මැදපෙරදිග සල්ලාලයන්ට විකිණෙන පෙරදිග ස්ත්‍රීත්වයේ අභිමානය!

111

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් ඇමැතිවරයා ලෙස ඉදිරිපත්කරන ලද අය-වැය පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වුවද සමාජ දේශපාලන ක්‍ෂේත්‍රවල ඊට වඩා දැඩි අවධානයක් යොමු වූයේ මැදපෙරදිග රටවල් කීපයක ලක්‍ෂ ගණනින් මුදල්වලට වෙන්දේසි වන ශ්‍රී ලංකාවේ කාන්තාවන් පිළිබඳ ඛේදවාචකයක් කෙරෙහිය. ඒ ඩුබායි, ඕමානය හා අබුඩාබි වැනි රටවල ධන කුවේර සළෙලුන්ට අපේ කාන්තාවන් අලෙවි කෙරෙන තුච්ඡ ජාවාරමක් පිළිබඳවය. මැදපෙරදිග සේවය සඳහා යන ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සිදුවන නොයෙක් ආකාරයේ සංවේදී පුවත් මෙරටේ ජනමාධ්‍යවල දැන් කලක සිට ම වාර්තා වන්නකි. එහෙත් ඒ අසරණ ළඳුන්ගේ ඛේදවාදකය හුදු අප විසින් කියවනු ලබන පුවත්වලට පමණක් සීමා වූවකි. විදේශ සේවා නියුතු කාර්යාංශය හෝ වෙනත් වගකිවයුතු ආයතනයක් හෝ මේ දුර්දශාවට ගොදුරුවී සිටින අපේ කාන්තාවන් පිළිබඳ අවධානයක් යොමු කළ බවක් වාර්තා වී නැත. මෙවර නම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධ ප්‍රමාණවත් මැදිහත් වීමක් කරන ලද බව ද සඳහන් වේ. මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැක කරන ලද පුද්ගලයන් කීපදෙනෙක්ම අත්අඩංගුවට ගැනීමට ද හැකිවී තිබේ. මෙම සාහසික මිනිස් ජාවාරමට මෙරටේ මෙන්ම ඒ ඒ රටවල සිටින කූට චරිත ගණනාවක්ම සම්බන්ධවී සිටින අතර ඕමානයේ තානාපති කාර්යාලයට ද ඒ ජාතික අපරාධය ගැන චෝදනා ලැබී තිබේ.

විදේශ සේවයක් ලෙස හැඳින් වුවද විශේෂයෙන් මෙරටේ කාන්තා ශ්‍රමිකයන් ලෙස මැදපෙරදිගට යන බහුතරය නුපුහුණු මෙන්ම ප්‍රමාණවත් අධ්‍යාපනයක් හෝ නොලත් අය බවද රහසක් නොවේ. මේ කාන්තාවන්ට රැකියාව ලෙස ලැබෙන ගෘහ සේවය වුවද වඩාත් සමීප වන්නේ වහල් මෙහෙවරකට බව ආණ්ඩුව ද දන්නා කරුණකි. ඇතැම්විට දේශපාලන අනුබල අනුග්‍රහ පවා ලබා ගන්නා ජාවාරම්කාරයන් පිරිසක් ද මේ මැදපෙරදිග සේවා සපයන බව ද හෙළිවී තිබේ. මේ රටේ බලය ලබාගත් හැම දේශපාලන කණ්ඩායමක් විසින්ම වඩාත් අවධානය යොමු කරන ලද්දේ ඒ කාන්තාවන්ගේ ප්‍රශ්න, ගැටලු රාජ්‍ය මට්ටමින් විසඳීමට වඩා ඔවුන්ගෙන් ලැබෙන විදේශ මුදල් කෙරෙහිය. ‘රට විරුවෝ’ ලෙස මුරුගා අතු උඩ නංවන ලද මේ කාන්තාවන්ගේ සැබෑ ජීවිතය එකම කඳුළක් බව ආණ්ඩුවක් හෝ ඒ කතුන් වහල් මෙහෙවරට විකුණා දමන ජාවාරම්කාරයෝ හෝ නොදැන සිටියෝ යැයි කිව නොහැක.

ශ්‍රී ලංකාවෙන් මෙන්ම වෙනත් රටවල්වලින් ද එලෙස ගෘහ සේවාවන් සඳහා සපයනු ලබන කාන්තාවන් දේශ සීමාවලින් රිංගවාගෙන රැගෙන යන ජාවාරම්කරුවන් පිළිබඳ වාර්තා පළ වන්නේ දැන් සෑහෙන කලක පටන්ය. මහාචාර්ය සරච්චන්ද්‍ර විසින් ලියන ලද ධර්මිෂ්ඨ සමාජය (1982) නමැති කෘතියෙහි මේ පිළිබඳ කදිම විවරණයක් කර තිබේ. මහත් සමාජ ආන්දෝලනයකට තුඩුදුන් සරච්චන්ද්‍රයන්ගේ අනාවරණයන් පිළිබඳ කුපිත වූ ජයවර්ධන ආණ්ඩුවේ මුග්ධ අනුගාමිකයන් ලවා සරච්චන්ද්‍රයන්ට මෙන්ම මාදුළුවාවේ සෝභිත හිමියන්ට ද පහරදීමට තරම් ජයවර්ධන පාලනයේ ඇතැම් අය නිවට වූහ. එදා විවෘත ආර්ථිකය විසින් උඩුයටිකුරු කරන ලද ලාංකික සමාජය ‘බල්ලෝ මරා හරි සල්ලි සොයන’ දුෂ්ට පිළිවෙතකට වැටුණු බව ධර්මිෂ්ඨ සමාජය කෘතියෙහි දක්වා තිබේ.

අසූවේ දසකයේ මෙරටේ දැඩි කම්පනයට හේතු වූ බිලිඳුන් විකිණීමේ ජාවාරම ගැනත් එයට නොදෙවෙනි මැදපෙරදිග ගෘහ සේවය ගැනත් සරච්චන්ද්‍රයන්ගේ විවේචන දැඩි විය. එයින් කොටස් කීපයක් මෙසේ උපුටා දැක්විය හැකිය.

විකුණන්නට පුළුවන් හැම දෙයක්ම විකුණා සල්ලි හම්බ කිරීමේ ආසාව, කරුණාව, මෛත්‍රිය, දයාව වැනි මානුෂික හැඟීම් පමණක් නොව, දාරක ප්‍රේමය පවා අභිභවා පවතින සැටි ළඟදී ප්‍රකට වූ බිලිඳු වෙළෙඳාම් ව්‍යාපාරයෙන් දැක ගත හැකිය. සරච්චන්ද්‍රයන් එම විශ්ලේෂණයට පාදක කරගෙන ඇත්තේ 1981 දෙසැ.

8 වැනිදා ‘සන්’ පුවත්පතට ලියූ ලිපියකි. (ඒ ලිපිය ලියා තිබුණේ ආර්. ඩී. පියදාස නම් අයෙකි) මෙම අමානුෂික වෙළෙඳමේ දී ලංකාවේ බිලිඳෙකුගේ විකුණුම් මිල රුපියල් ලක්‍ෂයක් පමණ වී ඇත. මේ සරච්චන්ද්‍රයන් විසින් මැදපෙරදිග ගෘහ සේවය සම්බන්ධයෙන් කරන ලද විවේචනයයි.

මැදපෙරදිග සල්ලාලයන්ට විකිණෙන පෙරදිග ස්ත්‍රීත්වයේ අභිමානය!

බිලිඳු වෙළඳාම මෑත දී ඇති වූවකි. එහෙත් ගණිකා වෘත්තිය සඳහා ලංකාවේ ගැහැනුන් මැදපෙරදිග රටවලට යැවීම අවුරුදු දෙකක් තුනක් මුළුල්ලේ පැවැති ව්‍යාපාරයකි. ලාංකික ගැහැනුන් මැදපෙරදිග රටවලට යන්නේ ගෘහ සේවිකාවන් වශයෙනි. මෙසේ ගිය ගැහැනුන් කීපදෙනෙකුන් ගෙන් ලැබුණු සාක්‍ෂි අනුව නම් ගෘහ සේවිකා වෘත්තියේ මුවාවෙන් කෙරෙන්නේ වෙන එකක් බව පැහැදිලි විය යුතුය.

‘කෙලින්ම ගණිකා වෘත්තියට නොගියද මැදපෙරදිග රටවලට යන බොහෝ ලාංකික ස්ත්‍රීන්ට ගෙදර වැඩ කටයුතු පමණක් නොව, කරන්ට සිදුවන්නේ තම හාම්පුතුන්ගේ වෙනත් වුවමනාවල් පිරිමැසීමට ද ඔවුන්ට සිදුවන බව පැහැදිලිය. හාම්පුතුන්ගේ ඉල්ලීම්වලට අවනත නොවන ගැහැනුන්ට නොයෙක් අතවර පැමිණෙන බවද සමහරවිට මරණයට පවා මුහුණ දෙන්ට සිදුවන බව ද හෙළිවී ඇත. එබඳු ගැහැනුන් පෙරළා ලක්දිවට පැමිණෙන්නේ මිනී පෙට්ටිවල ය.’

එදා මේ තතු අනාවරණය කරමින් සරච්චන්ද්‍රයන් විසින් චෝදනා කරන ලද්දේත් ආණ්ඩුවටය. සැලැස්මක් නොමැති සංවර්ධනය, දේශපාලන ජාවාරම් ආදිය නිසා ගැහැනු පිරිමි දෙපිරිසට ම තම ජීවිත පරදුවට තබා රටින් පිටවී මුදලක් උපයා ගැනීමට සිදුවී ඇති බව ඔහු සඳහන් කළේය. මුළු සමාජය ම විෂම වී ජනතාව අසරණ වී සිටින බවද ඔහුගේ චෝදනාව විය.

අද අප කතා කරන්නේ සරච්චන්ද්‍රයන්ගේ අනාවරණයෙන් ගෙන් වසර හතළිහකට ආසන්න කාලයක් ගෙවී යෑමෙන්ද පසුවය. කුමක්ද අද තත්ත්වය? ජනතාවගේ ඉරණම වෙනස්වී තිබේද? ජාවාරම්කරුවන්ට හොර ඒජන්සිකාරයන්ට පමණක් නොව, තානාපති කාර්යාලවල නිලධාරීන් බව කියන කාමුක අවලමුන්ට ද ගොදුරු වීම හැර ඒ බොහෝ කාන්තාවන්ට පිළිසරණක් නැති බව අද පළවන වාර්තාවලින් හෙළි නොවේද? ඕමානයේ දී හා වෙනත් රටවල දී විවිධ ලිංගික හිංසයන්ට ගොදුරු වූ ආකාරය පිළිබඳ ඇතැම් කාන්තාවන් විසින් කරනු ලබන අනාවරණයන් සුළුපටු නැත. නමින් කෙරෙන චෝදනා ද වේ. එහෙත් ඒවාට එරෙහිව ගත් පියවරක් ගැන වාර්තා වී නැත. මේ ජාතික අපරාධයට වගකිවයුතු යැයි චෝදනා ලද ඇතැම් නිලධාරීන්ට එරෙහිව කිසිදු පියවරක් නොගත් බව කෝපා කමිටුවේදීත් ප්‍රකාශ විය. එහි තේරුම ඒ දූෂිත අවලමුන්ට තිබෙන දේශපාලන රැකවරණය ද මාධ්‍යවලින් පෙන්වා දී තිබියදීත් එක් නිලධාරියකු රැකගත් අයුරු කෝප් කමිටුවේ දී පැහැදිලි විය.

ඇත්ත වශයෙන්ම මේ ආකාරයෙන් ලිංගික හිංසනයට ලක්වන්නේ කාන්තාවන් අතර මවුවරු, භාර්යාවන්, සහෝදරියන් වැනි අපේ ම පවුල් ඒකකයේ සාමාජිකාවන් බව ආණ්ඩුවත් එයට අදාළ ඇමැතිවරයාත් පළමුවෙන්ම තේරුම් ගත යුතුය.

ජීවත්වීමට වුවමනා අවම පහසුකම් හෝ නොමැති පවුල්වලින් මේ සල්ලාලා බිලි පූජාවට වුවමනා ලිංගික සූරා කෑම මොනතරම් ම්ලේච්ඡ අපරාධයක්ද?

එදා ජයවර්ධන යුගයේ සමාජගත කළ සමාජ ආර්ථිකය හා දේශපාලනය විසින් රටට ලබාදී තිබෙන යහපතට වඩා විනාශය වැඩි බව තවමත් සමහරු නොදකිති. අපේ දේශපාලනය කුණුවී ඕජස් ගලන බවට සමහරු චෝදනා කරති. අද වනවිට එදා ඔජවැඩූ ආර්ථිකය ද කඩා වැටී රට හිඟමනට පත්කර තිබේ. රටක අමිල සම්පත වන මානව ප්‍රාග්ධනය මෙසේ විනාශ වෙද්දීත් අපට සමානාත්මතාව, මනුෂ්‍යත්වය, ගැන හෝ සාරධර්ම පිළිබඳව හෝ සතුටුවිය හැකිද? කුසින් වැදූ දරුවන් තනිකර, සැමියන් හුදෙකලා බවට පත්කර එතෙරකට ගොස් බැල මෙහෙවර කර හෝ හෙටක් ගැන අලුතින් සිතීම වරදකැයි අපට කිව නොහැක. එහෙත් කුහුඹුවකුටවත් වරදක් නැති වැරදිකාර ළඳුන් බවට අපේ අහිංසක කාන්තාවන් පත්වෙද්දී අපට සුවසේ වැසිය හැකිද? මවුපිය රැකවරණ අහිමිවී ගිය දරුවන්ට අද අත්වී තිබෙන බිහිසුණු විපත් ගැන මොනතරම් දුක්බර කතා අපට ඇසෙන්නේද? මුදල නිසා සියල්ල කැපකර දුරු රටකට යන ඒ කාන්තාවන්ගේ රැකවරණය සලසා දීමට දේශපාලන බලවතුන්ට උනන්දුවක් නැති බව මේ සිදුවීම් මෙලෙස උත්සන්න වීමෙන් තහවුරු නොවේද?

ධනවාදී පාරිභෝගික සමාජයක ස්ත්‍රියට ලැබෙන අනාරක්‍ෂිත භාවය ගැන සමාජ විiාඥයන් විසින් කරන ලද අනාවරණයන් බොහෝය. ස්ත්‍රී ශ්‍රමය සූරා කෑම ගැන ඔව්හු විරෝධය ද දක්වති. ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, තායිලන්තය වැනි රටවල ද කාන්තාවන්ට සිරුර විකුණා යැපීමට සිදුවූ ආකාරය පිළිබඳ වාර්තා තිබේ. එහෙත් මේ සමහර රටවල් අද ඒ විපත තුනී කරගෙන සිටින බවද කියති. ස්ත්‍රිය පුරුෂයාගේ වහලියක සේ සැලකූ අවිචාරවත් යුග ඉතිහාසයෙහි විය. පුරාණ ඉන්දියාව පුරුෂ ප්‍රභූත්වය නමැති යදමින් ස්ත්‍රිය බැඳ තිබුණි. එයට අදාළ සමාජ වටිනාකම් පවා එකල තීරණය වී තිබුණ.ි වේදයට අනුව පුරුෂයාගේ මරණයෙන් පසු ස්ත්‍රියට දර සෑයකට පැන දිවි පිදුමට අනුබල දී තිබුණි. අද මේවා ගෝත්‍රික ප්‍රතිචාර ලෙස පිළිගනු ලැබේ. මෑතක් වන තුරුම ඉන්දියාවේ දෑවැදි ප්‍රශ්නය මුල්කරගෙන ස්ත්‍රියට මරණය ද හිමිවූ බවට වාර්තා පළ විය. ඉන්දියාව දෑවැදි ඉල්ලීම නීතියෙන් තහනම් කිරීමට ද පියවරගෙන තිබුණි.

මෙහිලා දීර්ඝ විශ්ලේෂණයට ඉඩ නොමැති වුවද ස්ත්‍රිය පිළිබඳ බෞද්ධ ආකල්ප ඉතා නූතනවාදී මෙන්ම ප්‍රායෝගික බවද අද පිළිගනු ලැබේ. වැඩවසම් බ්‍රාහ්මණ සමාජයක ස්ත්‍රිත්වය පීඩාවට ලක්ව තිබුණි. බුදුන් වහන්සේ එය අනුමත නොකළ අතර මාතෘත්වයෙහි හා ස්ත්‍රිත්වයෙහි අභිමානය විවිධ අවස්ථාවල දී අවධාරණය කරනු ලැබ ඇත. ස්ත්‍රිය අධම යැයි හෝ පුරුෂයා උත්තම යැයි හෝ උන්වහන්සේ කිසිවිටෙක නො වදාළහ. කොසොල් රජුට අනුශාසනා කරමින් බුදුන් වහන්සේ ස්ත්‍රිය පිරිමියකුට වඩා ශ්‍රේෂ්ඨ වන අවස්ථා ද තිබෙන බව වදාළහ. එසේ වුවද බෞද්ධ සාහිත්‍යයෙහි දී ඇතැම් ගතානුගතික දෘෂ්ටීන් අනුව අපේ කාන්තාවන් නිරූපණය වූ ආකාරය ද දැකගත හැකිය. එසේ වුවද වර්තමාන සාහිත්‍ය කලා හා සංස්කෘතික ක්‍ෂේත්‍රවල ස්ත්‍රීත්වය හේතුවක් බවට පත්කර ගනිමින් දක්වන ප්‍රතිචාර නැත. ස්ත්‍රී හිංසාව පිළිබඳව නිර්මාණ බොහෝය. ඇතැම්විට ආගමික අන්තවාදයේ පීඩනයට ස්ත්‍රීය ගොදුරු වන අවස්ථා අදත් විරල නොවේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කළ පොදුවේ පීඩනයට, ගර්ජනයට, තර්ජනයට මෙන්ම දූෂණයට හා ඝාතනයට ද ලක්වීමේ ප්‍රවණතාවක් කාන්තාවට තිබෙන බව පිළිගැනීමට සිදුවේ. වරප්‍රසාදිත කාන්තාවක් හා දරිද්‍රතාවෙන් පෙළෙන්නියක් අතර වෙනස ඉමහත්ය. බලහත්කාරයෙන් ඇය මැඬලන අයුරු මාධ්‍යවලින ්ද හෙළිවේ. මෙරටේ වුවද වෙළෙඳ කලාප හා වෙනත් වැඩබිම්වල ඇයගේ අත්දැකීම් යහපත් නැත. ඇතැම් නිලධාරීන්, මෙන්ම පොලිසිය වැනි ආයතනවලින් ද ඇයට අනිසි ඉල්ලීම් ඉදිරිපත් වන බව ද කියති. ලෙනින් පමණක් නොව බ්‍රෙෂ්ට් කලාකරුවා විසින ්ද සඳහන් කරනු ලැබ ඇත්තේ රටක මෙන්ම පුද්ගලයාගේ හැදියාව රඳා පවතින්නේ ස්ත්‍රියට දක්වන ගෞරවය මත පදනම්ව බවය. ස්ත්‍රීන්ට සලකන ආකාරයෙන් සංස්කෘතියෙහි ආඪ්‍යත්වය දැන මැන ගත හැකිය යනු එහි අරුතය. පුරාණ, භාරතීය ඍෂිවරුන්ට අනුවද මානව වර්ගයා අතර සිටින අතිශය සංවේදී සාමාජිකයන් වන්නේ ස්ත්‍රීන් හා දරුවන්ය. ඔවුන් කෙරෙහි ළය නොතෙක් වන්නෝ තිරිසනුන් හා සමවෙති. ඔව්හු මනුෂ්‍ය රූපයෙන් හැසිරෙන මෘගයෝ වෙතියි ද සඳහන් වේ. කෙසේ හෝ අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදය, ජනතාවට උරුම කරදී තිබෙන දරිද්‍රතාවෙහි පීඩනය මෙන්ම සංස්කෘතික හා සාචාරාත්මක බිඳ වැටීම් සියල්ලට ම ප්‍රමුඛ හේතුව දේශපාලන පරිහානිය බව නිසැකය. ඒ දේශපාලනය කුණපයක් බවට පත්වීම නිසා සමාජ-ආර්ථික-සංස්කෘතික ආදී වශයෙන් වෙන වෙනම නාය යෑම් ද දැකගත හැකිවී තිබේ. මුල-මැද-අග යන තුනෙන් එකක් හොඳ විය නොහැක. එනිසා අග කුණුවීම මුලෙන් ගලා එන විෂ බීජ හා අපද්‍රව්‍ය නිසා සිදුවන්නකි.

මේ වනවිට ආන්දෝලනයටක තුඩු දී තිබෙන මිනිස් ජාවාරමට දිරි දෙන සමහර කරුණු ආණ්ඩුව පිළිගත් ප්‍රතිපත්තිවලට දුබලතා මෙන්ම නිලධාරීන්ගේ දූෂණ ක්‍රියාකාරකම් නිසාත් සිදුවන බවට විවෘත චෝදනා පත්‍රයක් තිබේ. විදේශ ගෘහ සේවය යනු අනාරක්‍ෂිත, පීඩාකාරී අත්දැකීම් බහුල වහල් සේවයක් බව බොහෝ අය දනිති. එහෙත් අදත් ජීවිතය රැක ගැනීම සඳහා මාරයා සමග ඔට්ටු අල්ලන පිරිස් කොතරම් සිටිත්ද? මේ ගෘහ සේවය මෙරටේ පවුල නැතහොත් කුටුම්බය සුනු විසුනු කළ කෲර අත්දැකීමකි. ජාවාරම්කාරයන්ගේ රැවටිලි මුසා බස්වලට ඇතැම් කාන්තාවන් මුහුණ දෙන්නේ මේ රටේදීමය. එතරෙ යෑමට පෙර මෙතෙර සිටින කාමාතුරයන්ට
ගොදුරු වූ ස්ත්‍රීහු ද සිටිති. එහෙත් නඩු නැත. ඒවා නොනිල ක්‍රියාකාරකම් ලෙස සිදුවේ.

මෙරටේ විදේශ සේවයට කෙරෙන පත්වීම් දේශපාලනික යැයි චෝදනා තිබේ. ආණ්ඩුවේ ඉහළ සිට පහළ දක්වා තමන්ගේ නෑයන්ට, මිතුරන්ට පිදෙන කප්පමක් ලෙස මෙම විදේශ සේවය ද පවත්වාගෙන යන්නේ හිරිකිතයකින් තොරවය. මෙරටේ විධිමත් පරිපාලන සේවයක් ඇත. දේශීය හා විදේශීය උසස් නිලවලට එයින් සුදුසු අය තෝරාගත යුතුය. එහෙත් එය එලෙසම ඉටුනොවන අවස්ථා ද බොහෝය. වැලි ජාවාරමුන්, කැලෑ පාළුවන්, දූෂිත චෝදනා ලැබූවන් තවමත් මෙරටේ සංස්ථා ආයතන ආදියෙහිද සුවසේ සිටිති. ජනමාධ්‍යවලින් ඒ දූෂිතයන් ගැන කරුණු සහිතව අනාවරණය කළත් අදාළ ඇමැතිවරයා ඒවා තඹයකට මායිම් නො කරයි.

මෙම ඕමානයේ මිනිස් ජාවාරම මහදවල් කළ මංකොල්ලයක් වැන්න. මේ අසරණ කාන්තාවන්, කාමුක පාදඩයන්ට ගොදුරු කරමින් මුදල් ලබාගත් ‘මැඩම්ලා, සර්ලා’ ගැන එල්ලවන චෝදනා නිවැරදි නම් ඒ එකෙක්වත් මානව සමාජයට සුදුස්සෝ නොවෙති. ඒ සියල්ල නීත්‍යානුකූලව විමර්ශනය කළ යුතු දේවල්ය. මේ වර්ගයේ මාෆියා කල්ලි දූෂිත ජාලයක් ලෙස ක්‍රියාත්මක වන්නේද බොහෝවිට දේශපාලන වසලයන්ගේ ද ක්‍රියාන්විත සිදුවන පසුබිමකය. ඒ සැකය මේ සිදුවීම් පෙළ දෙස බලද්දී ඕනෑම පුරවැසියකු තුළ මතුවන්නකි. සියලු සංස්කෘතික වටිනාකම් මානව ඇගයීම් හා සාරධර්ම සියල්ල සෝදා පාළුවට ලක්වෙද්දීත් අපේ දේශපාලනයේ බල පොරය නිමවන බවක්ද නොපෙනේ. සරණක් නැති පිහිටක් නැති සතුටක් ඇති මුහුණක් නැති සමාජයක් අපට උරුම කරදුන් දේශපාලනය පමණක් නොව, සත්‍යය හා යුක්තිය දැක දැකත් නිහඬව සිටින බුද්ධිමතුන්, විද්වතුන් මෙන්ම ආගමික නායකයන් පිළිබඳව ද අපට ඇත්තේ කලකිරීමක් හා වේදනාවක් පමණි. අපේ අම්මලාගේ සහෝදරියන්ගේ කඳුළුවලින් ඒ මැදපෙරදිග සල්ලාලයන්ගේ දෙපා සේදීමට සිදුවීම ගැන ජාතියක් වශයෙන් අපි ලැජ්ජා විය යුතු නොවෙමු ද?

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment