මා එන්නේ ජාතිය හෝ ආගම මුල්කර දේශපාලනය කරන්න නොවේ: රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්නයි – ජනපති රනිල් වික්‍රමසිංහ සායින්දමරදුහිදී කියයි

147

ජනාධිපතිවරණයට තමා මෙවර ඉදිරිපත් වන්නේ ජාතිය හෝ ආගම මුල්කර ගනිමින් දේශපාලනය කරන්නට නොව රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්නට බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අම්පාර සායින්දමරදු සහ තිරික්කෝවිල් ජනරැලි අමතමින් පෙරේදා (11 දා) පැවසීය.

පොහොර මිල අඩු කරන බවට සහ ගොවි ණය කපා හරින බවට අද ප්‍රකාශ කරන සජිත් හා අනුර එදා මේ රටේ ගොවි ජනතාව පොහොර නැතිව දුක් විඳින විට සිටියේ කොහේදැයි තමා ප්‍රශ්න කරන බවද ජනාධිපතිවරයා මෙහිදී විමසා සිටියේය.

තමා ලෝක නායකයන්ට කතාකර පොහොර සහනාධාර ලබා ගැනීමට කටයුතු කිරීම නිසා ගොවියා නැවත ගොවි බිමට යවා රටේ වී නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට හැකි වූ බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

අද ජනතාවගේ ජිවන බර ගැන කථා කරන සජිත් හා අනුර පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ජනතාවගේ ජීවන බර අඩු කිරීමට කිසිඳු සහායක් ලබා නොදුන් බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනතාව අසීරුතාවට පත් වූ අවස්ථාවේ පැනගිය අය අද තම අනාගතය වෙනුවෙන් බලය ඉල්ලන බව පැවසූ ජනාධිපතිවරයා තමා මෙවර ජනාධිපතිවරණයේදී ජන වරම ඉල්ලා සිටින්නේ රටේ අනාගතය වෙනුවෙන් ආරම්භ කළ වැඩසටහන ඉදිරියට ගෙන යෑමට බවද සඳහන් කළේය.

මා එන්නේ ජාතිය හෝ ආගම මුල්කර දේශපාලනය කරන්න නොවේ: රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්නයි - ජනපති රනිල් වික්‍රමසිංහ සායින්දමරදුහිදී කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පෙරේදා (11 දා) පස්වරුවේ කල්මුණේ, සයින්දමරදු ෆවුසි ක්‍රීඩාංගණයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට මුස්ලිම් ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ග වූ වෙළෙඳාම සහ ගොවිතැන නැති වුවහොත් එම ජනතාවට දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන බවයි. එබැවින් මෙරට වෙළඳාම සහ ගොවිතැන ශක්තිමත් කළ හැක්කේ කාටදැයි මුස්ලිම් කොංග්‍රසයෙන් විමසන ලෙස ජනතාවට පැවසූ ජනාධිපතිවරයා තමා ජනතාව ඉදිරියට පැමිණ ඇත්තේ සැලසුම් සමඟ බවද කියා සිටියේය.

එසේම තමා කිසිවිටෙකත් ජනවාර්ගික ප්‍රශ්නය සහ ආගමික ප්‍රශ්නය පදනම් කර ගනිමින් මැතිවරණ නොකරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මුස්ලිම් ජනතාවගේ භූමදානය පිළිබඳ අයිතිය නීතියෙන්ම ලබා දෙන බවත්, අනෙක් නායකයන් මැතිවරණ වේදිකාවල පොරොන්දු දෙන විට තමා ජනතාව ඉදිරියට පැමිණෙන්නේ පොරොන්දු ඉටු කර බවද සඳහන් කළේය.

ජනරැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය

“ඔබට ආහාර නොතිබූ අවස්ථාවේ මම ආහාර ලබා දුන්නා. ඔබට ඖෂධ, පොහොර, ඉන්ධන සහ ගෑස් නොතිබූ අවස්ථාවේ මම එම අවශ්‍යතා සපුරා දුන්නා. ඔබට බලාපොරොත්තු නොතිබූ අවස්ථාවේ මම බලාපොරොත්තුවක් ලබා දුන්නා.

මා එන්නේ ජාතිය හෝ ආගම මුල්කර දේශපාලනය කරන්න නොවේ: රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්නයි - ජනපති රනිල් වික්‍රමසිංහ සායින්දමරදුහිදී කියයි

ඔබ ආහාර නැතිව කුසගින්නේ සිටීම මට වේදනාවක් වුණා. ඔබ ඉන්ධන, ගෑස්, පොහොර නැතිව සිටිනවා දුටු විට මම කණගාටු වුණා. රටේ ජනතාව දුක් විඳිනවා දැක මම කණගාටු වුණා. කිසිවෙක් රටේ වගකීම භාර නොගත් නිසා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරාධනය පරිදි මම ජනාධිපති ධුරය භාරගත්තා.

එදා සජිත්ට ජනතාව විඳින මේ වේදනාව දැනුණේ නැද්ද? ඔවුන් කිව්වා මේ ලෙඩේ අපි භාර ගන්නේ නැහැ කියලා. ඔවුන්ගේ හෘද සාක්ෂිය කුමක්ද කියා මම අහනවා.

පොහොර මිල අඩු කරනවා, ගොවි ණය නැති කරනවා කියලා අද ජනතාවට පොරොන්දු දෙනවා. නමුත් ගොවීන්ට පොහොර අවශ්‍ය වෙලාවේ ඔවුන් ජනතාවට පොහොර දෙන්න ඉදිරිපත් වුණේ නැහැ. ඒ වෙලාවේ ඔබ හිටියේ කොහේද කියා මම සජිත්ගෙන් සහ අනුරගෙන් අහනවා.

අසීරු ජනප්‍රිය නොවන තීන්දු ගනිමින් මම මේ රටේ ආර්ථිකය ගොඩගත්තා. වසා දමා තිබූ කඩ සාප්පු මම විවෘත කළා. දැන් අපි රටේ ආර්ථික ස්ථාවරභාවය තහවුරු කර තිබෙනවා.

මේ ඡන්දය ජනවාර්ගික ප්‍රශ්න ගැන නොවෙයි. මේ ඡන්දය ආගමික කටයුතු පිළිබඳ නොවෙයි. මුස්ලිම් ජනතාවට තිබූ ප්‍රධාන ප්‍රශ්නය මම විසඳුවා. භූමදානය කිරීමේ අයිතිය මම ඔබට නීතියෙන් අරන් දෙනවා. අනිත් අය මේවා කතා කරන්නේ මැතිවරණ කාලයටයි. මම මේවා ඡන්ද කාලයේ කතා කරන්නේ නැහැ. මම ඔබ හමුවට පැමිණ සිටින්නේ ඒ වැඩකොටස ඉටුකරලයි. දැන් තිබෙන්නේ එය පාර්ලිමේන්තුවේ සම්මත කර

ගැනීමට පමණයි. මම දැන් ජමහල් මුස්ලිම් පල්ලියත් නැවත ලබා දී තිබෙනවා. දැන් මේ පළාතේ ජනතාවට ආගම ගැන කතා කරන්න දෙයක් නැහැ.

මුස්ලිම් ජනතාව වෙළඳාම් කරනවා. ඒ වගේම ගොවිතැන් කරනවා. වෙළඳාම සහ ගොවිතැන නැති වුණොත් මුස්ලිම් ජනතාව අසීරුතාවට පත් වෙනවා. ඒ නිසා වෙළඳාම සහ ගොවිතැන දියුණු කරන්න පුළුවන් කාටද කියා ඔබ මුස්ලිම් කොංග්‍රසයෙන් අහන්න.

අප ජනතාවට හොඳ ජීවන තත්ත්වයක් ලබා දිය යුතුයි. රුපියල ශක්තිමත් කර අප ජනතාවගේ ජීවන බර අඩු කරනවා.

අද මම මෙහි පැමිණෙන විට හොඳ සාප්පුවක් දැක්කා. එම සාප්පුවේ ලේස් සපත්තු කුට්ටමක් තිබ්බා. සජිත් මෙහි පැමිණි විට ඔබ එය ඔහුට අරන් දෙන්න. එතකොට ඔහුට දුවන්න පහසුයි.

අපි මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරගෙන ඉදිරියට ගෙන යමු. අප මේ ප්‍රදේශවල කෘෂිකර්මාන්තය දියුණු කරනවා. කෙතරම් අසීරු වුවත් 2023, 2024 යල මහ කන්නවලදී මේ රටේ ගොවි ජනතාව අපට සාර්ථක අස්වැන්නක් ලබා දුන්නා. ඒ අනුව දැන් ගොවි ජනාතවගේ අත මිට සරු වී තිබෙනවා. මෙම ලෝක නායකයන්ටත් කථා කරලා අසීරුවෙන් ලබාගත් පොහොර නිසා මෙම දියුණුව ලබා ගැනීමට හැකි වුණා. ඒ අවස්ථාවේ සජිත් ප්‍රේමදාසයි, මුස්ලිම් කොංග්‍රසයයි හිටියේ කොහේද කියා මම අහනවා.

අප පේදුරුතුඩුවේ සිට පානම දක්වා විශාල සංචාරක කලාපයක් ආරම්භ කරනවා. ඒ වෙනුවෙන් පලාලි, හිඟුරක්ගොඩ, මත්තල යන ගුවන් තොටුපොළ දියුණු කරනවා. සමන්තුරේ ආයෝජන කලාපයක් ඇති කරනවා. ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය සංවර්ධනය කරනවා. මම ජනතාව ඉදිරියට එන්නේ සැලසුම් සමඟයි.

මා එන්නේ ජාතිය හෝ ආගම මුල්කර දේශපාලනය කරන්න නොවේ: රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්නයි - ජනපති රනිල් වික්‍රමසිංහ සායින්දමරදුහිදී කියයි
රනිල් අම්පාරේදී….

ජනාධිපතිවරණයේදී මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමේ ජනවරමයි. සජිත් කියන්නේ හැමදේම නොමිලේ දෙනවා කියලා. රටක් එහෙම සංවර්ධනය කරන්න බැහැ.

ආර්ථික අර්බුදය හමුවේ බයවෙලා පැන ගිය අය දැන් ඒ අයගේ අනාගතය වෙනුවෙන් බලය ඉල්ලනවා. මම ආවේ මේ රටේ ජනතාවගේ අනාගතය ගැන හිතලයි. ඒ නිසා ඔබේ අනාගතය ගැන සිතා සැප්තැම්බර් 21 වැනිදා ගෑස් සිලින්ඩරය ඉදිරිපස කතිරය ගහන ලෙස මම ඉල්ලනවා.

අලි සබ්‍රි –

මීට වසර දෙකකට පෙර ගෑස් නොමැතිව සුපර් මාර්කට්වල දර අලෙවි කළ යුගයක් මේ රටේ තිබුණා. ගොවීන්ට පොහොර තිබුණේ නැහැ. මහ බැංකුවේ තිබුණේ ඩොලර් මිලියන 20යි. ඒ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතාට ආණ්ඩුව භාර ගන්නා ලෙස දැනුම් දෙන ලෙස එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මට උපදෙස් දුන්නා.

අලී සාහීර් මවුලානා –

අද රටේ ජනතාවට විදුලිය ඇතුළු මූලික අවශ්‍යතා සියල්ල නොඅඩුව තිබෙනවා. ඒ වගේම ජනතාවට ක්‍රමක්‍රමයෙන් සහන ලැබෙමින් පවතිනවා. මිනිසුන් සතුටින් ජීවත් වෙනවා. සියලු ජාතීන් සතුටින් උත්සව පවත්වනවා. මේ තත්ත්වය දිගටම පැවතිය යුතුයි. එසේත් නොමැතිව වටිනා කාලය යළි පෝලිම්වල ගත කරන්න ජනතාව කැමති නැහැ.

මා එන්නේ ජාතිය හෝ ආගම මුල්කර දේශපාලනය කරන්න නොවේ: රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්නයි - ජනපති රනිල් වික්‍රමසිංහ සායින්දමරදුහිදී කියයි

එම්. මුෂාරෆ් –

එදා වගකීම්වලින් පැනලා දුවපු අය අද පාලන බලය ඉල්ලනවා. එදා ජනතාව පෝලිමේ ඉන්න විට ඔවුන් වෙනුවෙන් පෝලිමේ ඉන්න ඔවුන් ආවේ නැහැ. මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් කාරියප්පර් මහතා පසුගිය දිනක රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී කියනවා “අපි එදා රට භාර ගන්න හිටියේ, නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩිමුඩියේ ගිහින් එය භාරගත්තා” කියලා. ඒත් එදා ඇත්තටම සිදු වුණේ ඔවුන් බෑ කියලා දිව්ව එකයි. ජාතික ජන බලවේගයත් පසු බැස්සා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂවරුන් රකිනවා කියලා අද ඇතැමුන් චෝදනා කරනවා. නමුත් රාජපක්ෂලාගේ ලොකුම වෛරය තියෙන්නේ ජනාධිපතිතුමා සමඟ බව කිව යුතුයි.

ඒ. එල්. එම්. අතාවුල්ලා –

විදුලිය, රැකියා, භාණ්ඩ, ගෑස් හා ඉන්ධන නොමැතිව මීට වසර දෙකකට පෙර රටේ ජනතාව පාරට බැස්සා. ඒ දිනවල ජනතාව හිටියේ ගිනි ගොඩක. මේ රට බේරා ගන්නේ කවුද කියා ඔවුන් බලා සිටියා.

සජිත් හෝ ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගේ ඒ අවශ්‍යතාව වෙනුවෙන් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නිර්භීතව ඉදිරිපත් වුණා. සියලු

ගැටලු විසඳා රට ගොඩ නැඟීම ආරම්භ කළා. එදා අභියෝගය මඟ හැර බයේ දුව ගිය පිරිස අද පැමිණ රට ඔවුන්ට බාර දෙන්න කියා ඉල්ලනවා.

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි –

අද ඇතැමුන් රටම අනුරට කියා කියනවා. නමුත් එය රටම අඳුරට ලෙස වෙනස් විය යුතුයි. ඒ අතරේ සජිත් ප්‍රේමදාස හිතන්නේ ඔහු දැනටමත් ජනාධිපති වී ඇති බවයි. මේවා තමයි විකට චරිත. විකට චරිතයකට මේ රටේ ජනාධිපති ධුරය ලබාදීමට ජනතාව සූදානම් නැහැ.

මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික පූජකවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉෂාක් රහුමාන්, විමලවීර දිසානායක, කල්මුණේ ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී ඒ. එම්. ජෙමීල්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

චමින්ද සිල්වා සහ කල්මුණේ – ශ්‍රී වේල්රාජා

advertistmentadvertistment
advertistmentadvertistment