මාළු හොරු (1)

1296

මෙයට අවුරුදු 50 කට පෙර ශ‍්‍රී ලංකාවට ඉන්දියාවෙන් තිබූ ලොකුම කරදරය කල්ලතෝනි උවදුරය. කල්ලතෝනියා යනු මනුෂ්‍ය වර්ගයාගේ සතුරෙක් නොවේ. තමිල්නාඩුවේ වෙසෙන දුප්පත් දෙමළ මිනිහෙකි. ඒ මිනිහාට කෑමට යමක් නැත. ඉනට වස්ත‍්‍රයක් නැත. මීට අවුරුදු 50 කට පෙර බෙහෙවින් නොදියුණු රාජ්‍යයක්ව පැවති ඉන්දියාවේ කුණු කාණු අසල ලගිමින් කුණු බාල්දි අවුස්සා කමින් ජීවත්වූ මේ දුප්පත් දෙමළ මනුෂ්‍යයාට ලංකාව නමැති සුරපුරයක් තිබෙන බව ආරංචි වෙයි. ඒ ගැන විපරම් කරන ඔහුට දැනගන්නට ලැබෙන්නේ තමිල්නාඩුවේ ධනුස්කොඩි වෙරළේ සිට ලංකා සුරපුරයේ වැල්වැටිතුරෙයි වෙරළට සැතපුම් 22 ක් පමණක් ඇති බවය. මේ දුර බෝට්ටුවකින් ගමන් කිරීම දුප්පත් ඉන්දියානු මිනිහකුට එපමණ ලොකු මසල වඩයක් නොවේ. එබැවින් ලෑලි 2 ක් මූට්ටු කර තෙප්පම නමැති ප‍්‍රාථමික මුහුදු යාත‍්‍රාවක් ඉදිකරගන්නා මේ දුප්පත් දෙමළ මනුස්සයා සිය ජීවිතය මහා සාගරයටත් අනාගතය ලංකාව නමැති සුරපුරයටත් දූ දරුවන් ශිව දෙවියන්ටත් භාරකොට ධනුස්කොඩි වෙරළෙන් තෙප්පමට පැන හබල් ගාමින් ස්වකීය තීර්ථ යාත‍්‍රාව ආරම්භ කරයි. මුහුදු රළ තද නම් හා බෙංගාල බොක්කේ වාසුලියක් නම් තෙප්පම් ලෑල්ල මිස මේ දුප්පත් මිනිහාගේ මිනියවත් ගොඩ ගසන්නේ නැත. එහෙත් සාගරය අසරණ දෙමළ මිනිසාගේ යහ සාධනය පිණිස පෙනී සිටීමට තීරණය කළොත් පැය 24 ක් හෝ 30 ඇතුළත වැල්වැටිතුරෙයි වෙරළෙන් ශ‍්‍රී ලංකාවට ඇතුළු වීමට ඔහුට හැකිය. මේ එන දුෂ්කර ගමනේදී මෝටර් බෝට්ටු වලින් ඉන්දියාවේ සිට ලංකාවට හොරබඩු ගෙනයන ඉන්දියානුවන් ඔහුට හමුවෙයි. එසේම ලංකාවේ සිට පොල්හග යට කොටියා සිටින අරක්කු (මීට අවුරුදු 50 ට පෙර ලංකාවේ අරක්කු බෝතල්වල ලේබලයෙහි තිබූ චිත‍්‍රය වූයේ පොල් ගහක් යට සිටින කොටියෙකි), පොල් තෙල් (මේ කියන කාලයේදී ඉන්දියාවේ පොල් තෙල් විශාල වශයෙන් හිඟය), සන්ලයිට් සබන් (එකල තමිල්නාඩුව තුළ සල්ලි වලට වැඩි වටිනාකමක් සන්ලයිට් සබන් වලට තිබුණි) යනාදී වෙළෙඳ ද්‍රව්‍යය ද පුවක් ද පටවාගත් වල්ලම් ලංකාවේ සිට ඔහු පසුකර තමිල්නාඩුව දෙසට යනවාද ඔහුට පෙනේ. එක්දහස් නවසිය පනස් ගණන්වල ගණන් හිලව් වලට අනුව සෑම කල්ලතෝනින්ගෙන් 80% ක් පණ පිටින් ශ‍්‍රී ලංකාවට ඇතුළු වෙති ඉතුරු 20% න් 10% ක් මගදී මැරෙති. ඉතුරු 10% ශ‍්‍රී ලංකාවේ වෙරළාරක්ෂක හමුදාවට අසුවේ. ලංකාවට ඇතුළු වන මේ දුප්පත් දෙමළ මිනිහා යාපනයට තලෙයි මන්නාරමට හෝ පිටකොටුවට ගොස් තම ජීවිතය අලූතින් පටන් ගනී. ඉතා මහන්සි වී මේ රටේ කඩවල අඩු පඩියට වැඩ කරන ඔහු නොකා නොබී මුදල් ඉතිරි කොට ඒවා මේ රටේම ආයෝජනය කර තව තවත් මුදල් උපයයි. අවුරුදු දෙකකට පසු ඔහු ආපසු ඉන්දියාව බලා යයි. ඒ තෙප්පමක නැග නොව මුදල් ගෙවා මෝටර් බෝට්ටුවකිනි. ඉන්දියාවේ මාසයක් පමණ ගතකොට රටේ ජනගහනය වැඩි කිරීමටද දායක වී සිය පුතකු සහෝදරයකු හෝ බිරිඳගේ මලයකු සමග ඔහු ආපසු ලංකාවට එයි. මේ අවස්ථාවේදී ඔහුගේ ස්වාමියා වූ යාපනේ, මන්නාරමේ හෝ පිටකොටුවේ දෙමළ මුදලාලි තමිල්නාඩුවෙන් පැමිණි අලූත් සේවකයා භාරගන්නේ මහත් සතුටිනි. අවුරුදු 20 ට 30 ට පමණ පසුත් තෙප්පමේ නැගී ලංකාවට ආ ඉන්දියානු දෙමළ හොර වැසියා ලංකාවේ පුරවැසියකු බවටත් ඉතා ධනවත්, මොටර් බෝට්ටු හිමි මුදලාලි කෙනකු බවටත් පත්වේ. ඔහු යටතේ සිංහල මිනිස්සු තුන් හාරසීයක් වැඩ කරති. මේ ආකාරයෙන් ඉන්දියානු හොර වැසියන් ලංකාවේ ශ‍්‍රම අවස්ථා සූරාකෑම අලි කරදරයක් වී තිබිණ. දැන් මේ රටට ඉන්දියානු හොර වැසියෝ නොඑති. ඒ වෙනුවට මෙහි එන්නේ ප‍්‍රයිවට් ජෙට්වල නැගුනු ගෞතම් අදානි වැනි ඉන්දියානු කෝටිපතියන් ය.

 දැන් මේ කතාවේ දෙවන භාගයට එළඹෙමු. ඉස්සර තිබූ කල්ලතෝනි කරදරය දැන් නැතත් මේ මොහොතේදී ඉන්දියාව අපට කරන ලොකුම කරදරය වන්නේ ලංකා මුහුදේ හොරෙන් මාළු ඇල්ලීම සඳහා තමිල්නාඩුවේ මසුන් මරන්නන් එවීමය. පසුගිය දිනවල මේ නීති විරෝධී මසුන් මරන්නන් සහ අපේ මසුන් මරන්නන් අතර මහා සාගරය මැද්දේ ගුටි කෙලියක් ගියේය. සමහරවිට තමිල්නාඩු ධීවරයෝ සංවිධානාත්මකව ට්‍රෝලර් වලින් පැමිණ ලංකාවේ ධීවරයන්ගේ මා දැල් කපා දමා යති. නොඑසේ නම් ඒවා සියල්ල එකතු කරගෙන ස්වකීය ට්‍රෝලරයට පටවාගෙන යති. ඔවුන් මා දැල් පටවා ගන්නේ ඒවාට අසුවූ මත්ස්‍යයන් ද සමගය. ඇතැම් විටක මේ මා දැලක් තුළ මාළු කිලෝ 2000 ක් පමණ වෙයි. ජීවිතය හා මරණය අතර ගුටි කෙළ ගනිමින් මේ රටේ ධීවරයන් රුවල් ඔරුවල නැගී ගොස් මුහුදේ අතුරන මා දැල් හා මත්ස්‍ය සම්පත අවසානයේදී ඔවුන්ට අහිමි වනවා පමණක් නොව ඉන්දියානු ධීවරයන්ගෙන් නැව් ගුටි කෑමටත් සිදුවේ. ඇතැම් විට ධීවරයන් මරා මුහුදට හෙලනු ලැබේ. ඉන්දියාවෙන් එන මාළු හොරුන්ට වෙඩි තැබීමේ පරම අයිතිය නාවික හමුදාවට ඇත. එහෙත් ඒ එක වෙඩි පහරකින් එක ඉන්දියානුවකු හෝ මළොත් තමිල්නාඩු ප‍්‍රාන්තය ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවට වද දෙන්නට පටන් ගන්නේ ලංකාව ආක‍්‍රමණය කළ යුතු බව කියමිනි. මාළු කේස් එකකට ලංකාව ආක‍්‍රමණය කිරීම ඉන්දියාවට පාඩුවකි. අඩුම ගන්නේ අදානිට නැගෙනහිර ජැටිය දෙන බව කියා ඔහු රවටා බටහිර ජැටිය දුන් අවස්ථාවේදීවත් ඉන්දියාව අප ආක‍්‍රමණය කළේ නැත. බටහිර ජැටිය යනු ජැටියක් නොවේ. එතැන ජැටියක් තබා කොන්ක‍්‍රීට් කණුවක්වත් නැත. ආණ්ඩුව කළේ බටහිර ජැටිය හදා ගන්නැයි කියමින් කොළඹ වරාය අසල මහා සාගර කොටසක් ඉන්දියානුවන්ගේ ඇෙඟ් ගැසීමය. ඉන්දියාව මෙය කාගෙන ඉවසා වදරාගෙන සිටියේය. එසේ ඉන්දියාව නොඉවසුවා නම් එකී බටහිර ජැටිය යන්නේත් චීනයටය. අපේ කතාව වෙනතක යන බව පෙනේ. එබැවින් නිසි මගට වැටෙමු. පසුගියදාක ලංකා මුහුදු සීමාවට පැමිණි තමිල්නාඩු ධීවර ත‍්‍රස්තවාදීන් රැුළක් ශ‍්‍රී ලංකාවේ ධීවරයන්ට පහරදී පැන ගියාහ. මේ සිද්ධියෙන් පැය 24 ට පසු ලංකාවේ ධීවරයන් නොව තමන්ගේ ධීවර ප‍්‍රජාව ඉන්දියානු සාගරයේදී ගුටි කෑ බව කියමින් තමිල්නාඩුවේ මහ ඇමැති එම්. කේ. ස්ටාලින් නටන්නට පටන් ගත්තේය. එම්. කේ. ස්ටාලින් යනු තමිල්නාඩුවේ හිටපු මහා ඇමැති මුතුවේල් කරුණානිධිගේ පුත‍්‍රයාය. ඔහු ඔර්ජිනල් ස්ටාලින් නොවේ. සෝවියට් දේශයේ විසූ ආඥා දායක ඔර්ජිනල් ජෝශෆ් ස්ටාලින් මීට දශක ගණනාවකට පෙර මිය ගියේය. ලංකාවේ ගුරු සංගම් සභාපතිගේ නම ද ජෝශෆ් ස්ටාලින් ය. ඔහු සමග අපට කිසිදු ආරවුලක් නොවේ. ඔහු තම වෘත්තීය සගයන් වෙනුවෙන් දැඩිව පෙනී සිටි කම්කරු නායකයකු වන බව අපගේ පිළිගැනීම වන නමුත් ඔහුද ඔර්ජිනල් ස්ටාලින් නොවේ.

 ඉතුරු කොටස හෙට

advertistmentadvertistment
advertistmentadvertistment