මැති සබය අද රැස්වෙයි – පළමු කාර්යය නව කථානායක තෝරාගැනීම

93

දසවැනි පාර්ලිමේන්තුවේ රැස්වීම් දින පහකට පමණක් කථානායක ධුරයේ කටයුතු කර ඉල්ලා අස්වූ ජාතික ජනබලවේගය ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක රන්වල මහතා වෙනුවට අද (17දා) නව කථානායකවරයකු පත් කර ගැනීම සිදුවෙයි.

අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතාගේ මූලාසනයෙන් රැස්වන අතර ප්‍රථමයෙන් අභිනව මන්ත්‍රීවරු 04 දෙනෙක් ඔහු ඉදිරියේ දිවුරුම් දෙති. අනතුරුව හිටපු කථානායක අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීම සහ ජනපති එය පිළිගත් බවට පාර්ලිමේන්තුවට දැන්වූ ලිපි දෙක මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය විසින් සභාවේ නිල දැන ගැනීම පිණිස කියවීම සිදු කෙරේ.

ඉන් පසු නව කථානායකවරයකු තෝරාගැනීම සිදුවන අතර ඒ සඳහා නම් දෙකක් හෝ ඊට වැඩියෙන් යෝජනා වුවහොත් රහස් ඡන්දයක් පවත්වා නව කථානායක තෝරා ගැනේ.

දසවැනි පාර්ලිමේන්තුව මෙතෙක් රැස්වුණේ නොවැම්බර් 21 සහ දෙසැම්බර් 03 – 04 – 05 සහ 06 යන දින පහේ පමණි.

අකිත පෙරේරා


advertistmentadvertistment