මාසයකට පසු ආ නැවෙන් ඩීසල් ගොඩබෑම අරඹයි

159

තවත් තෙල් නැව් දෙකක් වරායේ
මැලේසියාවෙන් ගෙන්වූ ඩීසල් නැවකට මෙතෙක් මුදල් ගෙවා නෑ

මාසයකට පසු මෙරටට ළඟාවූ මෙට්‍රික්‌ ටොන් 40,000 ක් අඩංගු ඩීසල් නෞකාවකින් ඉන්ධන ගොඩබෑම ඊයේ (17 දා) වනවිට ආරම්භ කර තිබූ බවත් තවත් ඩීසල් නැවක් හා පෙට්‍රල් නැවක් වරායට පැමිණ ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මෙරටට පැමිණි මෙම ඩීසල් හා පෙට්‍රල් නෞකාවලින් ගොඩබාන ඉන්ධන කඩිනමින් බෙදාහැරීමට පියවර ගෙන තිබීම නිසා රට තුළ පවතින ඉන්ධන හිඟය ඉදිරි දිනවලදී අවසන් වනු ඇතැයි හෙතෙම විශ්වාසය පළ කළේය. මැලේසියාවෙන් සහ ඉන්දියාවෙන් මෙම ඉන්ධන නෞකා මෙරටට ගෙන්වා ගෙන ඇත.

ඒ අනුව මේ වනවිට මෙට්‍රික්‌ ටොන් 40,000 බැගින් වූ නෞකා දෙකක් ද මෙට්‍රික්‌ ටොන් 35,000 පෙට්‍රල් නෞකාවක් ද මෙරටට පැමිණ තිබේ.

කෙසේ වෙතත් ඉන්ධන ලබාදීමේදී නව ඇප් එකක් හඳුන්වාදීමට බිදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ගෙන තිබෙන තීරණය නිසා ඉන්ධන බෙදාහැරීමේ පමාවක් සිදුවිය හැකි බැවින් එය නොතකා ඉන්ධන හල් වෙත ගොඩබාන ඉන්ධන බෙදාහැරීම වඩාත් යෝග්‍ය බවත් එම නිලධාරියා පෙන්වා දුන්නේය.

මැලේසියාවෙන් ගෙන්වා ගත් මෙට්‍රික්‌ ටොන් 40,000 ක තවත් ඩීසල් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබුණත් ඒ සඳහා තාමත් ඩොලර් ගෙවා නැතැයි ද හෙතෙම පැවැසීය.

දැනට මෙරටට ගෙනැවිත් තිබෙන ඩීසල් මෙට්‍රික්‌ ටොන් 80,000 ක් සාමාන්‍ය පරිදි ඉන්ධන හල්වෙත මුදාහැරියත් එය දින විස්සකට ප්‍රමාණවත් බවත් ඒ මහතා කීය. මෙට්‍රික්‌ ටොන් 35,000 ක පෙට්‍රල් නෞකාව ගොඩබා සාමාන්‍ය පරිදි බෙදාහැරියත් එය දින දොළහකට පමණ සෑහේ.

කෙසේ වෙතත් ඉන්ධන මිලදී ගෙන ජාවාරම්කරන පිරිස පිාලනය කිරීමට අලුතින් ඇප එකක් හඳුන්වාදීම මත ඉන්ධන බෙදාහැරීමේ කටයුතු පිළිබඳ යමක් කිව නොහැකි බව ද එම නිලධාරියා පැවසීය.

ශිරාන් රණසිංහ


advertistmentadvertistment