මැදුම් පිළිවෙත අනුව යමින් තෙරුවන ලොව පහළවුණු දිනය

136

සියම, බුරුමය, කාම්බෝජය ආදී ලොව ථෙරවාදී බෞද්ධ රටවල ව්‍යවහාර කරන්නේ ශාසනික පොහොය යි. ලංකාවේ මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ආරම්භ වූ ශාසනික පොහොය සීතාවක රාජසිංහ රජ කාලය දක්වා පැවැති බව ඉතිහාසය දන්නෝ කියති. සීතාවක රාජසිංහ රජතුමා විසින් කරන ලද ශාසන විනාශයෙන් පසු ශාසනික ක‍්‍රම අභාවයට යෑමෙන් ශාසනික පොහොය වෙනුවට තිථි පොහොය ව්‍යවහාරය ඇති විය. කෙසේ නමුත් සකල ලෝ වැස්සන්ගේ හිතසුව පිණිස වසර හතළිස් පහක් පුරා පැවැති බුදුරදුන්ගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ අද වැනි උතුම් ඇසළ පුර පසළොස්වක පෝය දිනයකදී ය. ඇසළ සඳ අහසේ උදාවෙන විට සත්‍යගවේෂී විමුක්තිකාමී ලෝකයාට සාර්වභෞම නිදහස උදාවුණු තෙරුවන ලොව පහළවුණු දිනය වශයෙන් අපගේ සිතට සිහිපත් වෙයි.

මේ පොහොය දිනය ශාසන ඉතිහාසයෙහිලා ඉතා වැදගත් සිදුවීම් රැුසකට මුල් වූ ඓතිහාසික වූත්, පූජනීය වූත් දිනයක් ලෙස පෙන්වා දිය හැකිය. ඉහතින් දැක්වූ ආකාරයටම බුදුරජාණන් වහන්සේ ප‍්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත‍්‍ර දේශනාව පැවැත්වීම මේ අතර ප‍්‍රධානත්වය ගනී. වෙස්සන්තර ආත්ම භාවයෙන් පසු තුසිත දෙව්ලොව ඉපදුණු අප මහාබෝසතාණන් වහන්සේ මහාමායා දේවිය කුස පිළිසිඳ ගැනීම, විසිනව වන වියේදී සතර පෙරනිමිති දැක ගිහිගෙය කලකිරී අභිනිෂ්ක‍්‍රමණය කිරීම, බුදුරදුන් ප‍්‍රමුඛ පස්වග මහණුන්ගේ ප‍්‍රථම වස්සූපගමනය සිදුවීම, රාහුල කුමරු ඉපදීම, ගණ්ඩබ්බ රුක් මුල්හිදී තීර්ථකයන්ගේ මානය මර්දනය කරනු වස් බුදුරදුන් යමාමහ පෙළහර පෑම, මාතෘ දිව්‍ය රාජයා ප‍්‍රමුඛ පිරිසට විජම් පිටකයෙන් හෙවත් අභිධර්මයෙන් ධර්ම දේශනා සිදුකිරීම, සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසු තෘතීය මහාශ‍්‍රාවක මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා රජගහනුවර වස් එළඹ මූලික කටයුතු ආරම්භ කිරීම යන සිදුවීම් මේ උතුම් පොහොය දිනයේදී සිදු විය.

බුදු දහම පුද්ගලයාගේ විමුක්තිය මෙන්ම සමාජයේ විමුක්තියත් ලබා ගන්නට මඟ පෙන්වන දර්ශනයකි. මිනිසුන් අතර සමගිය හා සමාදානය අන්‍යොන්‍ය විශ්වාසය හා ගෞරවය ඇති කර ගන්නා අයුරු බුදු දහමින් ලෝකයාට මැනැවින් පෙන්වා දී තිබේ. ආගම් සමහරුන් පෞද්ගලික වස්තුවක් ලෙස තබාගෙන ක‍්‍රියා කළ අවධියක ලොව පහළවුණු තථාගතයන් වහන්සේ ආගම මිනිසා ගේ පොදු වස්තුවක් වශයෙන් කාටත් සාධාරණ ව නිදහස් කල්පනාවට අනුව ඇදහීමට ඉඩ සලසා දුන්හ. මානුෂික නිදහස උසස්, පහත්, කුලීන, කුලහීන කොයි කාටත් එකසේ සාධාරණ ව විඳීමේ අයිතිය බුදු දහමේ උදාවෙන් පසුව ලෝකයාට ලැබිණ. බුදු දහම කිසිවිටෙක මානුෂික නිදහසට හරස් නොවෙයි. නිදහස් හැඟුමෙන් පිබිදෙන්නට ඉවහල් වෙයි. ආත්ම විමුක්තිය සාක්ෂාත් කරගන්නට  අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ග එයින් උගන්වයි.

බුදුන් වහන්සේ ඉසිපතනාරාමයේ දී පස්වග තවුසන් මුල් කොට ඇති දස දහසක් සක්වළින් පැමිණි දෙව්බඹ පිරිස් මැද ධම්මචක්කප්පවත්තන සූත‍්‍රය දේශනා කරමින් මෙසේ වදාළහ. ”මහණෙනි, පැවිද්දකු විසින් අත්හළ යුතු අන්ත දෙකකි. එනම් ළාමක වූ ග‍්‍රාම්‍ය වූ පෘථග්ජනයන් විසින් පුරුදු කරන ලද අනාර්ය වූ අනර්ථයක්ම සිදු කරන්නා වූ වස්තු කාමයන් කෙරෙහි යම් කාමසුඛල්ලිකානු

යෝගයක් ඇද්ද, එසේම දුක් උපදන්නා වූ අනාර්ය වූ අනර්ථයක්ම සිදුකරන්නා වූ යම් අත්තකිලමථානුයෝගයක් ඇද්ද, මහණෙනි, මෙම අන්ත දෙකට නොපැමිණ බුදුරජාණන් වහන්සේ විසින් මධ්‍යම ප‍්‍රතිපදාව නම් ආර්ය මාර්ගය අවබෝධ කරන ලදහ. එම මග යෑමෙන් ප‍්‍රඥා ඇස පිරිසුදු කෙරෙයි. නුවණැස ඇති කෙරෙයි. එය කෙලෙසුන් සංසිඳීම පිණිස, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස, නිවන පිණිස හේතු වන්නේය, යනුවෙනි.

කොවිඞ් මාරක වසංගතය මැද ගතකරන මෙවන් කාලයක බුදුන් වහන්සේ දේශනා කළ ඒ උතුම් දහම අද ලෝකයටම යථාර්ථය බවට පත්ව ඇත. ඒ අනුව යමින් මධ්‍යම ප‍්‍රතිපදාව ප‍්‍රගුණ කර, තණ්හාව දුරුකොට ලෝකයේ පැවැත්ම උදෙසා කටයුතු කිරීමට මිනිස් වර්ගයා අද වැනි දිනක කල්පනා කළ යුතුව ඇත.

advertistmentadvertistment