[මාළත්ත] මයිලත්තමඩු කොට උරුමයට ඔප්පු දෙන මහැවැලි වික්‍රමය

302

මහවැලි බී කලාපයේ සිංහල ගොවීන් හයසීයකට පමණ ඉඩම් අහිමිව තිබිය දී ජනාධිපතිවරයා සිය මඩකලපු සංචාරයේ දී දෙමළ ජනතාවට ‘උරුමය’ සින්නක්කර ඉඩම් බෙදාදුන් ආකාරය පසුගිය සතියේ ප්‍රධාන මාතෘකාවක් විය. මහවැලි බී කලාපය තුළ සශ්‍රීක ඉඩම්වල පාරම්පරිකව වගා කරමින් උන් දිවුලපතාන ගොවීන් හට සිය ඉඩම්වලට ඇතුළු වීම වළක්වමින් මහවැලි බී කලාපයේ නේවාසික කළමනාකරු සුගත් වීරසිංහ මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කරන ලද්දේ ද මේ අතරවාරයේය. මේ පිළිබඳව ජනපතිතුමා හමුවී කරුණු කීමට උත්සාහ කළ මඩකලපුව මංගලාරාමයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට එරෙහිව මංගලගම පොලිසිය විසින් එරාවුර් උසාවියෙන් වාරණ නියෝගයක් ලබා ගත් ආකාරය ද දිවයින පුවත්පත වාර්තා කර තිබුණි. දෙමළ ගොවීන්ට උරුමය ලබා දෙන අතර සිංහල ගොවීන් නෙරපීම වාර්ගික පවිත්‍රකරණයේ තවත් අවස්ථාවක් ලෙසට හඳුන්වා දිය හැකිය.

1815 දී සහ 1848 දී ඉංග්‍රීසීන්ට විරුද්ධව සටන් කළ වීරෝදාර සිංහල ජනතාව සමූල ඝාතනය කරලීම සඳහා ඇරඹි බිම් පාලු ප්‍රතිපත්තිය ඌව වෙල්ලස්ස පමණක් නොව බින්තැන්න කරාද තමන්කඩුව කරා ද පැතිරුණේය. ඉන් නොනැවතුණු ඉංග්‍රීසි පාලකයන් පළමුව රට පළාත් පහකට බෙදා බින්තැන්න මඩකලපුවට එකතු කර මාදුරුඔය ශිෂ්ටාචාරය ද මඩකලපුවට මායිම් කරන ලද්දේය. මේවා කරන ලද්දේ හිතාමතාමය. ඉන්පසු නැඟෙනහිර මුහුදු තීරයේ දෙමළ සහ මුස්ලිම් ජනතාව පදිංචි කොට ප්‍රදේශයේ විසූ මූදුකර වැද්දන් ගේ දරුවන් දෙමළ පාසල්වලට ගාල් කොට දෙමළ ජන කොටස් අතර දිය කර හැරි ආකාරය ඉතිහාසය සොයා බැලීමෙන් දත හැකිය. මඩකලපුවේ පදිංචි වූ දෙමළ ජනගහනය සිය රැකියාව වශයෙන් තෝරා ගත්තේ ගව පාලනයයි. ඔවුහු මුස්ලිම් ගොවීන් සමග එකතුව ගව පාලනය කරමින් සිය ගවයන් තමන්කඩුව නොහොත් පොලොන්නරුව දක්වාම දක්කවමින් තණ කැවීමේ නිරත වූහ. මඩකලපුව අම්පාර සහ පොලොන්නරුව යනුවෙන් දිස්ත්‍රික්ක වෙන් කර සිතියම් සකස් කළ පසු මාදුරුඔය කලාපය පාලනය කෙරුණේ අම්පාර දිස්ත්‍රික්කයෙනි. 1987 කොටි ත්‍රස්තවාදීන් දිවුලපතාන ගමට කඩා වැදී කැතිගා සිංහල ගොවීන් නව දෙනකු ඝාතනය කරන කල්හිද එය එසේ විය. පසුව මෙම පෙදෙස මඩකලපුව පරිපාලන ප්‍රදේශයේ චෙන්කලාඩි වසමට අයත් කරන ලද්දේය. ආරංගොඩ ඔය නැතහොත් හික්කාගල ඔයෙන් එගොඩ මෙගොඩ ජීවත් වුවද පරිපාලන ප්‍රදේශ දෙකක් වුවද මේ ජනතාව එකම ඥාතීන් පිරිසක් වූහ. ගොයම් කපා ගැනීමෙන් පසු මඩකලපුවේ සිට දිවුලපතාන සීමාවට දක්කවන ගවයන් එහි පිටාර තැනිතලාවල සාරවත් තණ උලා කමින් සිටි ආකාරය මැත ඉතිහාසයේ දකින්නට හැකිය. දිවුලපතාන ගොවීන්ද සංක්‍රමණික කිරිගව අයිතිකරුවන්ද සහයෝගයෙන් මේ ප්‍රදේශවල ජීවත් වූ ආකාරය නිරීක්ෂණය කළ හැකිය.

[මාළත්ත] මයිලත්තමඩු කොට උරුමයට ඔප්පු දෙන මහැවැලි වික්‍රමය

දිවුලපතාන ගමට උතුරින් තොප්පිගල රක්ෂිතයයි. සිංහල රජ කාලයේ මේ ප්‍රදේශය තුළ සශ්‍රීක ගොවිබිම් පැවති අතර සෑම කඳු ගැටයකම විහාරස්ථානයක් විය. මේවා අද නටබුන් වී තිබේ. ගොවිබිම් කැලෑවට යටව තිබේ. තොප්පිගල රක්ෂිතයට පහළින් දිවුලපතාන ගමට උතුරින් වලමණ්ඩිය පාරේ ඉහළට යන කල්හි මියන්කල්ලු කුලම හමුවෙයි. අතීතයේ දී මේ ගම හඳුන්වනු ලැබූයේ මීවන්ගම යනුවෙනි. මේ මීවන්ගමත් රජගලත් අතර විශාල සම්බන්ධයක් තිබේ. රජගල නොහොත් රාස්සහෙළ කඳුගැටය තිබෙන්නේ අම්පාර දිසිත්‍රික්කයේය. අතීතයේ රජගල ප්‍රසිද්ධියට පත් වූයේ අරිත්තරා විහාරය යනුවෙනි. ක්‍රි.ව. 787 කාලයේ රාජ්‍ය විචාල පළමුවන උදය රජු ගේ කාලයේ දී රෝහණ දේශය පාලනය කරන ලද්දේ දළසිව නම් පාලකයෙකි. ඔහුගේ අණින් මෙම අරිත්තරා විහාරයට විශේෂ ගම්බිම් පූජාවක් කර ඇත. ඒ ශිලාලේඛයේ දක්වා ඇත්තේ මෙවැනි කරුණකි. ඈපායි දළ සිවයිහු වජනින් අප අරිත්තරා වෙහෙරැ වැසි වත්හිමියනට් මාළත්තෙ ගුළවැල්ලැ මිවන්ගමු සතර් පයල් දිනි. තෙල්කිරි මිසැ අන් වළජ් නොකරන කොට් වජාලම්හ. වත්හිමියන් වජාලෙයින් ලම්ජනවු දයිමියි ටිලියැවීමි. (අරිත්තරා වෙහෙර වාසී වත්හිමියන් වහන්සේට පරිභෝග පිණිස දළසිව නම් ඈපා ගේ අණින් මාළත්ත ප්‍රදේශයේ ගුළවැල්ලේ මිවන්ග්‍රාමයේ පෑල්සතරක ඉඩම් ලබා දී තිබේ. මේ ඉඩම් වලින් කිරි සහ ගිතෙල් ඇර වෙනත් ගොවිතැනක් නොකරන ලෙස වත්හිමියන් වහන්සේ වදාළ බවට දිවුල්දනව්වේ දයිමි ප්‍රකාශ කරයි.) මෙම ලිපිය දැනට රජගල පැරණි අරිත්තරා විහාර භූමියේ පවතින අතර මෙහි සඳහන් කරන මාළත්ත මිවන් ග්‍රාමය පවතින්නේ වර්තමාන මඩකලපු දිස්ත්‍රික්කයේ පෙරියවෙල්ලි වසමේ මියන්කල්ලු වැව ආශ්‍රිතවයි.

දහනව වැනි සියවසේ මේ ප්‍රදේශ ඝන කැලෑවට යටත් වූ පසු සිංහල ශිෂ්ටාචාරය අභාවයට පත් වූයේය. ඉංග්‍රීසීන් මේ ප්‍රදේශ ඉහත දක්වා ඇති පරිදි තොප්පිගල රක්ෂිතයට සහ ඔමුණුගල රක්ෂිතයට මායිම් කළහ. මඩකලපුවේ පදිංචි දෙමළ ගොවීන් තමන් සතු හරක් පට්ටි දක්කවමින් මාදුරුඔය පිටාර තැනිතලාවල කරක් ගැසීමට පටන් ගැනුණේ විසිවන සියවසේ මුල් භාගයේ සිටයි. ඒ වන විට සිංහල කිරි ගොවීන් නැත. අරිත්තරා වෙහෙරට පූජා කළ ගම්බිම් මේ ගොවීන් හඳුන්වන ලද්දේ මයිලත්තමාඩු (මාළත්ත+මාඩු) යනුවෙනි. හරක් දැක්කවීමට ඔවුනට සීමා මායිම් තිබුණේ නැත. මාදුරුඔයෙන් එගොඩට ද දැක්කවීම සම්ප්‍රදාය විය. මහවැලි සංවර්ධනය සඳහා මේ ප්‍රදේශ 1979 දී ගැසට් කළ පසු මාදුරුඔය වම් ඉවුර සංවර්ධනය කර දිඹුලාගල පිඹුරත්තෑව ආදී ප්‍රදේශ නැවත ගොවිබිම් බවට පත් කරන ලද්දේය. එහෙත් තිස්වසරක් පැවැති කොටි ජන ඝාතක යුද්ධය නිසා දකුණු ඉවුර සංවර්ධනයට බඳුන් නොවීය. 2009 යුද්ධය හමාර වීමෙන් පසුව මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධනයට සැලසුම් සකස් කෙරිණ. නමුත් යුද්ධය අවසන් වුවද උතුර සහ නැඟෙනහිර දෙමළ ජාතිවාදය අවසානයක් වී නොතිබුණි. ‘දිවුලපතාන’ අසලට පැමිණි කිරිගව අයිතිකරුවන් සහ සිංහල ගොවීන් අතර ගැටුමක් නිර්මාණය කිරීමට මොවුන් උත්සුක විය. මේ ජාතිවාදී අන්තවාදී පෙළඹවීම් කරනුයේ පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන් මිස සාමාන්‍ය ජනතාව නොවේ. ඒ ප්‍රදේශ නියෝජනය කරන පිල්ලෙයාන්, කරුණා සහ රාසමානික්කම් වැනි දේශපාලනඥයන් සාමාන්‍ය ජනතාව අතර සිටින ඔවුන්ගේ නියෝජිතයන් බටට පත් ව සිටින පුද්ගලයන් උසි ගන්වමින් සිංහල දෙමළ දෙපිරිස අතරම ඝට්ටන ඇති කරන්නට සමත් වී තිබේ.

මයිලත්තමඩු යනුවෙන් වර්තමානයේ හඳුන්වන ප්‍රදේශයේ කිරි ගොවීන් හා දිවුලපතාන ගොවීන් අතර විරසකයන් නිර්මාණය කරනුයේ දෙමළ දේශපාලනඥයන්ගේ වුවමනාව පිටය. මඩකලපු කිරි ගොවීන්ගේ හරක් පට්ටිවල සිටින දහසක් පමණ වූ ගවයන් පෙර සිරිත අනුව ගොයම් කපා පාගා ගැනීමේ කාලයට නොව සෑම කාලයකම මේ ප්‍රදේශවලට දක්කවනු ලබති. මියන්කල්ලු වැවට පහළින් වූ ප්‍රදේශයේ වාඩි ගසා ස්ථිර ලෙස පදිංචි කර යලට මහට ගොවිතැන් කරනු ලබන දිවුලපතාන සිංහල ගොවීන්ගේ කුඹුරුවලට සහ හේන්වලට මුදා හරිති. මේ නිසා ඇති වන ගැටුම්වලදී මිය යන්නේ ගවයන්ය. ඒ අතර හොරට හරක් මරමින් මුස්ලිම් මිනිසුන්ට විකිණීමේ ජාවාරමක්ද දේශපාලනඥයන්ගේ ගෝලබාලයන් විසින් කරවනු ලබති. වැලි ජාවාරමක් ද ගජරාමෙට ක්‍රියාත්මක වෙයි. මේ සිද්ධි කිසිවක් විමර්ශනය නොකර සිංහල ගොවීන් විසින් දෙමළ කිරි ගොවීන් ගේ හරක් 1400 ක් පමණ ඝාතනය කර ඇතැයි පසුගියදා පළ වූ ඩේලිමිරර් පුවත්පතක දක්වා තිබිණ. පරම්පරා පහක් දෙමළ කිරිගව අයිතිකරුවන් විසින් පරිහරණය කළ මයිලත්තමඩු තණ බිම් සිංහල ගොවීන් විසින් ආක්‍රමණය කර ඇති බවද එහි දක්වා තිබුණි. යථාර්ථය එය නොවේ. මාළත්ත මයිලත්මඩු කොට පාරම්පරික සිංහල ගම්මාන ආක්‍රමණය කර තිබෙන්නේ මඩකලපුවේ ඉන්නා දෙමළ කිරිපට්ටි අයිතිකරුවන්ය. මහවැලිය මේ ගැටුම් දඩමීමා කොටගෙන තමන්ගේ හිතවතුනට වැලි ජාවාරම් කරන්නට ඉඩ ලබාදෙන අතර මේ අයගේ ඩෝසරවලට පුරාවස්තු පවා ඉගිල්ලෙන හැටි සංවේගයෙන් දන්වා සිටිය යුතු වෙයි. එදා ඉංග්‍රීසීන් 1818 විමුක්ති අරගලයේ දී සිංහලයන් මේ පෙදෙස්වලින් පන්නා දමා දෙමළ සහ මුස්ලිම් ජනයා පදිංචි කළා සේ. වර්තමාන මහවැලිය ද දිවුලපතාන වැනි ගම්මානවල ජීවත් වූ සිංහල වැසියන් හට උසාවි වාරණ පනවමින් ඇතුළු වීම වළක්වමින් හමුදාව යොදා මාර්ග බාධක තබවමින් ගොවීන්ගේ පමණක් නොව හාත්පස ජීවත්වන ජනතාවගේ ද මූලික අයිතිවාසිකම් කඩකරමින් සිටී. මේ සම්බන්ධව දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවතින අතර මාළත්ත මයිලත්තමඩු කළ මහවැලි නිලධාරීන් පිළිබඳ හෙළිදරව් කිරීමට ද ඉදිරියේ දී අවස්ථාවක් උදාවෙනු ඇත.

මතුගම
සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment