මාස අටකදී 35 ක් පරලොව යැව්ව පාතාලයේ ගිනිකෙළි

518

මේ දිනවල ශ්‍රී ලංකාව පුරා ඉතා බිහිසුණු අපරාධ රැල්ලක් වර්ධනය වෙමින් පවතින බව එම සිද්ධීන් අරභයා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල පළවන වාර්තාවලින් පැහැදිලි වේ. මෙවැනි අපරාධ රැල්ලක් ඇතිවීමට ප්‍රධානම හේතුව ලෙස සැලකෙන්නේ මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය කිරීමේ සිද්ධීන් ආශ්‍රිතව පෙන්නුම් කරන ශීඝ්‍ර වර්ධනය සහ එම අපරාධයන්ගේ බිහිසුණුකම හේතුවෙනි. 2022 ජනවාරි මස පළමුවන දින සිට පසුගිය අගෝස්තු 8 වන දින දක්වා වෙඩිතබා මනුෂ්‍ය ඝාතනය කිරීමේ සිද්ධීන් 35ක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන් තුළින් වාර්තාවී ඇති අතර මෙම සිද්ධීන් වල උච්චස්ථානයක් ලෙස සැලකිය හැක්කේ පසුගියදා ගල්කිස්ස අධිකරණය ගොඩනැගිල්ල තුළ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියයි. නීතියේ දෙවඟන රජයන අධිකරණ ශාලාව තුළටම පැමිණ තම විරුද්ධවාදීන් ඝාතනය කිරීමට තරම් මෙම අපරාධකරුවන් බිහිසුණු වී ඇති බව මේ සිද්ධිය අනුව අපට මනාව පැහැදිලි වේ.

බොහෝවිට අපරාධයක් තුළ අන්තර්ගත බිහිසුණු බව සහ ම්ලේච්ඡත්වය බව එම අපරාධය මගින් සමාජය මත මුදා හැරෙන පීඩනය වැඩි කිරීමට සමත් වන ප්‍රධාන සාධකයන් ලෙස සැලකිය හැක. ඒ අනුව මෙම බිහිසුණු ඝාතන සිද්ධීන් මේ වන විට ශ්‍රී ලාංකීය ජන සමාජය මත ඇතිකර තිබෙන අඳුරු චිත්‍රය රටක් ලෙස දැඩි ආර්ථික උද්ධමනයකට මුහුණ දී සිටින අප වැනි රටකට කිසිසේත් දැරිය නොහැකි තත්ත්වයකි. මෙම තත්ත්වය දේශීය මෙන්ම විදේශීය ආයෝජන වලට පමණක් නොව සංචාරක ව්‍යාපාරයට ද ඇති කළ හැකි බලපෑම ඉතා ප්‍රබල වන අප කිසිසේත් අමතක නොකළ යුතු කරුණකි. මෙලෙස තැන තැන බල්ලන් බළලුන් මෙන් වෙඩිතබා මිනිසුන් ඝාතනය කරන සිද්ධියෙන් සිදුවන රටකට කිසිදු ආයෝජකයෙකු හෝ සංචාරකයෙකු පැමිණෙතැයි සිතීමද හාස්‍යජනක තත්ත්වයක් බව කිව යුතුමය.

2022 ජනවාරි මස පළමුවන දින සිට මේ දක්වා දිවයිනේ වාර්තා වී ඇති වෙඩිතබා මනුෂ්‍ය ඝාතනය කිරීමේ සිද්ධීන් කාලවකවානු අනුව වාර්තා වී ඇති අන්දම පහතින් දැක්වේ.
ජනවාරි 02, පෙබරවාරි 01, මාර්තු 01, අප්‍රේල් 06,මැයි 05, ජූනි 09, ජූලි 07, අගෝස්තු මුල් සතිය තුළ මේ දක්වා සිද්ධීන් 04 යි. එකතුව 35 (දින 220 ක් තුළ- මෙම දත්තයන් අනුව සෑම දින 6 කට වරක්ම වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තාවී ඇත)

ඉහත දත්ත අනුව පැහැදිලි වන්නේ මෙම ඝාතන රැල්ලේ සමාරම්භය අප්‍රේල් මස ආරම්භ වී මේ වන විට ක්‍රමිකව උච්චස්ථානයකට පත්වෙමින් සිටින බවය. මෙම කාලවකවානුව තුළ ශ්‍රී ලංකාවේ සිදු වූ භූ දේශපාලන චලනයන් සම්බන්ධව සැලකීමේදී ආර්ථික උද්ධමනය ඉහළ බලපෑම මත මහජනතාව රජයට එරෙහිව විරෝධතාව ප්‍රදර්ශනය කළ මෙම වකවානුව තුළ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ ප්‍රධාන ආයතන ලෙස සැලකෙන ශ්‍රී ලංකා පොලිසිය තම මූලික කාර්යයෙන් බැහැරව ඉන්ධන ගෑස් බෙදාහැරීමේ ආරක්ෂක රාජකාරි, මහජන උද්ඝෝෂණ පාලනය කිරීමේ කටයුතු වැනි අතිරේක රාජකාරිවල යෙදී සිටින කාලයක් ලෙස මෙම වකවානුව හැඳින්විය හැක. වසරේ මුල් කාර්තුව තුළ ඉතා හොඳින් පාලනය කර තිබූ සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාකාරකම් මෙම කටයුතු මර්දනය කිරීම සඳහා පොලිසිය විසින් ගනු ලැබූ ක්‍රියා ක්‍රියාකාරකම් අවම වීම හේතුවෙන් මතුවූ රික්තකයක් තුළ නැවත හිස එසවීම හේතුකොට මෙම තත්ත්වය ඇති වී ඇති බව මෙම දත්තයන් අනුව සැකයකින් තොරව උපකල්පනය කළ හැක. මෙම වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම් සිද්ධීන් වාර්තා වී ඇති භූගෝලීය සැලැස්ම (Geogrophical Plan) සලකා බැලීමේදී වාර්තාවී ඇති සිද්ධීන් තිස්පහෙන් තිහක්ම එනම් 85% ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර සහ දකුණු පළාත් තුළින් වීම සුවිශේෂීය. මෙම තත්ත්වය සංඛ්‍යාත්මකව සැලකීමේදී පිළිවෙළින් බස්නාහිර පළාත සහ දකුණු පළාත තුළ සිද්ධීන් 15 බැගින් වාර්තාවී ඇති අතර දිවයිනේ සෙසු පළාත් හත තුළම වාර්තා වී ඇත්තේ සිද්ධීන් පහක අවමයකි. එම සිද්ධීන් 5 වයඹ පළාතෙන් තුනක් සහ මධ්‍යම පළාත තුළ සිද්ධීන් දෙකක් වශයෙන් වාර්තා වී ඇත. උතුරු මැද, ඌව, උතුරු පළාත, නැගෙනහිර සහ සබරගමු පළාත් තුළින් වෙඩිතැබීම් සිද්ධීන් කිසිවක් වාර්තා වී නැති බව ද අප විසින් සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කරුණකි. වයඹ සහ මධ්‍යම පළාත් වලින් වාර්තා වූ සිද්ධීන් පහේ පසුබිම සලකා බැලීමේදී එම සිද්ධීන් ද සාමාන්‍ය තත්ත්වය යටතේ සිදුවූ ඒවා මිස සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදු කළ ඒවා නොවන බවද සොයා ගැනීමට හැකිවිය.

2021 වර්ෂය මැද භාගයේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිදු කරන ලද සොයා බැලීමේදී දිවයින තුළ ඒ වන විට ක්‍රියාත්මකව පැවති අපරාධ කල්ලි 62 හතළිස් එකක් ම බස්නාහිර පළාත තුළ සිය අපරාධමය ක්‍රියාකාරකම් පවත්වාගෙන යමින් සිටින බව හෙළි වූ අතර එය ප්‍රතිශතාත්මකව 66% කි. දකුණු පළාත තුළ ක්‍රියාත්මක අපරාධ කල්ලි සංඛ්‍යාව දාසයක්ව පැවති අතර එය ප්‍රතිශතාත්මකව සියයට 25 කි. ඒ අනුව දිවයින තුළ ක්‍රියාකාරී තත්ත්වයේ පවතින බවට හඳුනාගෙන ඇති අපරාධ අපරාධ කල්ලි 62 න් 57 ක් ම සිය අපරාධ ක්‍රියාකාරකම් බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කොට සිදුකරන බව බව පැහැදිලි වේ. මෙම දත්තයන් ඉහත ඉදිරිපත් කර ඇති වෙඩිතබා මනුෂ්‍ය ඝාතනය කිරීමේ සිද්ධීන් වාර්තා වී ඇති භූගෝලීය ප්‍රවණතාවන් හෙළිකරන දත්තයන් සමග සමපාත කිරීමේදී මෙම සංවිධානාත්මක අපරාධ කල්ලිවල ක්‍රියාකාරකම් සහ වර්තමානයේ සිදුවෙමින් පවතින වෙඩිතබා මනුෂ්‍ය ඝාතනය කිරීමේ සිද්ධීන් අතර පවතින සහ සම්බන්ධය සොයා ගැනීමට කිසිවකුට අපහසු නොවනු ඇත.

එබැවින් මෙම අපරාධ රැල්ල මැඬපැවැත්වීම සඳහා පොලිසිය විසින් කළ යුතු ප්‍රධානම කාර්යය වන්නේ බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කොට සිය මෙහෙයුම් කඩිනමින් ආරම්භ කර මෙම සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ සියලුම සාමාජිකයන් නීතියේ රැහැනට හසු කර එම කල්ලිවල ක්‍රියාකාරකම් නිෂ්ක්‍රිය කිරීම වේ.

රටක ආර්ථික උද්ධමනය උච්ච ස්ථානයකට පත්වන විට එය සමාජයට එල්ල කරනු ලබන පීඩනයන් අතර අපරාධ වාර්තා වීමේ ප්‍රවණතාව ඉහළ යෑම ප්‍රධානම කරුණක් ලෙස සැලකිය හැක. ලෝක ආර්ථික අවපාතයක් (Global Economical Rasision) ඇති වූ 2008- 2009 කාලවකවානුව තුළ එම ආර්ථික අවපාතයේ ප්‍රධානම බලපෑම එල්ල කරන ලද රටවල් පහළොවක් භූගෝලීය වශයෙන් වෙන් වෙන්ව හඳුනාගෙන එම රටවල් වල එම කාල සීමාවන් ඇතුළත වාර්තා වූ අපරාධ දත්තයන් එම කාලසීමාවට සමගාමී වසර 20 ක කාලය තුළ එම රටවල් වල වාර්තා වූ අපරාධ දත්තයන් සමග සංසන්දනය කිරීමේදී එම රටවල් පහළොවෙන් 80% කට වැඩි ප්‍රමාණයක රටවල් තුළ මෙම ආර්ථික උද්ධමනය ඇති වූ කාල සීමාව තුළ අපරාධ වාර්තා වීමේ ඉහළ අගයක් දරන බව සොයා ගැනීමට මෙම විෂයට අදාළව සමීක්ෂණයක් සිදු කළ එක්සත් ජාතීන්ගේ අපරාධ සහ මත්ද්‍රව්‍ය සංවිධානය (UNODC‍) විසින් හෙළි කරගෙන ඇත. එලෙස ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන අපරාධ අතර මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම්, සහ රථවාහන කොල්ලකෑම බහුල බවද එම වාර්තාව වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරනු ලබයි.

රජයේ මෙන්ම පෞද්ගලික අංශයේද ව්‍යාපාර කඩාවැටීම හේතුවෙන් රැකියා අහිමිවීම මුල්කොට සමාජයට එක්වන විරැකියාවෙන් යුත් පිරිස් තම එදිනෙදා ජීවන මාර්ගය සලසා ගැනීම සඳහා මුදල් සොයා ගැනීමට සිදු කරනු ලබන සොරකම් මෙන්ම කොල්ලකෑමේ සිද්ධීන් ද, එම පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට පෙළඹීමට ඇති ප්‍රවණතාව ඉහළ යෑම ද මෙම තත්ත්වය වර්ධනය වීමට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන ඇති අතර මීට අමතරව ආර්ථිකය අයහපත් වීම හේතුවෙන් ඉච්ඡා භංගත්වයට පත්වන පිරිස් තාවකාලික සුඛාස්වාදය සඳහා මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට යොමුවීමේ තත්ත්වය ඉහළ යෑම හේතුකොට මත්ද්‍රව්‍ය හා මත්පැන්වලට ඇති ඉල්ලුම වැඩි වීම හේතුවෙන් විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය ව්‍යාපාරික කටයුතු වඩාත් පුළුල් කිරීම සහ ව්‍යාපාරික ජාලයන්හි ආධිපත්‍ය පැතිර වීම හේතුවෙන් ඇතිවන ව්‍යාපාරික ගැටුම් ද මෙම අපරාධ තත්ත්වය වර්ධනය වීමට තවත් ප්‍රධාන හේතුවක් ව පවතින බවද මෙම සමීක්ෂණයක මගින් හෙළිදරව් කරගෙන ඇති තවත් ප්‍රධාන කරුණකි.

දිවයින තුළ තුළ ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය ශ්‍රී ලංකා පොලිසිය වෙත පැවරෙන ප්‍රධාන රාජකාරියක් වන අතර පසුගිය කාලසීමාව තුළ පොලිසිය මෙම කාර්යය ඉතා ඉහළ ඉහළ, ප්‍රශස්ත මට්ටමකින් සිදු කළ බව සැමට නොරහසකි. මේ හේතුවෙන් 2021 2021 දෙවන භාගය සහ 2022 මුල් කාර්තුව තුළ දිවයින තුළ වාර්තා වූ සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාකාරකම් ඉතාම අවම මට්ටමකට පත් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සමත් වූ අතර මෙම ක්‍රියාකාරකම් මර්දනය සම්බන්ධව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිදුකරන ලද කාර්යභාරය කිසිසේත් අවතක්සේරු කළ නොහැක. මෙම නිලධාරියා අරභයා පසුගිය කාලය තුළ සමාජය තුළ මතුවූ විරෝධාකල්පයන් මෙන්ම පොලිස් නිලධාරීන් අපරාධ මර්දන රාජකාරී වලින් බැහැරව ඉන්ධන බෙදාහැරීම් සහ මහජන උද්ඝෝෂණය පාලනය වැනි අතිරේක රාජකාරිවල යෙදී සිටීම මෙන්ම “රාජ්‍යයේ සිදුවූ බිඳ වැටීම” හේතුවෙන් විධායකයේ සංකේතාත්මක බලය ලෙස සැලකෙන පොලිසියට සිය දෛනික ක්‍රියාකාරකම් සංකෝචනය කිරීමට සිදුවීම වැනි කරුණු මුල් කොට ජන සමාජය තුළ පොලිසියට හිමි කාර්යභාරය තුළ ඇතිවූ රික්තකය හේතුකොට අපරාධමය ක්‍රියාකාරකම් අත්හිටුවා නිද්‍රාශීලී තත්ත්වයට පත්ව සිටි අපරාධ කල්ලි නැවත හිස එසවීමේ තත්ත්වයක් නිරීක්ෂණය වූ අතර ක්ෂණිකව පැන නැගුණු මෙම අපරාධ රැල්ල වර්ධනය වීමටද මෙම තත්ත්වය ප්‍රබල ලෙස බලපෑ බව කිව යුතුව ඇත.

එබැවින් ගෙවීගිය කාලය සමග සැසඳීමේදී රට තරමක අස්වැසිල්ලක් ලබා සිටින මෙවැනි වකවානුවක සියලුම සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාකාරකම් මර්දනය කර රට තුළ නීතියේ අධිපත්‍ය තහවුරු කිරීම පොලිසියේ ප්‍රධාන වගකීමක් බව සිහිපත් කරමි. මෙම කාර්යය ඉටු කිරීම සඳහා අවශ්‍ය දක්ෂ නිලධාරීන් මේ වන විටත් පොලිසිය තුළ සිටින අතර ඔවුන් සඳහා නිවැරදි නායකත්වයක් ලබා දී සාර්ථක අපරාධ බුද්ධි තොරතුරු ජාලයක් වඩාත් ශක්තිමත්ව ස්ථාපිත කර තෝරාගනු ලැබූ දක්ෂ නිලධාරීන් යොදවා බස්නාහිර සහ දකුණු පළාත් තුළ ව්‍යාප්තව පවතින මෙම සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාකාරකම් මර්දනය කළ රට තුළ නීතිය සාමය නිවැරදිව ස්ථාපිත කිරීම වර්තමානයේ සේවය නියුතු උසස් පොලිස් නිලධාරීන්ගේ ප්‍රමුඛම කාර්යය භාරය විය යුතු බව සඳහන් කරන අතර එසේ නොවී මෙම තත්ත්වය දිගින් දිගටම ඉදිරියටත් මේ ආකාරයටම පැවතියහොත් ශ්‍රී ලංකාව “දෙවන චිකාගෝවක්” වීමට එතරම් කාලයක් ගත නොවන බව අවසාන වශයෙන් සඳහන් කරමි.

ප්‍රියන්ත ජයකොඩි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික)

advertistmentadvertistment
advertistmentadvertistment