඩකඩක් පවත්නා බව පැවසිය හැකිය.

සකස් කළේ – එච්. කේ. එස්. නවෝදා හඳරාගම

advertistmentadvertistment
advertistmentadvertistment