ෆෝටොනික්ස් (photonics) යන වචනය පවා අපට නුහුරු ය. ඊට හේතුව ඉලෙක්ට්‍රොනික්වලින් (Electronic) එහාට ලෝකයක් අපි දැක නැති නිසාය . “ඔප්ටික් ෆයිබර්” හෙවත් ප්‍රකාශ තන්තු අද ලෝක ශක්ති පරිවර්තනයේ අලුත් ම පෙරළියයි. එම ප්‍රකාශ තන්තු තාක්ෂණය පාදක කරගනිමින් photonics බිහිවන අතර, මේ නිසා ලෝකයේ දැවැන්තයෝ දැන් ලහි ලහියේ සිය ආයෝජනයන් ෆෝටොනික්ස් වෙළෙඳ පොළ ප්‍රසාරණය පිණිස යොදමින් සිටිති.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ඒ ආශ්‍රිතව සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත රාශියක් බිහිකිරීමට ලෝකයේ රටවල් 50ක නැණවත් ආයෝජකයින් 5000 ක් සමත්වී සිටී. මේ රටවල් 50 අතරේ අපේ ව්‍යාපාරිකයින් නැත. අපේ රටද නැත. එහෙත් අපේ අසල්වැසි ඉන්දියාව සේම, ශීඝ්‍රයෙන් දියුණුව කරා යන, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල් මෙහි සිටීම කැපී පෙනේ.
ෆෝටොනික්ස් ආශ්‍රිත සුළු හා මධ්‍යම පරිමාණ (SME) වෙළඳ පොළ වටිනාකම 2021දී ඩොලර් බිලියන 250 ඉක්මවා තිබේ. 2028දී එය ඩොලර් බිලියන 500ට ආසන්න වනු ඇතැයි ගණන් බලා තිබේ. එනමුත් අවාසනාවකට තවමත් අපි පුරුදු වී සිටින්නේ කුඩා කර්මාන්ත කී සැනින්, වේවැල්, මැටි, කොසු ඉදල් සහ වාත්තු කර්මාන්ත මිසක් විද්‍යාව හා තාක්ෂණය (science and technology) මත පදනම් වූ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තයකට නොවේ.
අපේ දේශපාලකයින්ට ඕනෑ වන්නේ ගැමියා ඇන්දැවීමට මොන මොනවා හෝ කිරීම මිස විමසුම් සහගත ඇසින් ලෝකයේ නව ප්‍රවණතා දෙස බලා ඊට සාපේක්ෂව රටේ දිශානතියේ සාධනීය වෙනසක් ඇති කිරීම නොවේ.
මේ නිසා වහාම කළයුත්තේ, ජාත්‍යන්තර දැනුමෙන් නිරන්තරයෙන්ම යාවත්කාලීන වූ ජාතික විශ්වවිද්‍යාල ජාලයේ විෂය ප්‍රාමාණිකයින් ලවා මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයා දැනුමෙන් නිපුණතාවයෙන් සන්නද්ධ කොට අපේ ඩොලර් අර්බුදයට තිරසාර විසඳුම් සෙවීමය. මේ සඳහා දිවයිනේ මුල් වරට තිහකට ආසන්න සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් පිරිසක් සඳහා මෙම නව ෆෝටොනික්ස් වෙළඳ පොළ අවස්ථාවන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඉකුත්දා ජාතික පරමාණු බලශක්ති මණ්ඩලයේ කැලණියේ පිහිටි හානිකර නොවන පරමාණු බලශක්ති පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
අපනයන සංවර්ධන මණ්ඩලයේ මූලිකත්වයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ ද්‍රව්‍ය විද්‍යා ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ශාන්ත අමරසිංහ, ආචාර්ය දිනේෂ් ආටිගල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්පත් වේරගොඩ සහ ඉංජිනේරු ඔස්කා වීරසේකර යන අයගේ සහභාගිත්වයෙන් මෙම වැඩමුළුව පවත්වන ලදි. මේ සඳහා හානිකර නොවන පරමාණු බලශක්ති පර්යේෂණ ආයතන අධ්‍යක්ෂ අනුර ජයතිලකයන්ගේ නොමඳ සහයද ලැබිණි. එහිදී විද්වත් මණ්ඩලය ඉදිරිපත් කළ අදහස්වලින් මෙම ලිපිය සකස් වී ඇත.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME)
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලොව පුරා ව්‍යාපාරවලින් 90% කට ආසන්න ප්‍රමාණයක් සහ ලොව පුරා රැකියාවලින් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කරයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල ජාතික ආර්ථිකයන්ට ඉතාම වැදගත් බව දැන් බොහෝ අයගේ පිළිගැනීමයි.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මගින් බහු පරිභෝජන භාණ්ඩ සැපයීම, රැකියා විරහිතයින් අවශෝෂණය කරගැනීම, නව රැකියා නිර්මාණය කිරීම තුළින් ආර්ථික හා සමාජ ස්ථාවරත්වයට විශාල ලෙස දායකත්වයක් ලබාදේ.
නිදහසින් පසු අප උත්සාහයන් කිහිපයක්ම කළද, ජාතියක් වශයෙන් රට තුළ තාක්ෂණය පදනම් වූ ශක්තිමත් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයක් සංවර්ධනය කිරීමට අප තවම සමත් වී නැත. නිදහසින් පසු අප යම් උත්සාහයන් ගෙන ඇතත්, බොහෝ අවස්ථාවන්හිදී, ඒවා සම්බන්ධීකරණය නොකළ, ලිහිල් අසංවිධානාත්මක උත්සාහයන්ය. රටේ ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ නැංවීම සඳහා විද්‍යාව හා තාක්ෂණය (S&T) වඩා ඵලදායී ලෙස යොදා ගැනීම පිළිබඳව ප්‍රබල මැදිහත්වීමක් කළ යුතුව ඇතත්, මේතාක්, ආර්ථික ප්‍රවර්ධනය සඳහා විද්‍යාව හා තාක්ෂණය යොදාගැනීම සම්බන්ධයෙන් රටේ ප්‍රගතිය ඉතා පහළ මට්ටමකය පවතින්නේ. ස්වාභාවික සම්පත් මතම පමණක් පදනම් වූ ආර්ථිකයක් දිගු කාලීනව තිරසාර ආකෘතියක් නොවේ. ස්වාභාවික සම්පත් මතම යැපීමට උත්සහ දරමින් අපි දැන් ප්‍රමාණවත් කාලයක් ගත කර ඇත්තෙමු. අපි මෙයින් ලබාගත්තේ කුමක් ද? විශේෂයෙන් අප වැනි කුඩා රටකට ස්වාභාවික සම්පත් වටාම පමණක් ගොනුවූ ආර්ථිකයකින් දිගු කාලීනව යැපිය නොහැකි බව වටහා ගන්නේ කවදාද.
වසර ගණනාවක් පුරා, අපි ආර්ථිකය විවිධාංගීකරණය කිරීමට සහ එහි අපනයන කූඩයට නව නිෂ්පාදන සහ සේවා හඳුන්වා දීමට අපොහොසත් වී ඇත්තෙමු. මෙම අසාර්ථක බව ඉහළ වැටුප් සහිත රැකියා උත්පාදනය කිරීමට සහ ගෝලීය සැපයුම් දාමයන් සමඟ රට ඒකාබද්ධ කිරීමට ඇති හැකියාව විශාල ලෙස අඩාල කර ඇත.
අපගේ අපනයන කූඩ විවිධාංගීකරණය තුළ අපි එකතැන පල්වෙමින් සිටින අතර, වියට්නාමය, තායිලන්තය, සිංගප්පූරුව වැනි කලාපවල අනෙකුත් තරඟකරුවන් වේගයෙන් වර්ධනය වෙමින් පවතින බවද අමතක නොකළ යුතුය.
ඉහළ තාක්ෂණික කර්මාන්ත රට තුළට ගෙනඒමට අගය කළ හැකි උත්සාහයක් ගැනීමට අපේ දේශපාලන නායකත්වයට අවශ්‍ය නැත. මන්ද එය ලංකාවේ බහුජන ඡන්ද පදනම තුළ වූ ජනප්‍රිය තීරණයක් නොවන බැවිනි. ගැලරියට ක්‍රීඩා කිරීමේ ප්‍රතිඵල අපි දැක්කෙමු. අඩුම තරමින් රටේ නිෂ්පාදන ක්ෂේත්‍රය උසස් තාක්ෂණික කර්මාන්ත කරා තල්ලු කිරීමට දිගුකාලීන උපාය මාර්ග දැන්වත් සොයා බැලිය යුතුය. ඒ අනුව බලන කල ෆෝටොනික්ස් ඉතා හොඳ ආයෝජන අවස්ථාවකි.
මොනවද මේ ෆෝටෝනික්ස්
ෆොටෝනික්ස් යනු ආලෝකය මත පදනම් වූ තාක්ෂණයකි. ඉලෙක්ට්‍රොනිකවලදී ගලා යන ඉලෙක්ට්‍රෝන ප්‍රවාහ හෝ (විද්‍යුත්) ධාරා සමඟ වැඩ කරයි. එනම් ඉලෙක්ට්‍රොනික්වලදී, අපි සංඥා යැවීමට සහ සැකසීමට මෙම ඉලෙක්ට්‍රෝන ප්‍රවාහ හෝ ධාරා භාවිතා කරමු. ෆෝටෝනික්ස්වලදී, ඉලෙක්ට්‍රෝන වෙනුවට, සිදුවන්නේ සංඥා යැවීමට සහ සැකසීමට ආලෝකය භාවිතා කිරීමයි. ෆොටෝනික්ස් (photonics) ආශ්‍රිත ප්‍රකාශ තන්තු කර්මාන්තය optics industry වර්ධනය වන වෙළඳපොළකි. යෝධයන් කිහිප දෙනෙකු කර්මාන්තයේ ආධිපත්‍යය දරන නමුත්, රටවල් 50 ක් පමණ නියෝජනය කරමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 5000 කට ආසන්න සංඛ්‍යාවක් ද මෙම කාර්මාන්ත අංශයේ දැනටමත් යෙදී සිටිති. මේ සඳහා මහා පරිමාණ කර්මාන්තශාලා අවශ්‍ය නොවීම විශේෂත්වයක් වන අතර, ගැරේජ් එකක් වැනි කුඩා ඉඩ කඩක් වුවද ඊට ගැලපීම නිසා ගෘහ කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යාමට හැකිය. එසේම, එයින් ලබන ආදායම හා ලාභය නොසිතන තරම් ඉතා ඉහළ වූවකි. මෙම වෙළඳපොළේ අපට කුමක් කළ හැකිද? අපට මෙම වෙළඳපොළට ඇතුළු විය හැකි ක්‍රමයක් තිබේද? මේ ඔස්සේ ඩොලර් උපයා රටේ ආර්ථික ගැටලුවට අපට ඉක්මන් හා ඵලදායී විසඳුම් සොයාගත හැකිය. එනිසා දැනටමත් අපනයන සංවර්ධන මණ්ඩලය මගින් මෙවැනි සංවාදයක් ආරම්භ කිරීම අගය කළ යුත්තකි.
අපගේ දැනුමට අනුව, තවමත් වර්ධන තත්ත්වයක පවතින මෙම කර්මාන්ත ක්ෂේත්‍රයේ කිසිදු ශ්‍රී ලාංකික සමාගමක් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු නොකරයි. කර්මාන්තයක් හොඳින් ස්ථාපිත වූ පසු, කර්මාන්ත ක්ෂේත්‍රයකට ඇතුල්වීම ලේසි නොවේ. එම අවස්ථාවේදී, විවිධ පිවිසුම් බාධක එය දුෂ්කර කරවනු ඇත. විශේෂයෙන්ම, තාක්ෂණය මත පදනම් වූ කර්මාන්තවලට කලින්ම ඇතුළුවීම සැමවිටම වාසියක් ලබා දෙයි.
අපගේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බොහොමයක් හැමදාමත් අඩු තාක්ෂණික නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කරයි. ඒවාද බොහෝවිට සාම්ප්‍රදායක නමුත් සිදුවිය යුත්තේ අපට උසස් තාක්ෂණික වෙළඳපොළට ඇතුළු වීමට ක්‍රමයක් සොයාගත හැකිද යන්න සොයා බැලීමයි. මොරටුව විශ්වවිද්‍යාලය, ද්‍රව්‍ය විද්‍යා ඉංජිනේරු අංශය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව මාර්ග ගවේෂණයක් කිරීමට මූලිකත්වය ගෙන ඇත. ආචාර්ය එස්. අමරසිංහ, ආචාර්ය දිනේෂ් ආටිගල, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්පත් වේරගොඩ සහ ඉංජිනේරු ඔස්කා වීරසේකරගේ සම්පත් දායකත්වයෙන් ලංකා නිෂ්පාදකයන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා මේ පිළිබඳව පැවැත්වූ සාකච්ඡාව ඉතා ඵලදායී එකක් බව කිව යුතුය.
දෘෂ්‍ය පාදක (optics based) තාක්ෂණයන් අධි තාක්ෂණික කර්මාන්ත ලෙස මෙම කර්මාන්තය වර්ගීකරණය කර ඇතත්, මෙම කාර්මික අංශවලට පිවිසීමට අපට තවමත් යම් යම් අවස්ථා ඇති බව පැහැදිලි වේ. විශේෂයෙන්ම අපේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට මේ අංශයට එන්නට ඉතා හොඳ අවස්ථාවක් තිබෙන බව පෙනේ.
එනිසා ෆොටෝනික්ස් පිළිබඳ කතිකාවතක් සංවිධානය කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය ගත් උත්සාහය අපි අගය කළ යුතුයි. මොරටුව විශ්වවිද්‍යාලය ඉදිරියට පැමිණ ඔවුන්ගේ දැනුම දේශීය කර්මාන්ත සමඟ බෙදා ගැනීම ද අප අගය කළ යුතුය.