මා මිහිදන් වුණාම

241

මා මිහිදන් වුණාම
 මේ කොඩිවැල් කියයිද
 තුන් සිත වින්ද වේදනා
 සෝ ලතැවුල් මවාන
 සුදු සළුපිළි දරාන
 කිම ඔබ අඬන කාරණා

 සෙවනට උන්නු ගසේ
 අතු සිඳ බින්ද මිනිස්සු
 පාඩුවේ දිලූන සඳට
 කැබිලිති ගැසුව මිනිස්සු
 කන්නට දුන්නු අතම
 හෙමිහිට හැපුව මිනිස්සු
 ඇති දා නැති බුහුමන්
 නැතිදා පිදුව මිනිස්සු

 සේසත් පාවඩ මැද
 අභිමන් හරසර රන්දා
 අවසන් ගමනට ඇයි
 දහසින් සැරසිලි බන්දා
 හදවත් නැති වුන් ලෙස
 පෙරදා දුන්නු වේදනා
 දෙවසන් බිහිරි අද
 මිතුරන් කුමට වර්ණනා

 මරණය අපි කාටත් පොදු ධර්මතාවයකි. මේ ගීතයෙන් කියවෙන්නේ එම සනාතන ධර්මතාවට මුහුණ දෙන මිනිසුන්ගේ ජීවිත කතාව බව කිව යුතුය. කමලා මැණිකේ වීරසේකරගේ ගී පද සංකල්පනාවට විශාරද දර්ශන වික‍්‍රමතුංගයන් සංගීතය නිර්මාණය කර ඇති මෙම ගීතයේ හඬ දායකත්වය දුමාල් වර්ණකුලසූරියගෙන්ය. බොහෝ මිනිසුන්ට ජීවිතය ජීවත් කරවීම යනු අරගලයකි. එවැනි මිනිසුන් තම ජීවිත කාලය තුළ විඳින අනේක විධ දුක්ඛ දෝමනස්සයන් ඔවුන්ගේ චින්ත සන්තානය තුළ සඟවා ගනිමින්ද, විටෙක යම් ආකාරයකින් වේදනා මුදා හරිමින්ද තම ජීවන අරගලය නිමා කරනු ලබයි

 ජීවත්ව සිටින කාලය තුළ සැප ගැන කෙසේ වෙතත් දුකක් කරදරයක් ඇති වන අවස්ථාවන් වලදී වචනයකින් හෝ උපකාරයක් කරන්නට ඉදිරිපත් වන මිනිසුන් සමාජයේ හරි අඩුය. හිත මිතුරන්, ඥාතීන්, අසල්වාසීන් ආදී ලෙස විවිධාකාරයේ බැඳීම් ගොඩනගාගත් එබඳු සමාජයක වුවත්, තම සමීපතමයෙකු මිය ගිය පසු එම තැනැත්තාට අවසන් ගෞරව දක්වන්නට සුදුවතින් සැරසී සහභාගි වුවත්, ඔවුන් තුළින් ඉස්මතු වෙන්නේ සැබෑ වේදනාවක් නොවන බවත් මේ ගීතයේ ‘‘සෝ ළතැවුල් මවාන” යන පද පේළිය තුළින් ඉස්මතු කර ඇත. ගී පද රචකාවිය වර්තමාන සමාජයේ පැතිර තිබෙන ව්‍යාජත්වයේ තවත් එක් අඳුරු පැතිකඩක් රසිකයාගේ අවධානයට යොමු කරන්නට ගීතයේ මුල් කොටස යොදා ගෙන ඇත.

 වර්තමාන සමාජයේ බොහෝ මිනිසුන්ට කොතෙක් උදව් උපකාර කළද මතකයේ රැුඳී පවතින්නේ බොහෝම කෙටි කාලයක් පමණි. උදව් උපකාර කරන මිනිසුන්ගෙන් උපරිම ප‍්‍රයෝජන ලබාගෙන අවසානයේ ඔවුන්ට ගරහන තත්ත්වයකට සමාජය පත් වී ඇති ආකාරය ඉස්මතු කරන්නට ‘‘සෙවනට උන්නු ගසේ අතු සිඳ බින්ද මිනිස්සු” වැනි අපූරු යෙදුම් ගී පද රචකාවිය භාවිත කොට ඇත. සමාජයට අවැඩක් නොවෙන ආකාරයෙන් ජීවන අරගලයේ යෙදෙන මිනිසුන්ට සමාජය තුළින් එල්ලවන නොපනත්කම් පිළිබඳව ‘‘පාඩුවේ දිලූන සඳට කැබිලිති ගැහුව මිනිස්සු” යන පද පේළිය තුළින් ඉස්මතු වේ. තම ඥාති හිත මිතුරාදින්ට කොතරම් උදව් උපකාර කරමින් ජීවත් වුවත්, එවැනි මිනිසුන් ජීවත්ව සිටියදී ඒ පිළිබඳව අගය කරන්නට තරම් නිහතමානී වන පිරිසක් දැකීම මෙම සමාජ ක‍්‍රමය තුළ අසීරුය. තමා වටා සිටින සමාජයට උපකාර කරමින් යහපත් ලෙස ජීවත් වන මිනිසුන් එතැනින් පහළට ඇද දැමීමට අර අඳින මිනිසුන් පිළිබඳව ගීතයේ ඇතුළත්ව ඇත.

 වත්මන් සමාජය ජීවත්ව සිටින මිනිසුන් අගය කිරීමට වඩා වැඩි කැමැත්තක් දක්වන්නේ මිනිසුන් මිය ගිය පසු ගුණ කථන පැවැත්වීමටත්, අවසන් කටයුතු මහා ඉහළින්ම සිදු කිරීමටත්ය. තම පවුලට, ඥාතීන්ට, හිත මිතුරන්ට, අසල්වාසීන්ට උදව් උපකාර කරමින් සමාජයේ පොදු යහපත උදෙසාද වැඩ කරමින් ජීවන අරගලයේ නිරතවන බොහෝ මිනිසුන් නිහඬවම තම ජීවන ගමන නිමා කරයි. නමුත් එවැනි මිනිසුන් මිය ගිය පසු බොහෝ සැරසිලි කරමින්, ඉතා අලංකාර ලෙස අවසන් කටයුතු සිදු කරමින් ගරු බුහුමන් දැක්වීමට වත්මන් සමාජය දක්වන්නේ පුදුමාකාර කැමැත්තකි. පුද්ගලයෙකු මිය ගිය පසු මෙලෙස ගරු බුහුමන් දැක්වීමට ඉදිරිපත් වන්නේද ජීවත්ව සිටි කාලයේ නොයෙකුත් ආකාරයේ කෙනෙහිලකම් කළ පිරිසම බවත්, ගීතයේ අවසාන කොටසින් මතු කර ඇත. යහපත් ලෙස ජීවත් වන මිනිසුන් හට කෙනෙහිලකම් කර මිය ගිය පසු ගුණ වර්ණනා කිරීම වර්තමාන සමාජයේ මෝස්තරයක් වි ඇත. එබඳු සමාජයක ව්‍යාජත්වය මැනවින් මතු කරන්නට සමත් වූ අපූරු ගීතයක් ලෙස මෙම ගීතය පෙන්වා දිය හැකි අතර, ගීතයේ සාර්ථකත්වයට සංගීතය හා ගායනයද රුකුලක් වී ඇති බව කිව යුතුමය.

 සමන් කේ. අබේරත්න
 ජඹුරේවෙල

advertistmentadvertistment
advertistmentadvertistment