මැදවච්චියේ පොළව සෙලවිලා රිච්ටර් මාපක 2.3ක භූ කම්පනයක්

81

පෙරේදා (18 දා) රාත්‍රීයේ හටගත් භූ කම්පනයක් හේතුවෙන් මැදවච්චිය ජනතාව දැඩි ලෙස භීතියකට පත්වී තිබේ. රාත්‍රී 11.02 ත් 11.05 ත් අතර සිදුවූ මහා හඬක් සහිතව රිච්ටර් මාපක 2.3ක භූ කම්පනයක් සිදුව තිබේ. මෙම භූ කම්පනයෙන් තම නිවාස හා ගෘහභාණ්ඩ මෙන්ම පොළවද සෙලවූ බව ඔවුහු පැවැසූහ. 56000ට ආසන්න මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජනතාව නිදිවරමින් රාත්‍රි කාලය ගෙවා දමා තිබිණි.

මෙම භූ කම්පනය පිළිබඳ අප සමග ඔවුහු මෙසේ කීහ.

මැදවච්චියේ පොළව සෙලවිලා රිච්ටර් මාපක 2.3ක භූ කම්පනයක්

පෙරිය උලුක්කුලමේ ධම්මානන්ද හිමි :

මම බණ පොතක් කියව කියවා හිටියේ. ඊයේ රාත්‍රී 11.02 ට විතර එක් වරම විශාල ශබ්දයක් ඇහුණා. ඒ එක්කම බිත්ති දෙදරන්න ගත්තා. පොළව යටින් තමයි මේ ශබ්දය ආවේ. නමුත් කිසිදු කරදරයක් පරණහල්මිල්ලෑව ගම්මානයේ මගේ දායක පිරිසටවත් මටවත් සිදු වුණේ නෑ. මේ භූකම්පනයක් කියන දේ හැමෝම දැනගෙන හිටියා. ඒ නිසා ආරක්ෂිත ස්ථානවලට හැමෝම ගියා.

සුමිත් ජයසිංහ මහතා:

මම ටීවි බලමින් තමයි ඒ වෙලාවේ හිටියේ. එක් වරම මහා හඬක් ඇසුණා. පොළව යටින් තමයි ඒ හඬ ඇහුණේ. ඒ එක්කම බිත්ති ගේ, දොර බුඩු භාණ්ඩ හෙළවුණා. අපි බය වෙලා ගෙයින් මිදුලට බැස්සා. මොකද්ද මේ වෙන්නේ කියලා හිතා ගන්න බැරි වුණා. අනතුරුව මම අදාළ බලධාරින් දැණුවත් කළා.

ආර්. ජානකි කුමාරි මහත්මිය :

රෑ 11.02 ට විතර එකවරම අමුතු ශබ්දයක් ඇසුණා. ඒ එක්කම ගෙදර හෙළවුණා. අපි දරුවොත් අරගෙන මිදුලට බැස්සා. මොකද්ද වුණේ කියලා දන්නේ නෑ. උදේ තමයි දන්නේ භූ කම්පනයක් කියලා.

නෙරන්ජලී දිසානායක මහත්මිය :

මම දරුවක් එක්ක ඇඳේ හිටියේ. එක පාරටම ඇඳ හෙලෙවෙන්න ගත්තා. මම ළඟ තිබුණු පුටුවකින් ඇල්ලුවා. ඒකත් හෙලවුණා. මොක්ද්ද වුණේ කියලා දන්නේ උදේ තමයි. අපි බියෙන් හිටියේ.

මෙම සිදුවීම පිළිබඳව අප අනුරාධපුර දිස්ත්‍රික් ආපදා සහකාර අධ්‍යක්ෂක ලුතිනල් කර්නල් සනත් දිසානායක මහතාගෙන් විමසීමක් කළා.

රිච්ටර් මාපක 2.3ක භූ කම්පනයක් ඊයේ රාත්‍රියේ සිදුව තියෙනවා. එය වව්නියාවට සහ කිලෝමීටර් 23 ක් අනුරාධපුර දෙසට පැතිර තිබෙන්නේ. මෙම භූ කම්පනය කැබිතිගොල්ලෑව, ගෝණමැරියාව ප්‍රදේශයේ පොළව අභ්‍යන්තරව කිලෝමීටර් 8ත් 10 ත් අතර ඇතුළත තමයි සිදුවී තිබෙන්නේ. මේ පිළිබඳ අප දැඩි අවධානයෙන් සිටිනවා.
මැදවච්චිය – ගයාන් උතුරුමැද

advertistmentadvertistment
advertistmentadvertistment