මාළු පාන් ගස් කට්ලට් වැල් සහ පාසල් ළමයි

968

ඩීසල් අර්බුදය උග්‍රවීමත් සමඟම ශ්‍රී ලංකාවේ ජනන ජීවිතය වෙනස් විය. ෂෙඩ්වල වාහන පෝලිම් දික්වෙන්නට පටන් ගැනීමත් සමඟම ආණ්ඩුව තීන්දුවක් ගත්තේය. ඒ වූ කලී දවස් පහේ පාසල් සතිය දවස් 2 ක් හෝ 3 ක් බවට පත්වීමත්, දවස් පහේ කාර්යාල වැඩ සතිය දවස් 3 ක් කිරීමත්, ඒ තීන්දුවය. වැඩට නොඑන දවස්වල ගෙදර සිට වගා කරන ලෙස ආණ්ඩුව විසින් ජනයාගෙන් ඉල්ලන ලදී. ඒ ඉල්ලීම හුළඟේ පාවී ගිය අතර කවුරුත් වගා කළේ නැත. එයට හේතු කීපයක් තිබේ. පළමුවැන්න නම් නාගරික ජනතාවගෙන් වැඩි දෙනා කිසිදු වගාවක් ගැන නොදන්නා නිවාඩු දවස්වල බීම හා ටීවී බැලීම පමණක් ප්‍රිය කළ හිපාටුවන් පිරිසක් වීම ය. ඊළඟ කාරණය වගා කටයුතු සඳහා අවශ්‍ය බීජ හෝ පොහොර ජනයා සතු නොවීම ය. වගා කටයුතු සඳහා කාබනික පොහොර යෙදීම නිර්දේශ කරන ලද නමුදු කාබනික පොහොර සෑදීම වගාවට වඩා තුන් හතර ගුණයක් විශාල ව්‍යාපෘතියක් බැවින් ඒ පිළිබඳව තිබූ උනන්දුව පහවිය. ඊළඟට තට්ටු නිවාසවල සිටින ජනයාට වගා කිරීම කිසිසේත්ම කළ නොහැකි විය. ඔවුන්ට ඒ ගෙවල් ඇතුළේ වගා කිරීමට තබා එහා මෙහා වීමටවත් ඉඩක් තිබුණේ නැත. ඒ නිසා ඉන්ධන හිඟයට සාපේක්‍ෂ වගා සංග්‍රාමය දරුණු ලෙස පරාජයට පත් විය. එහෙත් මේ සංග්‍රාමය තුළ තුවාලකරුවන් නොසිටීම ලොකු වාසියකි. ඩීසල් මිල වැඩිවීම නිසාත්, ඩීසල් හිඟය නිසාත් එළවළු ප්‍රවාහනය කරගත නොහැකිව ඒවා කුණුවිය. ප්‍රවාහනය කළ එළවළු ටික ද මිල ඉතා අධික විය. මෙය අතුරු කතාවකි. දැන් අප කතා කරන්නේ ළමයින්ගේ අධ්‍යාපනය ගැන ය.

ළමයින් දවස් දෙකක් හෝ තුනක් හෝ ඉස්කෝලේ යද්දී ගුරුවරුන් විසින් පාඩම්වල ඉතිරිය පිරිමසන ලද්දේ ඔන්ලයින් තාක්‍ෂණයෙනි. මෙය වැඩි ප්‍රතිඵල ගෙන දෙන වැඩක් නොවේ. පන්ති කාමරය තුළ තිබෙන විභවය සහ ගුරුවරයා සහ ළමයා අතර පවතින භෞතික හා මානසික සම්බන්ධය ඔන්ලයින් හරහා කිසිසේත්ම ඇති වූයේ නැත. පන්ති කාමරයක් යනු විශාල ඒකකයකි. ඔන්ලයින් පන්ති කාමරයක් යනු අඟල් 2 1/2 ක් පළල අඟල් 5 ක් දිග ස්මාර්ට් ෆෝන් එකක් තුළ තිබෙන ඒකකයකි. මේ ඒකකය හරහා කළ හැකි ඉගැන්වීමක් නැත. ලංකාව වැනි රටවලට මේ ආකාරයෙන් ඉගැන්වීම පුරුදු ද නැත. අපේ දරුවෝ ඉතා ක්‍රියාශීලී ළමයින් වෙති. උගන්වන විට මේ දරුවන් තුළ ඇති අප්‍රමාණ වූ ශක්තිය පිටවන අතර එය පාලනය කිරීම සඳහා දරුවන්ට නොව ගුරුතුමියගේ මේසයට වේවැලෙන් පහර දෙකක් දිය යුතුම ය. එහෙත් ඔන්ලයින් සෙල්ලම එවැනි සජීවී ආකෘතියක් නොවේ. ඒ නිසා දවස් 5 ම පාසල් පැවැත්වීමේ අවශ්‍යතාවය මතුවිය. ඒ අවශ්‍යතාව ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුව තීරණය කිරීම ඉතා හොඳ කාරණාවකි. එහෙත් එම තීරණයත් සමඟම මතුවන පහත සඳහන් ප්‍රශ්න කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව තිබේද යන්න සැකයකි.

1. දරුවන්ට නිසි වේලාවට පාසල් යෑම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුව විසඳී තිබේ ද?

2. දැනට රට තුළ පැතිර යමින් පවත්නා නව කොවිඩ් රැල්ල දරුවන්ට හානිදායක නොවීම සඳහා රජය ගෙන ඇති පියවර මොනවාද?

ඉහත සඳහන් ප්‍රශ්න 2 කට අමතරව තවත් ප්‍රශ්න ගණනාවක් පාසල් දරුවන්ට තිබේ. ඉන් පළමුවැන්න බස් එකේ යෑමට සල්ලි නැති වීමය. දෙවැන්න අවශ්‍ය තරම් පාසල් ඇඳුම් නොතිබීමය. තෙවැන්න උදේට පාසල් යන ළමයා බොහෝ විට නිරාහාරව පැමිණීමය. මෙය ඉතා වැදගත් මාතෘකාවකි. මීට කලකට පෙර පාසල් දරුවෙක් අතට රුපියල් 50 ක් දුන් විට උදේ වේල කැන්ටිමෙන් පිරිමසා ගැනීමේ හැකියා දරුවාට තිබිණ. එහෙත් අද පාන් රාත්තලක් රුපියල් 200 කි. සීනි සම්බෝල ලෙස හැඳින්වෙන තෙල් දැමූ ලූනු ටිකක් මැදට දැමූ පාන් කාලක් රුපියල් 100 කි. මාළු පාන් එකක් රුපියල් 100 කි. මාළු කට්ලට් ලෙස හැඳින්වෙන දොඹ ගෙඩියක් තරම් කුඩා වූ අල සහිත බෝලයක් රුපියල් 75 කි. චයිනිස් රෝල් එකක් සමහර කඩවල රුපියල් 150 කි; ප්‍රසිද්ධ නම් සහිත පේස්ටි්‍ර ෂොප්වල රුපියල් 170 කි. කුඩා බීම බෝතලයක් රුපියල් 100 කි. මේ නිසා මධ්‍යම පන්තියේ සහ පහළ මධ්‍යම පන්තියේ දරුවන්ගේ පිහිටට එන්නේ පාසලේ ටැප් එකය. මේ ටැප් එකෙන් වතුර බී එසෙම්බ්ලි එක සඳහා උදේ වරුවේ අව්වේ සිටගෙන සිටින ළමයින් හත්අට දෙනෙක් ම ක්ලාන්තව බිම වැටෙති. එවිට ප්‍රින්සිපල් අහන්නේ උදේට කන්න සල්ලි නැත්නම් කෑම ගෙදරින්වත් නොගෙනෙන්නේ මන්ද කියා ය. ගෙවත්තේ තිබෙන ගස්වල ආහාර වර්ග වැවෙන්නේ නැත. මාළු පාන් ගස් හෝ සීනි සම්බෝල පාන් වැල් මේ රටේ නො වැවේ. ඒ නිසා උදේ කෑම ගෙදර හැදුවද මුදල් අවශ්‍ය ය. පාන් කාල ගෙදරට ගෙනාවත් එහි මුදල රුපියල් 100 කි. පාන් කාල මැදට කුමක් හෝ එබීමට නම් තවත් මුදලක් වැය වේ. පාසල් දරුවන්ගේ ආහාර ප්‍රශ්නය කිසිදු ආණ්ඩුවකට විසඳීමට බැරි වූ ප්‍රශ්නයකි. සමහර ආණ්ඩු මේ ප්‍රශ්නය විසඳීම සඳහා පාසල් දරුවන්ට බිස්කට් 5 බැගින් දුන්හ. එය ද එතරම් සාර්ථක වූයේ නැත. සමහර ළමයින් බිස්කට් වලින් සීට්ටු දමා ඒවා ගෙදර ගෙනගියහ. පසු කලෙක බනිස් බෙදන ලදි. ඒවා තනිකරම පිටිගුලි වූ බැවින් ළමයින් එම බනිස්වලින් බෝල ගැසූහ. ඇතැම් රජයන් ළමයින්ට දහවලට කිරි වීදුරුවක් දීමට කටයුතු සම්පාදනය කළේය. එහෙත් සමහර අවස්ථාවලදී ඒ කිරි නරක් වූ බැවින් ද, නරක් වූ කිරි බීම නිසා ළමයින්ගේ බඩ බුරුල් වූ බැවින් ද වැඩේ නැවතින. මෙය ද අතුරු කතාවකි. නැවතත් ප්‍රස්තුතයට බසිමු.

දැනට පවතින කොවිඩ් රැල්ල සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි පියවර ගත යුතුය. ගිය සැරේ කොවිඩ් වර්ධනය වූයේ එළිපිටය. මේ සැරේ කොවිඩ් වර්ධනය වන්නේ කාටත් හොරා ඉතා රහසේ ය. එළිපිට ආවත්, හොරෙන් ආවත් කොවිඩ් යනු කොවිඩ්ම ය. යම්කිසි විදියකින් පාසල් පද්ධතියට කොවිඩ් බෝවුණොත් ලොකු ගැටලුකුවක් හට ගනී. අප මේ කියන්නේ නැවත වරක් පාසල් වැසිය යුතු බවක් නොවේ. ළමයින්ගේ අධ්‍යාපන ප්‍රශ්නය පිළිබඳව අපට වඩා හොඳින් අධ්‍යාපන අමාත්‍යාංශය දන්නා බව අපට විශ්වාසය. ළමයින් නැවතත් පාසල් පැමිණීමේදී ඇතිවිය හැකි ප්‍රශ්න ආණ්ඩුවට යළි මතක්කර දීම ජාතික වගකීමක් සේ සලකා අපි මෙය ලියූවෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment