මැටිල්ඩා එකම බලාපොරොත්තුව වුණේ ඇයි?

1049

ඩන්කන් වයිට්, සුසන්තිකා ජයසිංහ, මැටිල්ඩා කාර්සන් සහ අපේ ඔලිම්පික් කමිටුවේ ඇස් බැන්දුම්…

ගැමියන්ගේ භාෂාවෙන් ඇස් බැන්දුම් යනුවෙන් හඳුන්වනු ලබන්නේ මැජික්වලටය.මෙහිදී කරනුයේ සැබැවින්ම සිදු නොවන දෙයක් හෝ භෞතිකව නොමැති දෙයක් ඇති ලෙසට හෝ සිදුවන ලෙසට මවා පෙන්වීමය. නරඹන්නාගේ ඇස සහ මනස රැවටීම හැර අන් යමක් එහි නැති නමුත් මෙම ඇස්බැන්දුම් සිදුකිරීම සඳහාත් සූක්‍ෂම හුරුවක් සහ පුහුණුවක් අවශ්‍ය ය. මේ ප‍්‍රස්තූතය අපි ගෙන හැර පාන්නේ මේ දිනවල ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සමගාමීව අපගේ ක‍්‍රීඩාවේ ඉතිහාසය, වර්තමානය සහ අනාගතය පිළිබද කතිකාවක් ආරම්භ කිරීම සඳහාය.

 ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය සඳහා මිලියන 21 කට මදක් වැඩි ශ‍්‍රී ලාංකීය ජනතාව සහ වසර 2500 ක අභිමානවත් ඉතිහාසය නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 9 දෙනෙක් සහභාගී වූ අතර කිසිවෙකුටත් මුල් තරගවටයන්ගෙන් එහාට යෑමට හැකි වූයේ නැත. මෙම ලිපිය ලියැවෙන අවස්ථාව වන විට තරගාවලියට සහභාගී වූ අවසන් ශ‍්‍රී ලාංකික නියෝජනය වන ”මැටිල්ඩා කාර්සන්”ට ද කනගාටුදායක ලෙස පළමුවටයෙන්ම ඉවත්වීමට සිදුව තිබුණි. ඉදින් ටෝකියෝහි සාප්පු සවාරිවලින් අනතුරුව නුදුරේදීම මෙම පිරිස සුපුරුදු ලෙස හිස් අතින් දිවයිනට ගොඩ බසිනු ඇති අතර ඉන් අනතුරුව ”ජාතික ඔලිම්පික් කමිටුව”, ”ඔලිම්පික් තරගාවලියේ පරමාර්ථය ජයග‍්‍රහණය නොව

 සහභාගීත්වයයි” යනුවෙන් කියා සිටිමින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ඇත. අප ඇස්බැන්දුම් කථාව ගලපන්නේ මෙතනටය. ජාතික ඔලිම්පික් කමිටුවද වසර කිහිපයකට වරක් අපිට ඇස්බැන්දුම් පෙන්වන අතර අප සියලූ දේ අමතක කර වශීකෘතව ඒ දෙස බලා සිටිමු. ඇස්බැන්දුම අවසානයේ හිස් බව හැර කිසිවක් ඉතිරිව නැති බව වැටහීමට මද කලක් ගතවනු ඇත. යළි යළිත් සිදුවන්නේ එයමය. අප මේ විෂම චක‍්‍රයෙන් මිදෙන්නේ කවදාද? අප මේ පිළිබදව උනන්දුවන්නන්ට කතිකාවකට ආරාධනා කරන්නේ එයටය.

 

* පළමු ඔලිම්පික් පදක්කම ගෙනා ”ඩන්කන් වයිට්”

 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී පළමු ඔලිම්පික් පදක්කම ශී‍්‍ර ලංකාවට ගෙනා ”ඩන්කන් වයිට්” ඔරිජිනල් ශී‍්‍ර ලාංකික නිෂ්පාදනයකි. 1918 මාර්තු 01 වන දින කළුතර ”ලත්පඳුර”දී උපත ලද ඩන්කන් වයිට් මහනුවර ”ත‍්‍රිත්ව” විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 1942 සිට 1947 දක්වා ”ලංකා පාබල හමුදාවේ” සේවය කර ඇත. 1947 ඉන් ඉවත්ව ”ලංකා ස්වේච්ඡා බලකාය”ට බැඳී ලූතිනන්වරයකු ලෙස සේවය කරමින් සිටින අතරතුර 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගී වූයේ මාස තුනක් පමණක් පුහුණු වීමෙන් අනතුරුව මීටර 400 කඩුලූ පැන දිවීමේ ඉසව්ව නියෝජනය කරමිනි. අදාළ ඉසව්වේ පළමුවැනියාට වඩා තත්ත්පර 0.7 ක් පමණක් පසුපසින් සිටිමින් රිදී පදක්කම හිමිකර ගැනීමට ඩන්කන් වයිට් සමත් වුණි. මෙම විශිෂ්ටයාට රට නියෝජනය සඳහා ඕනෑවටත් වඩා සුදුසුකම් තිබුණ අතර ඒ දුර්ලභ අවස්ථාවට නිසි අගැයීම ලබාදීමට ද ඔහු කටයුතු කර තිබුණි. පසුව වයිට් විසින් මෙම පදක්කම ඔහු අධ්‍යාපනය ලද ත‍්‍රිත්ව විද්‍යාලයට පරිත්‍යාග කර තිබුණ අතර එය මේ වන විට විද්‍යාලයීය ලේඛනාගාරයේ සංරක්‍ෂිතව ඇත.


* දෙවන ඔලිම්පික් පදක්කම ගෙනා ”සුසන්තිකා ජයසිංහ”

 ඩන්කන් වයිට් ඔලිම්පික් පදක්කම ගෙනා 1948 වසරේ සිට වසර 52 ක් දෙවන ඔලිම්පික් පදක්කම ලබාගැනීම සඳහා බලා සිටීමට අපට සිදුව තිබුණේ රටේ මෙන්ම ක‍්‍රීඩා පාලකයන්ගේද කෙරුවාවේ හොඳකම නිසාවෙනි. කෙසේ වුවත් දෙවැනි ඔලිම්පික් පදක්කම වසර 2000 සිඞ්නි ඔලිම්පික් උළෙලේදී මෙරටට දිනා දුන් සුසන්තිකා ජයසිංහ ද නියම ශ‍්‍රී ලාංකික නිෂ්පාදනයකි. කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ”උඩුවක” ගම්මානයේ උපත ලද ඇය ”ශ‍්‍රී ලංකා යුද හමුදාවේ කාන්තා බලකාය”ට කෙටි කලක් ඇතුළත්ව සිටි අතර පසුව මලල ක‍්‍රීඩා සංචිතයට බැඳී වෘත්තීමය ක‍්‍රීඩිකාවක වූවාය. තරගයට ආසන්න කාලයේ කෙටි කාලයක් ඇමෙරිකාවේ පුහුණුව ලැබුවද අදාළ තරගයෙන් පෙර මෙන්ම පසුවත් ඇය වාසය කරන්නේ ශ‍්‍රී ලංකාවේ මහපොළවේ පය තබාය.

 2000 සිඞ්නි ඔලිම්පික් තරගයට ආසන්න කාලයේ සිදුවූවායැයි කියන ලිංගික හිංසන සහ ක‍්‍රීඩා බලධාරීන්ගේ කෙණෙහෙලිකම් මධ්‍යයේ වුවද ඇය මීටර 200 ඉසව්වේ රිදී පදක්කම ශ‍්‍රී ලංකාවට හිමිකර දුන්නේ ඔලිම්පික් පදක්කමක් දිනාගත් දෙවැනි ශී‍්‍ර ලාංකිකයා සහ මලල ක‍්‍රීඩා ඉසව්වකින් ඔලිම්පික් පදක්කමක් දිනාගත් පළමු ආසියාතිකයා බවට පත්වෙමිනි.



* වර්තමානයේ සිදුවන්නේ කුමක්ද?

 2000 සිඞ්නි ඔලිම්පික්හි සුසන්තිකා ජයසිංහගේ ජයග‍්‍රහණයෙන් අනතුරුව මෙරට ක‍්‍රීඩා බලධාරීන් මෙන්ම දේශපාලන බලධාරීන් ද එකිනෙකා පරයමින් මාධ්‍ය සාකච්ඡා තබමින් මෙම ජයග‍්‍රහණයේ අයිතිය බෙදා ගැනීමට පොරකෑ අයුරුත් එහිදී ඉදිරි පදක්කම් බලාපොරොත්තු පිළිබඳ ජනතාව ඉදිරියේ තැබූ අටෝරාශියක් සැලසුම් ද අපිට හොඳින් මතකය. එහෙත් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා නියමිත බොහොමයක් ක‍්‍රීඩා ඉසව් මෙරට නිල වශයෙන් පුහුණු කෙරෙන්නේ වුවද නා නා ප‍්‍රකාර ක‍්‍රීඩා සංගම් අටවාගෙන තිබෙන්නේ වුවද නිලධාරීන්ට තනතුරු සහ වරප‍්‍රසාදත් විදේශ සංචාරත් ලබාදීම හැර ඒවායෙන් කෙරෙන යමක් පෙනෙන්නට නැත. එවැනි තත්ත්වයක් තුළ පදක්කම් බලාපොරොත්තු තබා තරගාවලියේ ඉසව් සඳහා සුදුසුකම් ලබා ගැනීමේ පරිසාදන මට්ටම ඉක්මවා යෑමත් බහුතරයක් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සිහිනයක් වී තිබෙන අයුරු දකින්නට ලැබේ. ක‍්‍රීඩා සංගම්වල නිලධාරීන් කටයුතු කරන්නේ ඉදිරි ඉලක්ක සාක්‍ෂාත් කර ගැනීම සඳහා නොව තම පැවැත්ම සඳහාය. ඒ නිසා ක‍්‍රීඩා තරගාවලියක් පැමිණෙන විට කිසියම් ඇස්බැන්දුමක් සිදුකරමින් මෙරට ජනතාව රවටමින් තමන් යමක් සිදුකරන බව මවා පෙන්වීමට අවශ්‍යය. මේ සඳහා ඔවුන් කදිම උපායක් භාවිතා කරන අතර එමගින් රටේ ක‍්‍රීඩාව වළපල්ලට යන ආකාරය පෙන්වාදීමට අප සූදානම් ය.

 මෙහිදී මෙරට ක‍්‍රීඩා බලධාරීන්ගේ පිහිටට එන්නේ ශ‍්‍රී ලංකාවෙන් සංක‍්‍රමණය වී බටහිර දියුණු රටවල දිවිගෙවන පිරිස්වල දෙවැනි හෝ තුන්වැනි පරම්පරාවන්ය. මෙම පිරිස් එම රටවල දීර්ඝ කාලයක් රැඳී සිටිමින් කටයුතු කරනු ලබන අතර කිසියම් ආර්ථික මට්ටමක් ළඟාකර ගත් අයවළුන්ද වෙති. බටහිර ක‍්‍රමයේ අධ්‍යාපනයක් සහ ක‍්‍රමානුකූල පුහුණුවක් ලබමින් වැඩෙන මෙම පිරිස්වලට එම දියුණු රටවල ඇති අතිශය තරගකාරී තත්ත්වය හමුවේ කී‍්‍රඩා ඉසව්වලට ඉදිරිපත් වී එම රටවල ජාතික මට්ටමට හෝ යෑම සිහිනයකි. ඔවුන්ට එවිට මතකයට එන්නේ තම තමන්ගේ අතීත මූලයන් සහිත දුප්පත් මව්බිමයි. කිසිදු තරගකාරීත්වයක් නොමැති සහ බටහිරින් ලැබෙන කැස්සක් වුවත් දොහොත් මුදුන් දී භාරගන්නා ජාතියක් වන ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් තරගවලට ඉදිරිපත්වීමේ අවස්ථාව පහසුවෙන් ලබාගත හැකි බව ඔවුන් දනී. බටහිර දියුණු රටාවට හුරුවී දිගු කාලයක් එවැනි වටපිටාවක හැදුන සහ සියලූ නවීන පහසුකම් සහිත මෙම දරුවන් සමග තරගයට ඉදිරිපත්වන්නේ ගමේ ගොඬේ කොස්, පොලොස් වලඳා දිවි රැකගනිමින්, බලධාරීන්ගේ කිසිදු මගපෙන්වීමක් නොමැතිව තමන් උපන් හැකියාවෙන් සහ ආශාවෙන් පමණක් සන්නද්ධවූ අසරණ දූ පුතුන්ය. එවිට විය යුතු සේම සිදුවන්නේ බටහිර පුහුණුව සහ පහසුකම් සහිතව එන දරුවන් පෙරමුණය ගැනීමය. (මෙහිදී අප කිසි විටෙක එම පිරිස්වල දක්‍ෂතාවයන් අවතක්සේරු නොකරන අතර ඔවුන්ට අගතියක් කිරීමේ අදහසක් ද අප තුළ නැත. අප පෙන්වා දෙන්නේ රටක් ලෙස තමන්ගේම වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිරිසක් ඉදිරියට ගෙන ඒමට මෙම ක‍්‍රමය කිසිසේත් සුදුසු නොවන්නේ මන්ද යන්න පමණි.)

 මෙම විදේශගත පිරිස්වල අවශ්‍යතාවය රට වෙනුවෙන් වන ක‍්‍රීඩා තරග නියෝජනය ලබාගැනීම වන අතර ක‍්‍රීඩා බලධාරීන්ගේ අවශ්‍යතාවයත් තමන්ගේ ජාම බේරා ගැනීම සඳහා කිසියම් ක‍්‍රීඩා කණ්ඩායමක් ඉදිරිපත් කිරීම පමණි. මෙම අවශ්‍යතාවයන් දෙක එකිනෙක හා පෑහෙන බැවින් බොහෝ ක‍්‍රීඩා ඉසව් සඳහා මෙරට නියෝජනය කරන්නේ සැබැවින්ම අපේ රට නිර්මාණය කළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් නොවේ. එහිදී සිදුවන්නේ ක‍්‍රීඩකයන් ”හයර්” කිරීම මිස අන් යමක් නොවේ. මෙසේ ආනයනය කරන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බොහෝ විට මෙරටට පැමිණෙන්නේවත් නැතිව රට වෙනුවෙන් වන නියෝජනය ලබාගන්නා අතර ක‍්‍රීඩා තරග අවසන් වීමෙන් පසුවත් පිට පාරෙන්ම ඔවුන් වාසය කරන රටවලට යන්නට යති. මෙම ක‍්‍රියාවලිය තුළින් සැබැවින්ම සිදුවන්නේ අපේ රටේ දුප්පත් දරුවන්ගේ ජාත්‍යන්තර තරග නියෝජන අවස්ථාව කොල්ලකෑමක් බව අපි නොබියව කියන්නෙමු. එවැනි පිරිසකගෙන් මෙරට ක‍්‍රීඩාව දියුණු කරන්නේ කෙසේදැයි ක‍්‍රීඩා බලධාරීන් ජනතාවට පහදා දිය යුතුය. රටක් වෙනුවෙන් ජාත්‍යන්තරය නියෝජනය කිරීම ඉතා අතලොස්සකට පමණක් ලැබෙන දුර්ලභ අවස්ථාවක් වන අතර ඒ සඳහා දැඩි කැප කිරීමක් සිදු කළ යුතුය. එසේම එම අවස්ථාව ලබාගන්නා පිරිසෙන් පෙරළා රටට යමක් ලැබිය යුතුය. එය තම දැනුමෙන් සහ අත්දැකීමෙන් තමන් නියෝජනය කළ රටේ ක‍්‍රීඩාව සහ ඊළඟ පරම්පරාව පෝෂණය කිරීමය. මෙම ඇස්බැන්දුම් ක‍්‍රියාවලියෙන් එය කිසිවිටෙකත් සිදු නොවන අතර කෙටිකාලීන ස්වයං තෘප්තියක් පමණක් ලැබිය හැකිය. එය අතිශයින්ම තාවකාලික වින්දනයකි. මෙම චක‍්‍රයට අනුව අපට හැමදාමත් සිදුවන්නේ තරගාවලියක් එන විට ක‍්‍රීඩකයන් ආනයනය කරමින් ජාම බේරා ගෙන ඉන් පසුව හූල්ල හූල්ලා සිටීමටය.



* ”මැටිල්ඩා කාර්සන්” තවත් අය සහ අපේ ක‍්‍රීඩා අනාගතය

 මෙවර ශ‍්‍රී ලංකාවේ ඔලිම්පික් නියෝජනය 69 දෙනෙකි. ක‍්‍රීඩා අමාත්‍යවරයා සහ තවත් ක‍්‍රීඩාවට සම්බන්ධ නැති ඇමැතිවරු තිදෙනෙක්ගේ සහභාගීත්ව ද සහිතව එම අංකය 73 ක් දක්වා ඉහළ යා යුතුය. අවාසනාවට මෙහි ක‍්‍රීඩක ක‍්‍රීඩිකා නියෝජනය 9 දෙනෙකි. ඉන් ඔලිම්පික් පරිසාදන මට්ටම ඉක්මවා යෑමට සමත්ව ඇත්තේ ”යුපුන් අබේකෝන්, මැටිල්ඩා කාසන් සහ මිල්කා ගෙහානි යන තිදෙනා පමණක් වන අතර අනෙක් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 6 දෙනාම ඔලිම්පික් සහභාගීත්වය සඳහා ලබාදන ”වයිල්ඞ් කාඞ් පහසුකම” යටතේ මෙම තරගාවලියට සහභාගී වූ අය වෙති. මැටිල්ඩා ස්වීඩනයේ වාසය කරන්නේ ස්වීඩනයේ වන අතර යුපුන් ඉතාලියේ වාසය කරයි. තවත් දෙදෙනෙක්ද වාසය කරන්නේ විදේශයන්වලය. ශ‍්‍රී ලංකා ඔලිම්පික් කමිටුව ක‍්‍රීඩකයන් ආනයනය කරනවායැයි අප කියන්නේ මේ නිසාය. ක‍්‍රීඩා ඇමැතිවරයා 2021-08-05 වන දින පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශ කළ අන්දමට ඔලිම්පික් පදක්කමක් දිනාගැනීම සඳහා දිගුකාලීන සැලසුම් අවශ්‍යය. ඔලිම්පික් කමිටුවේ මෙවැනි පැලැස්තර ඇලවීම් මගින් පෙන්නුම් කරන්නේ පැලැස්තර දැමීම හැර වෙනත් විසඳුමක් ඔවුන්ට තවමත් නොමැති බවය. එහි ප‍්‍රතිඵලය වන්නේ ජාත්‍යන්තරය හමුවේ රට හෑල්ලූ වීම හැර අන් යමක් නොවන බව ටෝකියෝ ඔලිම්පික් උළෙල ඔප්පු කර තිබේ.

 මැටිල්ඩා කාර්සන් ඉදිරිපත් වූ අශ්වාරෝහක තරගය එහෙම පිටින්ම ශ‍්‍රී ලංකාවට ආගන්තුක තරගයකි. ධන කුවේරයන්ගේ ක‍්‍රීඩාවක් වන මෙම ඉසව්වෙහි වෘත්තීය මට්ටමෙන් නියැලෙන කිසිදු දේශීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවක දකින්නට නැත. බිලියනයකට වැඩි මුදලක් වැය කරමින් අශ්වයකු ලබා ගැනීමටත්, ඔහු නඩත්තු කිරීමටත් පුහුණුව සහ පුහුණුකරුවන් සඳහා තවත් විශාල මුදලක් වැය කිරීමටත් අප වැනි දුප්පත් රටවල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට හැකියාවක් තිබෙන්නේ යැයි සිතීමම මුලාවකි. එහෙව් ඉසව්වක අනාගත බලාපොරොත්තුව කුමක්දැයි අපි බලධාරීන්ගෙන් අසමු. ඒ අතර ”ශ‍්‍රී ලංකාවේ එකම පදක්කම් බලාපොරොත්තුව” වශයෙන් මැටිල්ඩා ඔසවා තබමින් ඔලිම්පික් බලධාරීන් සිදුකරන ලද්දේ ”මැටි වැඩක්ම” බව මැටිල්ඩා මූලික තරගයේදීම ඔප්පු කර පෙන්නුවාය. තරගයට පෙරාතුව ඇය පුරසාරම් දෙඩුවේ ”කෝටි 142 ක් වැයකර සුපිරි අශ්වයෙකු රැගෙන ටෝකියෝ ආවේ හිස් අතින් යන්නට නොව”න බවයි. එය ”මයික් ටයිසන්” පන්නයේ වහසි බස් දෙඞීමක් බව පැහැදිලිය. එහෙත් තරගයේදී ඇය ප‍්‍රදර්ශනය කළ ක‍්‍රීඩාශීලීත්වය ආධුනික තරගකරුවෙකුටවත් නොගැලපෙන බව පැහැදිලිව පෙනී යයි. ඇය පසුව නිදහසට කාරණාවක් ලෙස මාධ්‍ය හමුවේ පැවසුවේ බාධකය අසලටම පැමිණ පැනීමට උත්සාහ කිරීම හේතුවෙන් බාධකය පැනීමට තම අශ්වයාට නොහැකි වූ බවයි. දක්‍ෂ අශ්වාරෝහකයෙකුගේ කාර්ය නිසි අවස්ථාවේදී නිසි ආකාරයට අශ්වයා මෙහෙයවීමය. පිම්ම පැනීමට අවශ්‍ය දුර නිවැරදිව ගණනය කර ගැනීමට නොහැකිවීම අශ්වාරෝහකයාගේ ආධුනික බව කියාපායි. අනෙක් වැදගත් කාරණය තරගයේ ප‍්‍රදර්ශනය කළ තරග රටාවට අනුව අපට නම් පෙනුනේ මැටිල්ඩාගේ අශ්වයා තරගයට සහ එවැනි පිමි පැනීමට එතරම් හුරු පුරුදු නැති කුලෑටි සතෙකු ලෙසිනි. තරගයට සහභාගීවීම වෙනුවෙන් ඇයට ශ‍්‍රී ලංකා ඔලිම්පික් කමිටුව රුපියල් ලක්‍ෂ තිහක් ගෙවා ඇති බව මෙන්ම ඇයට ලබාදී ඇත්තේ කිසිවිටෙක මිල කළ නොහැකි ශී‍්‍ර ලංකාව නියෝජනය කිරීමේ දුර්ලභ අවස්ථාව බවත් සියල්ලෝම මතක තබා ගත යුතුය. අවසානයේ ඒ වෙනුවෙන් අපේ රටට ලැබෙන්නේ කුමක්දැයි ක‍්‍රීඩා බලධාරීන් පහදා දිය යුතුය. මෙවැනි ඇස්බැන්දුම් පෙන්වීම වෙනුවට ක‍්‍රීඩා බලධාරීන් සිදු කළ යුත්තේ රටට ගැලපෙන සහ පදක්කම් ඉලක්කවලට යා හැකි ඉසව් කිහිපයක් තෝරාගෙන දිගුකාලීන සැලසුමකට අනුව පුහුණුවීම් ආරම්භ කිරීමය.



* රට වෙනුවෙන් ක‍්‍රීඩා නොකරන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ විනය සහ බලධාරීන්ගේ ඔලමොට්ටලකම්

 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නේ රටක් ලෙස ශ‍්‍රී ලංකාව වුවද ඔවුන් කිසිවෙකු ශ‍්‍රී ලංකා ධජය හෝ නාමය සිය ක‍්‍රීඩා ඇඳුම්වල පැලැඳ සිටියේ නැත. අන් සියලූ රටවල් ජාතික අනන්‍යතාවය පිළිබිඹු වන ලෙස රටේ නම සහ ධජය මුද්‍රිත ක‍්‍රීඩා ඇඳුම් පැලැඳ සිටියදී අපේ ක‍්‍රීඩකයන් තමන් කැමති ආකාරයට විවිධ වර්ණ සහ වර්ගවල ඇඳුම් ඇඳගෙන ක‍්‍රීඩා කරනු දකින්නට ලැබුණි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් හෙළිදරව් කළ වහාම ඔලිම්පික් බලධාරීන් ජපානයේ සිටම ප‍්‍රකාශයක් කරමින් කියා ඇත්තේ ”ක‍්‍රීඩකයන් කිහිපදෙනෙකු ඉල්ලීම් කළ බැවින් එයට ඉඩ ලබා දුන් බවයි.” මෙය අමන සහ තකතීරු ප‍්‍රකාශයක් බව කිවයුතුය. ඔලිම්පික් උළෙලට නියෝජනය ලැබෙන්නේ රටක් වශයෙන් මිස පුද්ගලයන්ට හෝ පවුල්වලට නොවේ. ඔවුන් නියෝජනය කරන්නේ තම තමන්ගේ පවුල් පරම්පරාවල් හෝ ක‍්‍රීඩා සමාජයන් නම් කුමක් කරගත්තත් අපට කම් නැත. නමුත් රට නියෝජනය කරන විට රටේ අනන්‍යතාවය ප‍්‍රදර්ශනය විය යුතුය. මෙමගින් පෙන්නුම් කරන්නේ ක‍්‍රීඩා කණ්ඩායමේ විනය පිරිහීම බවට සැකයක් නැත. එයට හේතුවී ඇත්තේ සැලසුම්ගත ක‍්‍රියාවලියකින් තොරව එහෙන් මෙහෙන් ක‍්‍රීඩකයන් ආනයනය කරමින් කණ්ඩායමක් අටවා ගැනීම මිස අන් යමක් නොවේ. එසේ ආනයනික ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ කොන්දේසිවලට එකඟවනවා හැර මෙරට ඔලිම්පික් කමිටුවට කළ හැකි අන් යමක් නැත. කශේරුකාවක් නැති මෙවැනි නිලධාරීන් පොල්පිතිවලින් වුවත් කපා ගත හැකි බව නම් කිව යුතුය.

 ක‍්‍රීඩා ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළ ආකාරයට එක් මලල ක‍්‍රීඩිකාවක් තමන්ගේ ක‍්‍රීඩා පාවහන් යුගල ශ‍්‍රී ලංකාවේ අමතකව ආ බව පවසමින් ක‍්‍රීඩා ඇමතිවරයා ”අන්දමින්” නව ක‍්‍රීඩා පාවහන් යුගලක් ලබාගෙන ඇත. මෙය තම පෞද්ගලික මුදලින් රැගෙන දුන් බව ක‍්‍රීඩා ඇමැතිවරයා කියයි. එහෙත් මාධ්‍ය අනාවරණය කළ පරිදි වීඩියෝ දර්ශනවලින් පැහැදිලිව පෙන්නුම් කර තිබුණේ අදාළ ක‍්‍රීඩිකාව ඇමැතිවරයා රැගෙන දුන් අලූත් ක‍්‍රීඩා පාවහන් යුගල නොව තමන් අමතක කර දමා ආවා යයි පැවසූ පැරණි ක‍්‍රීඩා පාවහන් යුගලම පැළැඳ ක‍්‍රීඩා කරන බවයි. මෙය ඉතාම පහත් ගනයේ වංචාවක් බව පැහැදිලිය. විනය සහ ශික්ෂණය මූලික කොටගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මෙවැනි තත්ත්වයන්ට පත්වීම රටක් ලෙස අප පත්ව ඇති ඛේදජනක තත්ත්වය කියාපායි. අවසන් වශයෙන් බලධාරීන්ගෙන් අප ඇසිය යුත්තේ මේ සියල්ලට වන්දි ගෙවිය යුත්තේ මේ රටේ අහිංසක ජනතාව ද කියාය.


 නන්දජීව සූරියබණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment