මාලිමාව ඇල්පිටිය දිනයි – කොට්ඨාස 17න් 15කම බලය හිමිකර ගනිමින්

417

ප්‍රතිශතය 47.64යි
සජබට 6ක් – පොහොට්ටුවට 3ක් සමග
විපක්‍ෂයටත් මන්ත්‍රී ධුර 15ක්
නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය නිසා මාලිමාව

බහුතරය දිනුවත් බෝනස් මන්ත්‍රී ධුර එකක්වත් නෑ

ඇල්පිටිය ප්‍රාදේශීය සභා පුංචි ඡන්දයේදී ජාතික ජනබලවේගය කොට්ඨාස 17න් 15ක බලය හිමිකර ගනිමින් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළේය.

ඉකුත් 26 වැනිදා පැවති ඡන්ද විමසීමේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ වල්ලඹගල, ඕමත්ත, මැටිවිලිය, ඉදිපලේගොඩ, අමුගොඩ, කැටන්දොළ, ඇල්පිටිය, නවදගල, තලාව, බටුවන්හේන, කුඩාගල, කදිරන්දොළ, පිනිකහන, තිබ්බොටුවාව, ඇල්ල සහ අම්බනකහදූව, කොට්ඨාශවල බලය අත්පත් කරගැනීමට ජාතික ජනබලවේගය සමත්විය. සමගි ජන බලවේගය විසින් අවිත්තාව සහ පිටුවල යන කොට්ඨාශවල බලය හිමිකරගනු ලැබීය. ප්‍රසාද මන්ත්‍රී ධුර දෙකත් සමග ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 30කි. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 17295 ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 15ක් හිමි කරගනු ලැබීය.

මාලිමාව ඇල්පිටිය දිනයි - කොට්ඨාස 17න් 15කම බලය හිමිකර ගනිමින්

සමගි ජනබලවේගය ඡන්ද 7924 ක් ලබා ගනිමින් මන්ත්‍රී ධුර 06ක් හිමි කරගනු ලැබීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 3597ක් හිමි කරගනිමින් මන්ත්‍රී ධුර 03 කට හිමිකම් කියනු ලැබීය. පොදුජන එක්සත් පෙරමුණ ඡන්ද 2612ක් ලබාගත් අතර හිමිකර ගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 02කි. ස්වාධීන කණ්ඩායම ඡන්ද 2568 ක් හිමි කරගනිමින් මන්ත්‍රී ධුර 02 ක් හිමිකරගනු ලැබීය.

හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ලේකම් ධුරය දරනු ලබන පොදුජන එක්සත් නිදහස් සන්ධානය ඡන්ද 1350ක් හිමිකර ගනිමින් එක් මන්ත්‍රී ධුරයක් හිමි කරගනු ලැබීය. ජාතික ජනතා පක්ෂය ඡන්ද 521ක් ලබාගනිමින් එක් මන්ත්‍රි ධුරයක් හිමිකරගනු ලැබීය. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා නායකත්වය ලබාදෙන දෙවන පරපුර පක්ෂය හිමි කරගත්තේ ඡන්ද 388ක් පමණි. එම පක්ෂයට කිසිදු මන්ත්‍රී ධුරයක් හිමි කරගැනීමට හැකි වූවේ නැත. බත්තරමුල්ලේ සීලරතන හිමියන් නායකත්වය දෙන ජනසෙත පෙරමුණ ලබාගත්තේ ඡන්ද 50 ක් පමණි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 55,643කි. 36,825 දෙනකු ඡන්දය ප්‍රකාශ කොට තිබුණි. වලංගු ඡන්ද සංඛ්‍යාව 36,305ක් වූ අතර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 520කි. සියයට 63.4ක් ඡන්දය ප්‍රකාශ කොට තිබූ අතර ඇල්පිටිය ප්‍රදේශීය සභා මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත්ව තිබිණි.

2019 වර්ෂයේ පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී මන්ත්‍රී ධුර 17ක් හිමිකර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය ලැබීය. එම මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොට්ඨාස 17ම ජයග්‍රහණය කළේය. මෙවර මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිදු කොට්ඨාසයක් ජයග්‍රහණය කිරීමට හැකි වූයේ නැත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූයේ තුන්වැනි ස්ථානය වන අතර ලබා ගත්තේ මන්ත්‍රී ධුර 03 ක් පමණි. 2019 මැතිවරණයේදී ඡන්ද 2435ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 02කට හිමිකම් කී ජාතික ජනබලවේගය මෙම මැතිවරණයේදී ඡන්ද 17295 ක් ලබා මන්ත්‍රී ධුර 15ක් හිමිකර ගත්තේය.

මාලිමාව ඇල්පිටිය දිනයි - කොට්ඨාස 17න් 15කම බලය හිමිකර ගනිමින්

ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතා විසින් පෙරේදා (26දා) රාත්‍රී ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකරනු ලැබීය. මෙම අවස්ථාවට මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ද එක්ව සිටියේය. දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ජාතික ජනබලවේගයේ විධායක සභික ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක රත්න ගමගේ, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ කණ්ඩායම් නායක හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත පෙරේරා, බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී දුල්ෂාන් පද්මසිරි කාරියවසම්, බෙන්තර ඇල්පිටිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක හිටපු ප්‍රාදේශීය සභා සභාපති අමිල හර්ෂණ කාරියවසම් යන මහත්වරු එක්ව සිටියහ.

මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 17 න් 15ක් ජයග්‍රහණය කළ ද සමානුපාතික නියෝජනය කිසිවක් ලැබී නොමැති අතර ඒ සියල්ල හා තවත් අතිරේක නියෝජන දෙකක් සහිතව පරාජිතප පක්‍ෂ අතර බෙදී ගොස් ඇත.

නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය ඇති කිරීම අනුව මෙලෙස ජයග්‍රහණය කළ පක්‍ෂයට සමානුපාතික නියෝජනයක් (ප්‍රසාද මන්ත්‍රී ධුරයක්) හිමිවී නොමැත. මෙම මැතිවරණ ක්‍රමය ඉකුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජය සමයේ සම්මත කරගනු ලැබීය.

ගාල්ල -ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි සහ ඇල්පිටිය – විදානආරච්චි කීර්තිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment