මැද මුලනේ වාරණය!

3611
ජනාධිපතිවරණ ඡන්ද විමසීම ලබන සැප්තැම්බර් 17 වැනි දා සහ ඔක්තෝබර් 16 වැනි දා අතර දිනක පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක විසින් නිවේදනය කිරීමෙන් පසු දේශපාලන පක්ෂවල බලපොරය තරමක් උණුසුම් ස්වරූපයක් ගනිමින් තිබේ. එහෙත් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන පොදුජන පෙරමුණට තවමත් සිය අපේක්ෂකයා කවරෙක්දැයි නිශ්චිතව ප්‍රකාශ කිරීමට හැකි වී නැත. ඒ පිළිබඳව එම පක්ෂයේ ඇතැම් අය විසින් දක්වනු ලබන හේතු සාධක දෙස ප්‍රබුද්ධ ජනතාව බලන්නේ කිසියම් උත්ප්‍රාසයකින් බව ද පෙනේ. ඒ අතරම එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ තවමත් ජනාධිපතිවරණය පස්සට දමා මහ මැතිවරණය මුලින් පැවැත්වීමේ යෝජනාව බලාත්මක කිරීම සඳහා ප්‍රයත්න දරන බවට ද දේශපාලන ආරංචි පැතිර යයි. එබඳු උත්සාහයක් පොදුජන පෙරමුණට තිබෙන බව එම පක්ෂයේම මුල් පෙළේ නායකයන් විසින් කරනු ලබන ප්‍රකාශවලින් ද තහවුරු වේ. කුමක් වුවත් ජනාධිපතිවරණයට මුහුණදීම පිළිබඳ පොදුජන පෙරමුණට ගැටලු තිබිය හැකිය. එහෙත් පක්ෂයේ බොහෝ අය ජනතාවට පවසන්නේ තම පක්ෂයට ජනාධිපති අපේක්ෂකයන් කීපදෙනෙක්ම සිටින කතාවකි. ඇතැම් පසුපෙළ මන්ත්‍රිවරයෙක් පවසන්නේ ඒ සඳහා බොහෝ දෙනෙක් අවස්ථාව ඉල්ලා පොරකන බවකි. එහෙත් අද තිබෙන දේශපාලනය කුමක් ද? ඒවායේ වටිනා සමාජ ආර්ථික වශයෙන් සාධනීය කරුණු කෙතෙක් තිබේ ද? යන්නත් විමසන දේශපාලන සාක්ෂරතාවකින් යුතු සෑහෙන පිරිසක් සිටින බව ද අපට පෙනේ. එසේ වුව ද මේ වනවිටත් දේශපාලන වේදිකාවල මෙන්ම සමාජ හා ජනමාධ්‍යවල සිදුවන බොහෝ සංවාද – වාද විවාද පිළිබඳව නම් බොහෝ දෙනකුට ඇත්තේ අප්‍රසාදයටත් වඩා පිළිකුලකි.

ඉකුත් සතියේ සංවාදයට ලක්වූ ඩයනා ගමගේට ලැබුණු අධිකරණ නියෝගය මෙන්ම ඊට පෙර ජා.ජ.බ.යේ ලාල්කාන්ත විසින් ගමට අධිකරණ බලය ලබාදීම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය ගැන ද විවිධ දේශපාලන අර්ථකථන මෙන්ම බොළඳ බියගැන්වීම් ද ඇසුණි. මේ කරුණු දෙකම අපට තහවුරු කරන්නේ ලංකාවේ දේශපාලනයේ මුග්ධ හා නග්න විලාසය බව නිසැකය. ජනාධිපතිවරණය කේන්ද්‍ර කර ගනිමින් ඇතිවිය යුතු හරවත් දේශපාලන සංවාද අද නැත. ඇත්ත වසයෙන්ම මේවා ගැඹුරින් විග්‍රහ කර බැලීම ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරගැනීමට ද ඉවහල් වේ.

ඩයනා ගමගේට මන්ත්‍රී ධුරය අහිමිවීම ඓතිහාසික නඩු තීන්දුවක නියත ඵලයක් බව රටම පිළිගනී. එහෙත් අධිකරණයෙන් මෙපිට අපේ දේශපාලන පරිශ්‍රය තුළ මේ පිළිබඳව ගැඹුරු හැදෑරීමක් ඇති බවක් නම් නොපෙනේ. ඩයනා ගමගේ හා ස.ජ.බ. අතර ගොඩනැඟුණු දේශපාලන සබඳතාව කුමක් ද? ඇගේ පක්ෂය ස.ජ.බ.යට ලබාදීමත් එනිසා ඇයට ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුනක් ලබාදීමත් යනු, අප කවුරුත් දන්නා දේශපාලන පුවතය. ඩයනා හා ස.ජ.බ. අතර ගැටුමේ ආරම්භය ඇය මේ ආණ්ඩුවට සහාය දැක්වීමට ඉදිරිපත් වීම බව පැහැදිලිය. ස.ජ.බ.යෙන් බිඳී ඔවුන්ට නිර්දය විවේචනත් අවලාදත් නැඟීමට ඩයනා ක්‍රියා කළ ආකාරය ද රහසක් නොවේ. ඇයට රාජ්‍ය ඇමැති ධුරයක් හිමි වූයේ ද ස.ජ.බ.යට දේශපාලන ප්‍රතිචාරයක් දැක්වීමක් ලෙසය. එසේ නොමැතිව ඇගේ දේශපාලන විචක්ෂණභාවයක් හෝ සාධනීය යෝජනාවලියක් ඉදිරිපත් කිරීමක් නිසා හෝ නොවේ.

ස.ජ.බ.යේ ඇතැම් අයෙක් ඇයට ගලිබවුසරයකැයි අවමන් කළ ද ඒ හැම දෙනෙක්ම ඇගේ දේශපාලන පක්ෂයෙන් තේරී පත්වූවෝ නොවෙත්දැයි ඇය නැඟූ ප්‍රශ්නයේ ද පදනමක් තිබේ. ජනතාව ස.ජ.බ.යට මනාප ලබාදුන්නේ ඇයගේ මැදිහත්වීම නිසා නොවේ. එහෙත් දියවන්නාවට යෑමට ඒ පක්ෂය ප්‍රයෝජනයට ගත් බව පැහැදිලිය. වසර හතරක් ඇය මෙරටේ ජනතාවගේ මුදලින් නඩත්තු වූයේ ද පවතින ක්‍රමයේම අර්බුදයක් නිසාය. රටේ නීති සම්පාදනය කරනු ලබන උත්තරීතර ආයතනයකට පත්වන කවරකු වුව ද වංචනික හෝ නීති විරෝධී කෙනකු වීම බරපතළ තත්ත්වයකි. මෙහිදී ඩයනා ගමගේ දේශපාලන මෙවලමක් ලෙස භාවිත වී නැතැයි කිව හැකි ද? අද ස.ජ.බ.ය ප්‍රමුඛ සියල්ලෝම පව්කාරයාට ගල් ගසති. එහෙත් ඒ සඳහා ඔවුන්ගේ දෑත් පිරිසිදු නැති බව නම් පැහැදිලිව පෙනේ. ඇය චේතනාන්විතව තම පුරවැසිභාවය සැඟවූයේ ද? ඇගේ පිහිට පැතූ අය විසින් එය සඟවන ලද්දේ ද? යන ප්‍රශ්නය අද සමාජ දේශපාලන අංශවලින්ම මතු කෙරේ.

ස.ජ.බ. නායක සජිත් පසුගිය දිනක සඳහන් කර තිබුණේ, කෙකර ගෑ බබාට දුන් තීන්දුව අනෙක් අයට ද ලැබෙන බවය. ඒ කුමක් වුවත් අද දේශපාලන පක්ෂ මුහුණ දී තිබෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ මේ පිල්මාරුව කරන අයට නීතිය ක්‍රියාත්මක කිරීමට තිබෙන ක්‍රමවේදයේ අවුලය. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂ බවට කරන දිවුරුම් දීම හැර කිසිදු මන්ත්‍රීවරයකුට හෝ මන්ත්‍රිවරියකට සිය අනන්‍යතාව තහවුරු කිරීමේ අවශ්‍යතාවක් ද නැත. ද්විත්ව පුරවැසි තහනම ව්‍යවස්ථාවේ ඇතුළත් නීතියක් වුවත් එයට තැකීමක් නොකරන බව ඉතා පැහැදිලිය. දින කීපයකට පෙර පුවත් පතක ප්‍රධාන පුවත වූයේ ද තවත් එලෙස විදේශවල පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන් දහයක් පමණ සිටින බවය. ඒ හැර එබඳු උසස් නිලධාරීන් සිටින බවක් ද කියති. දින කීපයකට පෙර ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් යෝජනා කළේ, තම පක්ෂවල එබඳු අය නොමැති බවට ඒ පක්ෂවල නායකයන් ප්‍රකාශ කළ යුතු බවය. කුමක් වුවත් මේ වරද ඉදිරියටත් සිදුවිය හැකිය. කිසිදු පක්ෂයක් මෙතෙක් ඒ සම්බන්ධයෙන් ජනතාවට කිසිවක් ප්‍රකාශ කළ බවක් ද වාර්තා වී නොමැත.

ඩයනාගෙන් හිස් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයට කාන්තාවක් පත් කළ යුතු යැයි සමහරු යෝජනා කරති. එහෙත් එබඳු කාන්තා නියෝජනයක් සඳහා මෙරටේ දේශපාලන පක්ෂ ක්‍රියා කර නැත. මෙම පසුගාමී දේශපාලන චරිත අවංකවම එබඳු කාර්ය භාරයකට යොමුවිය හැකි ද? අද ඩයනාට එල්ල කෙරෙන ඇතැම් විවේචන ගැහැනුකමට අවලාද නැඟීමකි. ගැහැනියට සම අවස්ථා කෙසේ වෙතත් සාධාරණ අවස්ථාවක් ඉදිරියේ එන මැතිවරණයේදී හෝ ලබාදීමට ඉඩකඩ තිබේ ද? එහෙත් ඒ කාන්තා දේශපාලනයට ගරහන මුග්ධ පිරිස් අදත් සමාජ මාධ්‍යවල පවා සිටිති.

දැන් අප අවධානය යොමු කරන්නේ, ජ.වි.පෙ. ලාල්කාන්තගේ ප්‍රකාශය පදනම් කරගනිමින් ගොඩනැඟීමට වෑයම් කරන දේශපාලන භීතිය පිළිබඳවය. ස.ජ.බ.යේ හා පොහොට්ටුවේ කීපදෙනෙක්ම මෙය 88/89ට හා 1971 දක්වා රැගෙන යති. ජ.වි.පෙ. බියකරු අඳුරු අතීතය අද දේශපාලන වේදිකාවට රැගෙන එන්නේ ද ජනතාව බිය වැද්දීමටම බව ඉතා පැහැදිලිය. ඔවුහු මේ වනවිට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ධාරාවට එක්ව සිටිති. මෑතකදී අනුර කුමාර විසින්ම ඒ සම්බන්ධ විග්‍රහයක් පාර්ලිමේන්තුවේදීම කර තිබුණි. කුමක් වුවත් ලාල්කාන්තගේ අදහස පරණ ජේවීපී කාරයන්ට තුවක්කු ලබාදී නඩු ඇසීමට බලය ලබාදීමක් නොවන බව ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන විදග්ධ හා ශාස්ත්‍රාලීය දේශපාලන විචාරකයෝ ද පෙන්වා දෙති. ප්‍රකට දේශපාලන විචාරකයකු වන මහාචාර්ය ජයදේව උයන්ගොඩට අනුව, ලාල්කාන්තගේ යෝජනාව බැරෑරුම්ව සලකා බැලිය යුත්තකි. එසේම එය එදා ගම්සභා උසාවි ලෙස ද ක්‍රියාත්මක වූ ලංකාවට ආගන්තුක නොවූ ක්‍රමයකි. ඉන්දියාවේ තිබෙන පංඛයාත් ක්‍රමයේත් ග්‍රාමීය උසාවි ක්‍රමයක් තිබෙන බව ද ඔහු අවධාරණය කරයි. (මේ පිළිබඳව ශාස්ත්‍රීය විග්‍රහයක් ඔහු කර තිබේ.) මෙයට පරිබාහිරව මාලනී ඈඳගම (ඉතිහාස මහාචාර්ය) විසින් ‘ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය’ නමැති කෘතියෙහි ද එදා ගම්වලට අධිකරණ බලය ලබාදුන් ආකාරය පිළිබඳ ශාස්ත්‍රීය විග්‍රහයක් කර තිබේ. දේශපාලන වාචාලයන්ගේ මුග්ධ දෙඩවීම් පිළිනොගන්නා අයට ඒ පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිය. පුදුමයකට මෙන් නීතිඥයන් ලෙස සිටින සමහරු ද මේ කිසිවක් නොදැන බහුභූත දොඩවති.

අද මේ රටට වුවමනා දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රබල වෙනසකි. එහෙත් තවමත් ඒ වෙනසට අදාළ පුළුල් සංවාදයක් හෝ ගොඩනැඟී නැත. දේශපාලන ප්‍රභූ තන්ත්‍රයට එරෙහිව නැතහොත් එය පරාජයට පත් කළ යුතුය යන අදහස අද ඉදිරියට එමින් තිබෙන්නකි. ලිබරල්වාදීන්, නව ලිබරල්වාදීන් මෙන්ම ජාතිකවාදීන් හා විශ්වවිද්‍යාල හා වෘත්තිකයන්ගේ ක්ෂේත්‍රවල ද බහුතරයක් ඒ වෙනස අපේක්ෂා කරන්නෝය. අලුත් ජනවරමක් සහිත ජනතාවාදී හා අදූෂිත, අව්‍යාජ දේශපාලන සංස්කෘතියකින් විනා ලංකාව යථා තත්ත්වයට පත් කළ නොහැකි බව මේ විද්වත් පිරිස් මෙන්ම සාමාන්‍ය ජනතාවගෙන් බහුතරයක් ද වටහා ගනිමින් සිටිති. ජනාධිපති රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙළ කඩාකප්පල් වුවහොත් එනම් ඔහුගේ බලය අවසන් වුවහොත් රට බංකොලොත් වීමට හැකි බවට අනතුරු අඟවන පිරිසක් ද සිටිති. ඒ රනිල්වාදීන් හා රාජපක්ෂවාදීන් ප්‍රමුඛ ඒ දේශපාලන ව්‍යාපෘතිවල අනුගාමිකයොය. අද පැරණි වැඩවසම් දේශපාලන ප්‍රභූ තන්ත්‍රය වඩාත්ම බිය වී සිටින්නේ ද මෙතෙක් කාලයක් ඔවුන් සතුව තිබුණු බලය ගිලිහී යා හැකි යැයි හැඟීයෑම නිසාය. මධ්‍යම පන්තිය ඇතුළු ග්‍රාමීය ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීමට ආණ්ඩුවත් එහි පාර්ශ්වකරුවන් වන පොදුජන පෙරමුණත් දරන උත්සාහය ඉතා පැහැදිලිය. ඇත්ත වශයෙන්ම රාජපක්ෂ කඳවුර මෙන්ම ඒ සියලු දේශපාලන ප්‍රභූ තන්ත්‍රයම අද තිගැස්සීමකට පත්ව සිටින්නේ ද ජා.ජ.බ.යට ලැබෙන ජනතා අවධානය නිසාය. ඔවුන් සමඟ ප්‍රතිපත්තිමය විවාදයකට නොයන ඒ අය ලාල්කාන්ත හෝ වෙනත් ජ.වි.පෙ. වේදිකාවකින් ගිලිහෙන ප්‍රකාශයක එල්ලීම පුදුමයක් ද නොවේ. දැන් ජේ.වී.පී. ලේ ගැන ද කතා කරයි.

87-89 යුගයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ උමතු හා තිරශ්චීන හැසිරීම් අපි දෑසින්ම දුටුවෙමු. එසේම ඒ භීෂණය තුළ රාජ්‍ය බලය ද ක්‍රියාත්මක වූ බව ද අපට මතකය. දැන් එබඳු සාහසිකත්වයක් සඳහා කිසිවකුට යා නොහැකිය. සංවාදශීලිව විවේචනය නොඉවසන පොහොට්ටුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ට වඩා වෙනස් බුද්ධිමය තලයක සංවාදයක් අද ජනතාව දේශපාලනඥයන්ගෙන් අපේක්ෂා කරති. දේශපාලන වහලුන් නොවන, පොත පත කියවන තරුණ පරපුරක් ද තවමත් සිටිති. මෑතකදී මැක්සිම් ගෝර්කිගේ අම්මා කෘතියෙහි නීලව්නා (මව) හා පාවෙල් (පුතා) අතර වූ සංවාදයක් ද මුහුණුපොතෙහි උපුටා දක්වා තිබුණි. අම්මාට පිළිතුරු දෙන පාවෙල් කියන්නේ ‘අපේ ජීවිත මෙතරම් දුක්බර ඇයි ද යන්න අප දැනගත යුතු බවය. තේරුම්ගත යුතු බවය. අද දුප්පත්කමින් හා වෙනත් දහසක් පීඩාවලින් ද බැටකන දුප්පතුන්ගේ ලෝකයක් නිර්මාණය කරනු ලැබ ඇත්තේ වංචනික හා දූෂිත දේශපාලන හා වෙළෙඳ ආධිපත්‍ය විසිනි. මෙරටේ සාමාන්‍ය පවුලකට මාසිකව රුපියල් ලක්ෂයක් වුවමනා බව වාර්තාවක සඳහන් විය. මේ පහළ ජන කොටස්වලට තබා මධ්‍යම පන්තියට ද ඔරොත්තු නොදෙන ඉසිලිය නොහැකි බරකි. ජනාධිපති රනිල් මෙරටේ ඉන්ධන හා ගෑස් පෝලිම් නැති කර ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ආ බවට අප්‍රමාණ පැසසුම් ලබාදෙයි. එහෙත් යම් හෙයකින් අපට ණය ගෙවීමට සිදුවුවහොත් උදාවන තත්ත්වය කුමක් ද? එසේම පෝලිම් නැති වුව ද ඒ භාණ්ඩවල මිල දෙගුණ තෙගුණ වී තිබෙන බව ද සමහරුන්ට අමතකය. විදුලිය, වතුර බිල් ඉහළ යෑමේ විපාක ඉතා සාහසිකව පොදු ජනයාට බලපා තිබේ. ජනාධිපති රනිල්ට ප්‍රමාණවත් ප්‍රශංසාවක් ලැබිය යුතුය. එහෙත් රටේ ආර්ථිකයේ අනතුර පහවී තිබේ ද?

මැද මුලනේ වාරණය!

චෞර වෙළෙඳ මගඩි ගැන විවිධ වාර්තා තිබේ. අල, ලූනු, හාල්මැස්සන්වලින් පමණක් කෝටි ගණන් උපයා ගත් බව හෙළි විය. පසුගියදා වීසා ගාස්තු ඉහළ දැමීම මහ බැංකු වංචාවටත් වඩා හොර මගඬියකැයි චෝදනා නැඟෙයි. දූෂණ, වංචා, අක්‍රමිකතා ගංවතුරක් සේ ගලා යයි. රටේ ආර්ථිකය බිඳ වැටීම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ටත්, ඇතැම් නිලධාරීන්ටත් ලබාදෙන ලද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ද තිබේ. එසේම එදා රාජපක්ෂ පාලනයට එරෙහිව නැඟුණු ජනතා විරෝධය හෙවත් ගාලුමුවදොර අරගලය අද ඒ පාලකයන්ට මෙන්ම ජනාධිපති රනිල්ට ද අමතකය. ඒ අරගලය පිළිබඳ ආණ්ඩුවත් රාජපක්ෂ කඳවුරත් මවන කළු චිත්‍රය විනා එයට සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වීම සාධාරණ යැයි කිව හැකි ද? ඔවුන්ගේ අභිලාෂය, අපේක්ෂාව යටපත් කර ඔවුන් අශිෂ්ට, අසංස්කෘතික පිරිසක් ලෙස අවලාද නැඟීම අදත් සිදුවේ. එහෙත් කිසිදු දේශපාලනයක අතකොළුවක් නොවී අසාධාරණය වෙනුවෙන් හඬ නැඟූ ඔවුහු මේ ක්‍රමය වෙනස් විය යුතු බව ද කියා සිටියහ. අලුත් දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටියහ. ඔවුන් හෙළා දුටුවේ පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාමය. ඒ අරගලය වනචරයන්, ඝාතකයන් අතට ගිය පමණින් ඒ සියලු දෙනාම එකම මිම්මකින් මැනීම සාධාරණ නොවේ. එහෙත් මේ වනවිට ඒ විරෝධතාවට තුඩු දුන් සමාජ දේශපාලනයත් ප්‍රභූ තන්ත්‍රයත් යළිත් කෙබඳු ක්‍රමයකින් හෝ බලය ලබාගැනීමට සන්ධාන හා කඳවුරු බඳිමින් සිටින බව පෙනේ.

මේ රටේ ජනතාව අඩු වැඩි වශයෙන් වන්දි ගෙවන්නේ පාලකයන්ගේ පව්වලටය. කිසිම දිනක ගුවන්තොටුපළක්වත් නොදුටු ජනයාත් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ අලාභවලට හා දූෂණවලට මුදල් ගෙවති. හම්බන්තොට වරාය ගැන එදා ඒ ආණ්ඩුවේ නායකයන් පැවසුවේ, අපේ මුහුදු සීමාවෙන් ගමන් කරන නැව්වලට ජලය ලබාදුන්නත් ඒ මුදලින් රට ගොඩනැඟිය හැකි බවය. එහෙව් හම්බන්තොට වරාය යහපාලන සමයේ අගමැතිව සිටි රනිල ්චීනයට වික්කේය. ජනතාව තවමත් ඒ ණය ගෙවති. මෙබඳු පූචානම් කතා හා දේශපාලන ඇන්දවීම් අදත් සිදු නොවේ ද?

ජනාධිපති රනිල් තාක්ෂණය ගැන කෘත්‍රිම බුද්ධිය ගැන කතා කරන ලෝකයට විවෘත වූ නායකයෙකි. එහෙත් අපේ ජනතාවට මේ තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය යනු, අලංකාර කතා පමණි. ස.ජ.බ. නායක සජිත් පාසල්වලට සුහුරු පන්ති කාමර ලබා දෙමින් මේ පවතින අධ්‍යාපනය වෙනස් කරන බවට පොරොන්දු පවා ලබාදෙයි. නිදහස් අධ්‍යාපනය සඳහා සියයට හතරකට වඩා වෙන්කර නැති රටක අධ්‍යාපනය ගැන කවර කතා ද? කෙත සකසා වී පොහොර ටික හා බොහෝවිට ජලයත් නැතිව දෙස් දෙවොල් නඟන ගොවියෝ අප්‍රමාණව සිටිති. වී මෝල්ලු ඔවුන්ගේ අස්වනු ගිලිති. මේ කිසිවක් කෙරෙහි සංවේදී නොවන කෘෂිකර්ම ඇමැති ශ්‍රීල.නි.ප.ය බලාත්මක කිරීමේ සටනකට මැදිව සිටියි. ඩාලි පාරෙන් තවත් කොතැනක හෝ තැනකත් අද දෙපළු වී සිටින ශ්‍රී ලංකාකාරයන්ගේ රැඟුම් බලා විනෝද වීමට ජනතාවට හැකි වී තිබේ. කුමක් වුවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ද එක්ව මේ ජාතික සංස්කෘතික බලවේගය නිෂ්ක්‍රීය කර දැමූ විට පාක්ෂිකයන්ට සිදුවන්නේ එයට පාංශුකූලය දීම පමණි.

මේ අතර පොදුජන පෙරමුණේ නායක මෙන්ම හිටපු ජනාධිපති මහින්ද විසින් නිකුත් කරන ලද නිවේදනය පිළිබඳව ද අපගේ අවධානය යොමුවිය යුතුය. එහි හරය වන්නේ එළැඹෙන ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පත්වන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන තිබෙන සියලු පියවර අත්හිටුවිය යුතු බවය. මේ සමස්ත නිවේදනය තුළ අද බොහෝදෙනකු විසින් මැනවැයි හිස මුදුනේ තබාගෙන සිටින ආර්ථික හා මූල්‍ය උපාය පිළිබඳ සියුම් විවේචනයක් ද ගැබ්ව ඇතැයි අපට පෙනේ. තම පාලන සමය තුළ ආර්ථික කළමනාකරණය නිසි අයුරු සිදු වූ අතර කිසිවකු රජයේ දේපොළ හා ව්‍යාපාර පුද්ගලීකරණය කිරීමක් පිළිබඳව කතා කළේවත් නැති බව ද මහින්දගේ නිවේදනයේ අවධාරණය කර ඇත. එසේම වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභයගේ ධුර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලීන වැඩපිළිවෙළක් බව ද ඔහු පෙන්වා දෙයි. මෙවන් අවස්ථාවක රාජ්‍ය දේපොළ කඩිමුඩියේ විකුණා දැමීමෙන් රටට වැඩදායක ප්‍රතිඵලයක් ලබාගත නොහැකි බව ද එහි සඳහන් වේ. එසේම ඊළඟ ජනාධිපතිවරණය ජයගන්නා පාර්ශ්වයට ඔවුන්ට ලැබෙන ජනවරම අනුව රජය සතු දේපොළ හා ව්‍යාපාර සම්බන්ධයෙන් කටයුතු කළ හැකිය යන අවධාරණය ද එහි වේ.

මෙය රටේ හා ආර්ථිකයේ ස්ථාවර බවත් දේශපාලන හා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව පිළිබඳ යථාවබෝධයකිනුත් කරන ලද අගනා නිවේදනයකි. දැනටමත් මේ ආණ්ඩුව කටයුතු කිරීමට සැරසෙන්නේ යන යකා කොරහත් බිඳගෙන යන තාලයටදැයි සමහරු ප්‍රශ්න කරති. ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරණයක දොරකඩ ලහිලහියේ ඇතැම්විට වග විභාගයකින් තොරව වුව ද එබඳු ක්‍රියාකාරකම් සිදුවුවහොත් බරපතළ ප්‍රශ්නයකි. දැනටමත් ආණ්ඩුව සූදානම් වන කටයුතු සම්බන්ධයෙන් වුව ද විවේචන තිබේ. පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල සංවර්ධන කටයුතු සඳහා ආණ්ඩුවට හරිම හදිසියක් ඇති බව පෙනේ. ප්‍රජා උපදේශක සභා පිහිටුවීම් ද දැඩි විවේචනයට ලක්ව ඇත. ආණ්ඩුවේ උරුමය, හාල් සහන මල්ල, වතු කම්කරු වැටුප් නැංවීම ඉතා යහපත් මෙන්ම සාධාරණ යෝජනාවන්ය. එහෙත් ජනාධිපතිවරණ තරගයක් පෙනෙන තෙක් මානයක ජනතා මුදලින් වුව ද එබඳු දේ සිදු කිරීම ප්‍රශ්නකාරී වේ. පළාත් පාලන සීමා තුළ උපදේශක සභා පිහිටුවීම පැෆරල් සංවිධානය ද නොඉවසයි. විපක්ෂය ද එයට එරෙහිව කරුණු දක්වයි.

මහින්දගේ නිවේදනයෙහි මේ ආණ්ඩුව අන්තර්කාලීන වැඩපිළිවෙළක් බව සිහිපත් කරන්නේ ජනාධිපතිට මෙන්ම කැබිනට් මණ්ඩලයටම ඉතා වැදගත් උපදේශයක් ලෙසය. ජනවරම පිළිබඳ කරන සඳහන ද එබඳුය. ජනාධිපති රනිල් මෙන්ම ඇතැම් ඇමැතිවරුන් සම්බන්ධයෙන් නීතිඥ සාමුහිකය, සිවිල් සංවිධාන හා ප්‍රබුද්ධ පුරවැසියන්ගේ විවේචන ද තිබේ. මහින්ද ඒවා සිහිපත් කරන්නේ මැදමුලනෙන් එන වාරණයක් ලෙස නොව, එළැඹෙන දේශපාලන වාතාවරණයට උචිත පසුබිමක් සැකසීමට බව ද අපට හැඟේ.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment