මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ

155

රාජ්‍යයක ස්ථිතික පැවැත්ම හා රාජ්‍ය පාලනයේ ස්ථාවරභාවය තහවුරු කරනුවස් සෘජු විධායක ජනාධිපති ක්‍රමය පවතින ආණ්ඩු ක්‍රමයන්හි සමානුපාතික නියෝජන ක්‍රමයක් තුළ බිහිවන දුර්වල/අස්ථාවර ව්‍යවස්ථාදායක/පාර්ලිමේන්තු දැකගත හැකියි. සමානුපාතික නියෝජන ක්‍රමයේ පැවැත්ම අවශ්‍ය වනුයේ විධායක ජනාධිපති ක්‍රමය තුළ දුර්වල පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව මතයි. එබැවින් රාජ්‍ය පාලනයේ ස්ථාවර පැවැත්ම උදෙසා සෘජු ඡන්දයෙන් පත්වන විධායක ජනාධිපති ධුරය පවතින පාලනයන්හි දුර්වල ව්‍යවස්ථාදායකයක/ පාර්ලිමේන්තුවක අවශ්‍යතාව දැකිය හැක. මෙහි මූලිකම අංගය වනුයේ විධායක ජනාධිපති බලවත් වන අතර හා විධායකයට යටත් වූ සාමාජිකයන්ගෙන් සමන්විත දුර්වල /අස්ථාවර ව්‍යවස්ථාදායකක් / පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යෑමයි. එබැවින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් ඒ හා සමගාමීව සමානුපාතික නියෝජන ක්‍රමය ද අහෝසි කළ යුතුව ඇත. එනම් ස්ථාවර ව්‍යවස්ථාදායකයක් / පාර්ලිමේන්තුවක් බිහි කිරීම උදෙසා වූ නියෝජන ක්‍රමයක් භාවිත කළ යුතු වේ. එනම් සමානුපාතික ක්‍රමයෙන් පරිබාහිර වූ නියෝජන ක්‍රමයක් වෙත යා යුතුව ඇත. ස්ථාවර පාර්ලිමේන්තුවක් බිහි කිරීම උදෙසා භාවිත කළ හැකි වඩාත් උචිතම නියෝජන ක්‍රමය වනුයේ සරල බහුතර ක්‍රමය තුළින් පත්වන ව්‍යවස්ථාදායකය / පාර්ලිමේන්තුව සහ එතුළින් පත්කරගන්නා විධායක අග්‍රාමාත්‍ය ධුරයි. ශක්තිමත්/ස්ථාවර පාර්ලිමේන්තු ක්‍රමයක් සහ එතුළින් පත්කරගන්නා විධායක අග්‍රාමාත්‍ය ධුරයක් පවතින ක්‍රමයක් තුළ විධායක ජනාධිපති ධුරයක අවශ්‍යතාව පැන නොනගී. යම් හෙයකින් ස්ථාවර පාර්ලිමේන්තුවක් සමග විධායක අග්‍රාමාත්‍ය ධුරයක් සහ ඍජු ඡන්දයෙන් පත්වන විධායක ජනාධිපති ධුරයක් පැවතීම තුළ විධායක බලය ක්‍රියාත්මක කිරීමෙහිලා මතුවන්නා වූ ප්‍රතිඵලයන්හි වගකීම් දැරීමට කිසිවකු ඉදිරිපත් නොවනු ඇත. එහෙයින් සරල බහුතර නියෝජන ක්‍රමයක් සහිත පාර්ලිමේන්තු ක්‍රමයක් තුළ විධායක ජනාධිපති ධුරයක් අවශ්‍ය නොවනු ඇත.

සමානුපාතික නියෝජන ක්‍රමයේ ප්‍රධානම ප්‍රතිලාභය අත්වනුයේ කුඩා ඡන්ද කොට්ඨාශයක් තුළ සරල බහුතරයක් දිනාගෙන නියෝජනයක් ලබාගත නොහැකි ජන සහ දේශපාලන කණ්ඩායම් උදෙසා විශාල ප්‍රදේශයක් තුළ එකතුකර ගන්නා ඡන්ද ප්‍රමණය මත සමානුපාතිකව නියෝජනයක් හිමිවීමයි. මනාප ක්‍රමය යනු සමානුපාතික ඡන්ද ක්‍රමයෙහි වූ මූලිකම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය බැවින් සමානුපාතික නියෝජන ක්‍රමය තුළ මනාප ක්‍රමය තිබිය යුතුම ලක්ෂණයකි. එහෙත් මනාප සොයා යෑමේදී ජාති, ආගම් සහ කුල ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටුකරනු ලබන බව පෙනී යයි. එමෙන්ම ව්‍යවස්ථා සම්පාදනයට අවැසි නිසි දැනුමක් නොමැති මූල්‍ය බලය පමණක් ඇත්තවුන්ට ව්‍යවස්ථාදායකයට/ පාර්ලිමේන්තවට පිවිසීමට මහඟු රුකුලක් වී ඇති බවද මැනවින් පසක් වේ. මනාප ක්‍රමය නැති වුවහොත් පක්ෂ තුළ ඒකාධිපතිත්වයට වඩා යටත් වූ තත්ත්වයක් මතු වනු ඇත. එවිට පක්ෂ නායකයා නම් කරන නියෝජිත ලැයිස්තුවට පමණක් අවස්ථාව උදාවනු ඇත.

වත්මන් අවශ්‍යතාව වනුයේ විධායක ජනාධිපති ධුරයෙන් වියුක්ත වූ පාර්ලිමේන්තුවේ විධායකයක් සහිත ආණ්ඩු ක්‍රමයක් නම්, සරල බහුතර නියෝජන ක්‍රමයත් සමානුපාතික නියෝජන ක්‍රමයත් මිශ්‍ර වූ පාර්ලිමේන්තු ක්‍රමයකට යා යුතුව ඇත. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුතුව ඇත්තේ කොපමණ ප්‍රමාණයකට සංයුතිය සකස් කරන්නේද යන්නයි. මූලික වශයෙන් අවධාරණය කරගත යුතුව ඇත්තේ ස්ථාවර පාර්ලිමේන්තුවක් සහිත පාලන තන්ත්‍රයක්

ගොඩනැගීම උදෙසා නිසි සංයුතිය සකසා ගැනීමයි. යම් හෙයකින් පාර්ලිමේන්තු ස්ථාවර භාවයට හානි වන සමානුපාතික නියෝජන ක්‍රමයේ දායකත්වය පාර්ලිමේන්තුවේ ස්ථාවර භාවයට බලපාන මට්ටමින් යොදාගතහොත් අවසානයේ රාජ්‍ය අස්ථාවර වේ. සියලු නියෝජිතයන් සරල බහුතර නියෝජන ක්‍රමය මතම තෝරාගතහොත් සුළුතර නියෝජනයන් සහිත හා සමානුපාතික ක්‍රමය තුළින් ප්‍රතිලාභ ලබන කණ්ඩායම් වෙත අවාසි සහගත තත්ත්වයක් උදා වේ.

එබැවින් මෙහිදී විශේෂ වශයෙන් නියෝජිතයන් තෝරා ගන්නා ක්‍රමවේදයක් සකසා ගත යුතුව ඇත. එනම් ස්ථාවර රාජ්‍යක පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය වන්නා වූ ස්ථාවර පාර්ලිමේන්තුවක් පවත්වා ගැනීම උදෙසා සක්‍යතාව සහිත වූ සරල බහුතර නියෝජන ක්‍රමයෙන් සියයට 70 ක් ද සමානුපාතික නියෝජන ක්‍රමයෙන් සියයට 30 ක් ද වශයෙන් තෝරාගැනීම සිදු කළහොත් ස්ථාවර පාර්ලිමේන්තුවක් බිහි වී රාජ්‍යයේ ස්ථාවරත්වය රඳා පවතිනවා මෙන්ම අනෙකුත් කණ්ඩායම් වලට අවශ්‍ය නියෝජනය ලබාගැනීමට ද අවස්ථාව උදා වනු ඇත. එමෙන්ම ජන ඝනත්වයේ සැකැස්මට පරිබාහිර වූ විකෘති නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ සිදු නොවනු ඇත. මෙම සියයට 70 හා සියයට 30 මිශ්‍ර ක්‍රමය පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් සහිත ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්ථිතික පැවැත්ම උදෙසා අවශ්‍ය වනු ඇත. එසේ නොවුණහොත්, අපට ඇති ආසන්නතම උදාහරණය වන පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේ දී සියයට 50 ක් සරල බහුතර නියෝජන ක්‍රමයටද සියයට 50 සමානුපාතික නියෝජන ක්‍රමය මතද නියෝජිතයන් තෝරාගැනීම සිදු කළ හෙයින් සාතිශය බහුතරයක් වූ පළාත් පාලන ආයතනයන්ට නියෝජිතයන් බිලිබා ගැනීමකින් තොරව තම ආයතන තුළ බලය ස්ථාපිත කර ගැනීමට නොහැකි විය. අප මෙහිදී මූලිකවම අවබෝධ කරගත යුතු කරුණ නම් පාර්ලිමේන්තු විධායකයක් සහිත ආණ්ඩු ක්‍රමයක ස්ථාවරභාවය රඳා පවතිනුයේ සරල බහුතර නියෝජන ක්‍රමයක් තුළින් ව්‍යවස්ථාදායකයට/පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්කරගන්නා ප්‍රමාණය මතය. ව්‍යවස්ථාදායකයට/පාර්ලිමේන්තුවට යම් හෙයකින් හෝ සරල බහුතර නියෝජන ක්‍රමයේ දායකත්වයේ අඩුවී සමානුපාතික නියෝජන ක්‍රමයේ දායකත්වය වැඩිවන ප්‍රමාණයට සාපේක්ෂව විධායක ජනාධිපති ධුරයද නොපවතින තත්ත්වයක් තුළ ව්‍යවස්ථාදායකයේ/පාර්ලිමේන්තුවේ මෙන්ම රාජ්‍යයේ ස්ථිතික පැවැත්මට දැඩි ලෙස බලපානු ඇත.

නීතිඥ ගැමුණු කරුණාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment