මැගසින් බන්ධනාගාරයේ තාප්පය යට කුණු ගඳ හමන සීවලී පටුමඟ

338

බන්ධනාගාරය තුළයි මේ වත්තෙ සමහර අය අතරයි ලොකු ගනුදෙනු වෙනවා…

බන්ධනාගාරය තුළින් ගලා යන කුණු කාණුවේ මළපහ පාවෙනවා ඇහැට පේනවා…

අපි ජීවත් වෙච්ච සුන්දර පරිසරය විනාශ වුණේ මත්ද්‍රව්‍යය එක්ක…

අවුරුදු දහයෙ, දොළහෙ ළමයි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා…

මැගසින් බන්ධනාගාරය පිටුපස ‘සීවලී පටුමග’ ද වත්තකි. ටී විස්ස වත්ත සහ සීවලී පටුමඟ වෙන් වී ඇත්තේ කැලණිවැලි දුම්රිය මාර්ගයෙනි. එක් පසෙකින් බන්ධනාගාරයේ විසල් තාප්පයට සහ අනෙක් පසෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයට මායිම් වූ සීවලී පටුමග පිහිටා ඇත්තේ කොළඹ මහ නගර සභාවට අයත් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වනාතමුල්ල ග්‍රාම සේවා වසමේය.

“අපි පුංචි කාලේ මේ පැත්තට ටැක්සිකාරයොවත් ආවේ නෑ. ඇඳිරිවැටෙනකොට හයර් එකට ටැක්සි කතා කරගෙන ඇවිත් ඩ්‍රයිවර්ගේ ශතයේ ඉඳලා හූරගෙන වාහනේ කෑලිත් ගලවගෙන තමයි පිටත් කරන්නේ. මහ අමාරුකාරයො හිටියේ. දැන් කියලා වෙනසකුත් නෑ…” මැගසින් බන්ධනාගාරයේ තාප්පය අසලින් පටු මාවතේ පහළට ඇවිද යන අතරේ අපගේ ගමන් සගයා වූ සුනිල් කතාවට ප්‍රවේශයක් ලබාගත්තේය. ගෙන්දගම් පොළොවෙහි ඉපිද කොළඹ ජීවත්වන සුනිල් අපට මඟ නොපෙන්වන්න ‘නෙළුම් කුලුන යට’ සංචාරය කිරීම පහසු නැත. වතුවලට ඇතුළු වූ විට ඇතැම් මිනිසුන් අප දෙස බලනුයේ නපුරු සත්වයන් දෙස බලනා ආකාරයටය. කොළඹ සෑම වත්තකම පදිංචිකරුවන් සුනිල්ව හොඳින් දැන හඳුනන හෙයින් අපේ ගමනට තවම බාධාවක් නැත. සීවලී පටුමගෙහි ඉතිහාසය සුනිල් වචන කරන විට අපේ දෙපා පොදු ළිඳ අසල නතර විය.

සිනිදු සිමෙන්ති පොළොව පිරිසිදුය. ගිනියම්ය. දෙපාවලට සපත්තු පැළඳ සිටිය ද රස්නය දෙපතුළ රත් කර ඉස්මුදුනට ම දැණිනි. තණකොළ ගහක්වත් නොපෙනෙන කොන්ක්‍රීට් වනාන්තරයක ගිනියමින් නොදැවෙන්න පුදුමයකි. මගේ දෑස් ළිං පතුළට කිඳා බැස්සේය. විශාල ළිඳේ ජලය නිල් කැටයට සුදිලේ. බාල්දියට දිය දෝතක් ගෙන මුහුණ සෝදාගැනීමට සිත පෙරෙත්ත කළ ද මගේ දෑස් ළිඳ වටා දිව ගියේය. ඇතැම් නිවාසවල දොරකොඩ ළිඳ ඉදිරිපිටය. තවත් නිවාස පේළියක පිටුපස ළිඳ ඉදිරිපිටය. වැඩිහිටි පිරිමි කෙනෙක්

රැවුල කපමින් සිටින අයුරු ද, තරුණියක් ඇඳුම් සෝදමින් සිටින අයුරු ද දෑස් හී පැටලිණි. පොදු ළිඳ අසල වැඩි කාලයක් නොරැඳී අසල සිල්ලර බඩු වෙළෙඳසලට අපි ගියෙමු. එම වෙළෙඳසලේ හිමිකාරිණිය රෝහිණිය. වැඩිහිටි කාන්තාවක් වන රෝහිණිගෙන් සීවලී පටුමග නිවැසි පුරයක් වූ හැටි ප්‍රථමයෙන් අපි විමසුවෙමු.

“ඉස්සර මේක කෝපි කැලයකින් වට වෙච්ච කුඹුරක්. මේ පැත්තටම තිබිලා තියෙන්නෙ ගෙවල් දෙක, තුනයි. අපේ ගේ එකක්. මේ නිවස මිලදීගෙන තියෙන්නේ 1962 අවුරුද්දෙ. තාත්තට මේ ගේ අරගෙන දීලා තියෙන්නෙ ආච්චි අම්මා. ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුව කාලේ තමයි කුඹුර ගොඩ කරලා පර්චස් දෙක ගානෙ මිනිස්සුන්ට බෙදාදීලා තියෙන්නේ. පවුල් තුන්සිය ගානක් ජීවත් වෙනවා. මේ සියලුම ගෙවල් හදාගෙන තියෙන්නෙ පර්චස් දෙකක…”

“මේ වත්තේ මිනිස්සු තරමක් හොඳට ගෙවල් දොරවල් හදාගෙන ඉන්න බවක් පේනවා…” මම රෝහිණීට පැනයක් යොමු කළෙමි.

මැගසින් බන්ධනාගාරයේ තාප්පය යට කුණු ගඳ හමන සීවලී පටුමඟ

“අලුත් පරම්පරාවේ අය නම් සිමෙන්ති ගඩොල්වලින් ගෙවල් දොරවල් හදන්නෙ නෑ. මේ සේරම ගෙවල් දෙමවුපියො හැදුව ඒවා. දැන් මිනිස්සුන්ට කන්න, බොන්නවත් නැතිව ගෙවල් දොරවල් හැදීම සිහින තමයි. අම්මයි, මමයි, නංගියි ජීවත් වෙන්නෙ මේ කඩෙන් ලැබෙන ආදායමෙන්. දැන් බාගෙට භාගයක් බිස්නස් අඩු වෙලා. අපිට වෙන ආදායම් මාර්ග නෑ. මමයි, නංගියි කසාද බැඳලත් නෑ. ජීවත් වෙන්න බොහොම අමාරුයි. මල්ලිලා ඉන්න නිසා පොඩි ෂේප් එකක් තියෙනවා. අපේ ගෙදර පවුල් දෙකක් ජීවත් වෙනවා. මමයි, නංගියි අම්මයි, මල්ලිගේ පවුලයි. සේරම අටදෙනයි. මල්ලිට දරුවො තුන්දෙනයි…” කුඩා කඩ කාමර දෙකක් සහිත දෙමහල් නිවස සීවලී පටුමගෙහි සෙසු නිවාසවලට වඩා තරමක් විශාලය. සුදු පිරියම් කර ඇති නිවස පිළිවෙළට තබා ගෙන සිටින අයුරු ද පෙනේ. එහෙත් නිවස තුළ පෝරුණුවක් වැනිය. එම නිවස තුළ ගත කළ විනාඩි කිහිපයට ඉහින්, කනින් දහදිය බේරිණි.

“පෑවිල්ල කාලෙට මක්කරලවත් දවල්ට ගෙවල් ඇතුළේ ඉන්න බෑ. සමහර ගෙවල්වල ජනේලයක්වත් නෑ. පෑන් දාගෙන හිටියත් ඉහෙන්, කනෙන් දහදිය බේරෙනවා. ඒත් ෆ්ලැට්වලට වඩා මේ ගෙවල් අපිට හොඳයි. ලොකුම ගැටලුව අපිට දීලා තියෙන පර්චස් දෙකට තවම ඔප්පුවක් නැතිකමයි. ළමයෙක්ව ඉස්කෝලෙකට දාගන්නවත් බෑ. ලිපිනය කිව්ව හැටියේ ඉන්ටර්ව් බෝඩ් එකේ ඉන්න අය මූණ ඇඹුල් කරගෙන ෆයිල් අතට දෙනවා. මල්ලිගේ ළමයි තුන්දෙනාව ඉස්කෝලවලට දාගන්න පුදුම වධයක් වින්දා. ඒ වගේ ප්‍රශ්න නිසා ඉගෙනගන්න දක්‍ෂ, ආසාවක් තියෙන දරුවෙක්ට වුණත් අවස්ථාව ලැබෙන්නේ නෑ. උසස් පෙළ කරන, විශ්වවිද්‍යාලවලට තේරුණු දරුවො සියයට දෙකක්වත් මේ වත්තේ නෑ. බොහෝ ළමයි හය, හත පන්තිවලදි පාසල් ගමන නතර කරනවා. ළමයින්ට උගන්වන්න දෙමවුපියන්ගේ උනන්දුවකුත් නෑ…” පනස්හය වැනි විය පසු කරගෙන යන රෝහිණි තම ජීවන පියස ගැන බොහෝ දේ දැන සිටින්නීය. සීවලී පටුමගෙහි ජීවත්වන මිනිසුන්ට තියෙන ගැටලු ඇය අපට හොඳින් පැහැදිලි කළාය. බන්ධනාගාරය තුළ සිට සීවලී පටුමගෙහි නිවාස අතරින් ගලා බසිනා කුණු කාණුවක් ද ඇය අපට පෙන්නුවාය. වේගයෙන් ගලා බසිනා වතුර කළු පාටය. ඉඳුල්, මළ ජරාව, විවිධ අපද්‍රව්‍ය දිය වූ කුණුම, කුණු ජරා වතුරකි. සිරකරුවන්ගේ මළ, මුත්‍රා සමග බන්ධනාගාරයේ මළ ජරාව ගලා බසිනා එම කුණු කාණුව වැටෙනුයේ ටී විස්ස වත්ත කෙළවරෙන් ගලා බසිනා මහා කුණු ඇළටය.

මැගසින් බන්ධනාගාරයේ තාප්පය යට කුණු ගඳ හමන සීවලී පටුමඟ

“සමහර වෙලාවට මිනිස් මළ පහත් මේ කාණුව දිගේ ගලාගෙන යනවා අපිට පේනවා. පුදුමාකාර ගඳක් තියෙන්නේ. මේ ගැන කියන්න තියෙන හැම තැනකටම කිව්වා. ඒත් වැඩක් වුණේ නෑ. අවුරුදු තිස්එකක් මේ කුණු ඇළත් එක්ක ජීවත් වෙනවා…” රෝහිණීගේ කතාවට අඩු වැඩි එකතු කළ ගෝවින්ද සාමි විදුලි උපකරණ අලුත්වැඩියා කරන ප්‍රසිද්ධ කාර්මිකයෙකි. වයස අවුරුදු හැත්තෑවකි. කුණු කාණුව ගලා බසිනුයේ ඒ වියපත් මිනිසා ජීවත්වන පුංචි නිවසේ දොරකඩනි. නිවසෙන් පිටවනුයේ කුණු කාණුව උඩින් පැනය. එම නිවස තුළ පුංචි දරුවන් සමඟ පවුල් තුනක් ජීවත් වෙති. ජනේලයක්වත් නැති පුංචි නිවස තුළ පවුල් තුනක් ජීවත්වන ආකාරය ගැන සිතාගැනීමටවත් නොහැකි තරම්ය. එහෙත් සීවලී පටුමගෙහි හුණ්ඩු නිවාස තුළ රස්නෙට තැම්බෙමින්, සීතලට ගැහෙමින් පරම්පරා දෙක තුනක මිනිස්සු ජීවත් වෙති.

සීවලී පටුමග සහ ටී විස්ස වත්ත වෙන් වී ඇත්තේ කැලණිවැලි දුම්රිය මාර්ගයෙනි. නැති නම් එකම වත්තකි. වතු දෙකේ නිවාසවල ද වෙනසක් නැත. එකිනෙකට බද්ධව පිහිටා තිබෙන බොහෝ නිවාසවලට ඇතුළුවීමේ උළුවස්ස හැර වෙන හුළං කවුළුවක්වත් නැති තරම්ය. එහෙත් ලෑලි මඩු වැනි පැල්පත් අතර පර්චස් දෙක තුළ ඉහළට නැඟි තෙමහල් නිවාස සීවලී පටුමගෙහිදී ඇස ගැටිණි.

“බන්ධනාගාරය ඇතුළ පේනවා කියලා ඉස්සර තට්ටු දෙකට ගෙවල් හදන්න අවසර දුන්නෙ නෑ. දැන් නම් ඒ නීති නෑ. සල්ලි තියෙන මිනිස්සු තට්ටු පිට, තට්ටු ගහනවා. ඒත් කුලී වැඩ, රස්සාවක් කර මාසෙ පඩියක් අරගෙන එහෙම ගෙවල් හදන්න බෑ. ඒවට වෙන ක්‍රම තියෙනවා. ඒවා සමාජය දන්නවා. අපි කියන්න ඕන නෑ. ඒ වගේම බන්ධනාගාරයයි, මේ වත්තයි අතර ලොකු ගනුදෙනුවක් තියෙනවා. ඒ ගනුදෙනු වෙන හැටි දැනගෙන හිටියට කියන්න බෑ. ලිපිය පත්තරේ පළවෙලා දවසක් දෙකක් යනකොට මම නැති වෙයි. මේ රේල් පාර උඩ නොකෙරෙන මගඩියක් නෑ. පැය විසිහතරම රේල් පාර උඩ මිනිස්සු. හවස පහෙන් පස්සෙ යහපත් විදිහට ජීවත්වන තරුණ ගෑනු කෙනෙක් මේ පාරේ ඇවිදින්නෙ නෑ. ඇවිදින ගෑනු ඉන්නවා. ඒ අයට උලත් එකයි, පිලත් එකයි. රැකගන්න දෙයක් නෑ. සේරම වෙන්දේසි කරලා…” වතු භාෂාව ඒ වචනවලින්ම අපි සටහන් කළෙමු. එහෙත් කතාව කියන කෙනාගේ නම අන්තර්ගත කිරීම ජීවිතයට තර්ජනයක් බැවින් ඔහුගේ නම සටහන් කිරීමෙන් අපි වැළකී සිටින්නෙමු.

“මේක අවීචියක් මහත්තයෝ… දවසක් වැස්සොත් මේ කුණු කාණු උතුරලා ගෙවල් සේරම යට වෙනවා. ඊට පස්සෙ ගිනිගහන්න පෑව්වත් සතියක් විතර යනකම් මුළු වත්තම කුණු ගඳයි. ගංවතු නැති වුණත් මේ කුණු කාණුව ගඳයි. මදුරුවො පිරිලා. ඉඳලා, හිටලා වත්තේ මිනිස්සු එකතු වෙලා සුද්ද කළොත් ඇරෙන්න අවුරුද්දකට සැරයක්වත් මේ කාණුව සුද්ද කරන්නේ නෑ. මේ වත්තේ පදිංචියට ආපු කාලෙ ඉඳලා මේ කුණු කාණුව මේ විදිහට ගලනවා…” ඒ හඬ පුෂ්පරාණිගේය. වයස අවුරුදු හැත්තෑවකි. ඇය සීවලී පටුමගට දීග ඇවිදින් ඇත්තේ වයස අවුරුදු දහහතේදීය. ඇයගේ දරුවන් තිදෙනාම විවාහ වී පදිංචිව සිටිනුයේ සීවලී පටුමගේමය. ඇයගේ දියණියක් වන සුමිත්‍රා මෙන්ම තවත් වියපත් කාන්තාවක් නෝලා ද පෙළගැසෙන කතාවට අඩු වැඩි එකතු කළහ. පෙළගැසෙන කතාවට අදහස් ඉදිරිපත් කළ සියලු දෙනාට සමුදී කැලණිවැලි දුම්රිය මාර්ගයට සමාන්තරව වැටුණු පටු කොන්ක්‍රීට් පාර ඔස්සේ අපි ඉදිරියට ඇවිද ගියෙමු. යනෙන මඟ කිහිපදෙනෙක් සමඟ ද වත්තේ ජීවන තතු සාකච්ඡා කළෙමු. ඒ කතා අතරින් ලක්මිණිගේ කතාවට අපි වැඩි ඉඩක් දුන්නෙමු.

මැගසින් බන්ධනාගාරයේ තාප්පය යට කුණු ගඳ හමන සීවලී පටුමඟ

“මම ඉපදුණෙත් මේ වත්තේ. ඒ කාලේ ඉස්කෝලේ ඇරිලා ඇවිත් වත්තේ ගෑනු, පිරිමි ළමයි හරි, හරියට සෙල්ලම් කළා. සිංහල, දෙමළ, මුස්ලිම් ජාති බේද අපි ළඟ තිබුණේ නෑ. හැමෝම එක අම්මගේ දරුවො වගෙ සෙල්ලම් කළා. වත්ත පුරා දුව පැන ඇවිද්දා. පයිප්පෙන් නාගෙන ඇඳිරිවැටෙනකොට තමයි ගෙවල්වලට ගියේ. දැන් එහෙම පරිසරයක් නෑ. අපි ජීවත් වෙන සමාජය හරිම නපුරුයි. කෲරයි. අපේ ළමයි ඉස්කෝලේ ඇරිලා ඇවිත් එළියටවත් බහින්නේ නෑ. එළියට යවන්න බයයි. අවුරුදු දහයේ, දොළාහක පෙනුම තියෙන ගෑනු දරුවෙක් දිහා මේ වත්තේ පිරිමි බලන්නේ කෑදරකමින්. මගේ දරුවො මට තාම පොඩියි. මගේ දරුවො දිහා කවුරුහරි වපර ඇහෙන් බලනවා නම්, ඒක මට දරාගන්න බෑ. මේ පරිසරයේදී දකින දේවල්, ඇහෙන දේවල් හරිම අප්‍රසන්නයි…”

“අපි ජීවත් වෙච්ච සුන්දර පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. එහෙම වෙලා තියෙන්නේ මත්ද්‍රව්‍ය එක්ක. අවුරුදු දාහය, එකොළහා වෙනකොට වත්තේ ගොඩක්ම ළමයි මත්ද්‍රව්‍යයට, මත්වතුරට ඇබ්බැහි වෙනවා. මවුපිය රැකවරණය නැති වුණොත් ගෑනු ළමයිත් නූල කැඩුණු සරුංගලයක් වගෙයි. ගොඩඒමක් නෑ. අයාලේම තමයි. මට ඉන්නෙ දුවලම තුන්දෙනෙක් නිසා කාලයක් අපි වත්තෙන් එපිටට ගිහින් හිටියා. ඉස්කෝලෙට එන්න, යන්න තියෙන ගැටලු නිසා අවුරුදු හයකට පස්සෙ තමයි නැවත වත්තේ පදිංචියට ආවේ. ලොකු දුව ලබන අවුරුද්දෙ සාමාන්‍ය පෙළ කරනවා. විභාගය ලියලා ඉවර වෙච්ච හැටියේ අපි නැවත වත්තෙන් යනවා. මේ වත්තේ ඉඳගෙන ළමයි හදන්න බෑ. ගෑනු දරුවෙක්ට වත්තේ ඇවිදින්නවත් බෑ. රේල් පාරෙන් එහා පැත්තේ සීවලී මධ්‍ය මහා විද්‍යාලය. අර පේන පාසල. ලොකු ක්‍රීඩා පිට්ටනියක් තියෙනවා. මගේ ලොකු දුවලා දෙන්නම ක්‍රිකට් ගහනවා. ඒත් හවසට පිට්ටනියට යවන්න බයයි…” ඇය නිවස ඉදිරිපට හිඳගෙන සීවලී මධ්‍ය මහා විද්‍යාලය දෙසට වමත දිගු කරන්නීය. ඇයගේ නිවස සහ පාසල් වත්තට ඇත්තේ දුම්රිය මාර්ගයේ පළල පමණි. ක්‍රීඩා පිටියේ දැනුදු ළමයි ක්‍රීඩා කරති. කම්බි වැට අයිනේ හිඳගෙන කොණ්ඩ පාට කරපු කොල්ලො තිදෙනෙක් පිට්ටනියේ ක්‍රීඩා කරන ගෑනු ළමයෙක්ට කතා කරති.

“ඔය බලන්න… දවස තිස්සෙ මේ වැට අයිනේ කොල්ලො. ඒ අය කතා කරන සුනංගුවට එන ගෑනු ළමයිත් ඉන්නවා. මම කියන්න ඕන නෑ. සර්ලගේ ඇස්වලට පේනවා. වත්තේ ගොඩක්ම ළමයි සාමාන්‍ය පෙළ විභාගයවත් කරන්නේ නෑ. දෙමවුපියො හම්බ කරන පිච්චිය හූරගෙන ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටු කරගන්නවා. සීවලී මධ්‍ය මහා විද්‍යාලය මගේ පාසල. මගේ දරුවො ඉගෙනගන්නෙත් ඒ පාසලේ. ඒත් මගේ පාසලට, ගමට අද අත්ව ඇති ඉරණම ගැන මම ගොඩක් දුක් වෙනවා. අපේ පාසල් කාලයයි, අද සමාජයයි සැසඳෙනකොට හිතින් අඬනවා. අපේ ළමයි පව්ෟ ඔවුන්ට ළමා කාලය, තරුණ කාලය විඳින්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ…” ඇය දියණියන් තිදෙනකුගේ මවකි. වයස අවුරුදු තිස්පහකි. සැමියා හමුදා නිලධාරියෙකි. කර දඬු උස් වූ දියණියන් සමඟ තරුණ මවකට ජීවත්වීමට තරම් යහපත් වටපිටාවක් නොමැති බව ඇය අපට කීවේ කණස්සල්ලෙනි. එමෙන්ම පුංචි වචන හුවමාරුවටත් ඇණ කොටා ගන්නා සමාජයක ජීවත්වීමට ලැබීම ගැන ඇය කම්පා වෙන්නීය.

උපන්දා සිට සීවලී පටුමගෙහි ජීවත්වන ලක්මිණිට දැනෙන සමාජ තත්ත්වය එම වත්තට ඇතුළු වූ මොහොතේම අපට ද දැණිනි. පටු මාවත දිගට තැන, තැන රංචු ගැසුණු තරුණයන්ගේ මුහුණුවල පියමනාප පෙනුමක් නැත. ඒ තරුණ මුහුණු බලන්න බැරි තරමට රෞද්‍රය. ඇඳ, පැළඳ සිටින ඇඳුම් අපිළිවෙළය. කතා විලාසය කනට අමිහිරිය. පටු මඟ දිගට සෙල්ලම් කරන කුඩා ළමයින්ගේ කතා විලාසය ද හුරතල් නැත. සතියේ දිනයක් වුවද පාසල් යන වයසේ පසුවන බොහෝ ළමයි මග තොටේ රස්තියාදු වෙන අයුරු නිතර ඇස
ගැටිණි. එමෙන්ම සීවලී පටුමගෙහි තරුණ, වැඩිහිටි බොහෝ අය රැකියා කරන බවක් ද නොපෙනේ. කතා කළ බොහෝ දෙනා ‘පොඩි බිස්නස් එකක් කරනවා… ත්‍රිරෝද රථයක් හයර් කරනවා…’ කියා ප්‍රශ්නයෙන් පැන ගියා විනා රජයේ හෝ පෞද්ගලික ආයතනයක
රැකියාවක් කරන බව කිසිදු මුවකින් පිට නොවිණි. මැගසින් බන්ධනාගාරයේ විසල් තාප්පය මායිමේ සීවලී පටුමගෙහි ජීවත්වන මිනිසුන් සමඟ කතාබහේදී වැටහුණු යථාර්ථය නම් එම වත්තේ බොහෝ අයට බන්ධනාගාරය නුපුරුදු තැනක් නොවන බවය. හැදෙන පරපුර ද විසල් තාප්පයෙන් ඇතුළට බය නැති ගානය.

තරංග රත්නවීර
ඡායාරූප – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment