මට මල්ලිත් එක්ක ඉස්කෝලෙ එන්න ආසයි… විදුහල විසින් අවසන් ඉල්ලීමත් ඉටුකරයි....
පුතා පාසල් නොගිය කියන අඩුව දැනෙන්න දුන්නෙ නැහැ…..
පිළියන්දල විමල් පෙරේරා මාවත පදිංචි 14 හැවිරිදි පාසල් දරුවකු වූ තෙසත් රන්දිය පස්යට මිහිදන්ව ගොස් මේ වනවිට මාසයකුත් දින කීපයක් ගත වී ඇත. පෙති දෙපෙති විහිදුවමින් සුවඳ දුන් මල් කැකුළක් බඳු වූ තෙසත් රන්දිය වේලාසනම තම දිවි ගමන නිමාවට පත් කරන්නේ දරුණු ලියුකේමියා රෝගී තත්ත්වයකට ගොදුරු වීමෙන් අනතුරුවය. මාරක පිළිකා රෝගයට ගොදුරුව ඔහු ඉකුත් පෙබරවාරි 05 වැනි දින මෙලොව හැරයන්නේ අනුවේදනීය මතකයන් රැසක් ඉතිරි කර තබමින්ය.
තෙසත් රන්දිය ගේ මරණය යළි යළිත් රිදුම් උපදවන සුළු මතකයක් බවට පත්වන්නේ එබැවින්ය. ඔහුගේ වියෝවත් සමග රන්දියගේ දෙමාපියන් හට මෙලොව වටිනාම වස්තුවක් අහිමි වන අතර රන්දියගේ මල්ලීට දැන් අයියා කෙනෙක් නැත. මේ වනවිට ඔවුන් තුළ ඉතිරිව ඇත්තේ රන්දිය පිළිබඳ සදානුස්මරණීය මතකයක් පමණය. එපමණක් නොව රන්දිය අධ්‍යාපනය ලද කොළඹ තර්ස්ටන් විදුහල ද රන්දිය නොමැති අඩුවෙන් තවමත් සෝබරය. ඊට ප්‍රධානම හේතුව නම් කොළඹ තර්ස්ටන් මුතු පොටෙහි අනිගි මුතු කැටයක් වූ රන්දිය තවදුරටත් එම විදුහල් භූමිය තුළ, පන්ති කාමරය තුළ දැකගත නොහැකි වීමය. රන්දිය තවදුරටත් ජීවත්වනු දැකීම පිණිස වෙහෙස වූ ඔහුගේ දෙමාපිය යුවළ සහ පවුලේ ඥාතිවරුන් හැරුණු කොට තව දිනක් හෝ ඔහු ජීවත්කරවීම පිණිස ඉමහත් වෙහෙසක් ගත් පිරිස අතරට මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය මෙන්ම කොළඹ තර්ස්ටන් විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය, සිසු දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ද අයත්ය.


ඔහු තවදුරටත් ජීවත්වනු දැකීම පිණිස රන්දිය අධ්‍යාපනය ලද කොළඹ තර්ස්ටන් විදුහල ගත් වෙහෙස ලියා තැබිය යුත්තේ එය රටට පරමාදර්ශයක් සැපයූ කතාවක් වීම හේතුවෙන්ය.
රන්දිය මේ වනවිට ජීවතුන් අතර නැතත් රෝගී තත්ත්වයට පත්වූ පසුව රන්දියත් තර්ස්ටන් විදුහලත් අතර වූ බැඳීම මෙහි සටහන් කරනු ලබන්නේ රන්දියට කරනු ලබන ගෞරවයක් පිණිසය. අපගේ ඉල්ලීමක් මත රන්දියගේ අවසන් මාස කීපය ගතවූ ආකාරයත් ඒ අතරතුර රන්දිය හා තර්ස්ටන් විදුහල අතර පැවති නොබිඳුන සම්බන්ධයත් පිළිබඳ අප හා විස්තර කර සිටියේ ඔහුගේ පන්ති භාර ආචාර්යවරිය මෙන්ම තවත් අම්මා කෙනෙකු මෙන් රන්දිය සමීපයේ හුන් නවෝද්‍යා හිරුමිණී පෙරේරා ගුරුතුමිය විසින්ය.
“රන්දිය 8 ශ්‍රේණියෙන් සමත් වෙලා 9 ශ්‍රේණියට එන්න හිටිය දරුවෙක්. නමුත් දෛවය ඊට අවස්ථාවක් දීලා තිබුණේ නැහැ. ඒ දරුවා මගේ පන්තියේ ශිෂ්‍යයෙක් වෙන්න පෙර online හරහා මගෙන් ඉගෙන ගෙන තිබුණා. කිසිම දෙයක් අතපසු නොකළ දක්ෂ දරුවන් අතරින් එක් අයෙක් විදිහට තමයි ඒ වෙද්දි මම රන්දිය හඳුනගෙන තිබුණෙ. නමුත් පන්ති කාමරය ඇතුළේ ඒ දරුවගේ මුහුණ බලාගෙන උගන්වන්න මට අවස්ථා ලැබිලා තිබුණෙ නැහැ. මොකද ඔහු 9 ශ්‍රේණියට සමත් වුණත් රෝගී තත්ත්වය හේතුවෙන් පාසලට පැමිණීමට අවස්ථාව හිමිවෙලා තිබුණේ නැහැ. මම හැමදාම නාම ලේඛනය ලකුණු කරද්දී මේ දරුවගෙ නම ඉදිරියෙන් බිංදුව සලකුණු කරනවා. ඒ විතරක් නොවෙයි, මට මේ දරුවගෙ නම හොඳින් මතකයේ හිටිනවා. ඔහොම ටික දවසක් ගත වෙද්දී මගේ පන්තියේ දරුවන්ගේ අම්මලා තමයි මට කිව්වෙ රන්දිය පුතා දරුණු රෝගයකින් පීඩා විඳිනවා කියලා. ඒ දරුවගෙ පන්ති භාර ගුරුතුමිය විදිහට මම ඒ ගැන හොයලා බැලුවා. එතනදී තමයි දැනගත්තෙ ඒ දරුවා ලියුකේමියා රෝගයෙන් පීඩා විඳිනවා කියලා. ඒ ආරංචිය ලැබුණ ගමන් මම ගිහින් විදුහල්පතිතුමා මුණගැහිලා ඒ බව දැනුම් දෙනවා. එතනදී අපේ විදුහල්පතිතුමා කියනවා ඒ දරුවා වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම කරමු කියලා. එතන ඉඳලා රන්දිය මිය යන දවස දක්වාම අපි ඒ දරුවාව සතුටින් තබන්න පුළුවන් හැම දෙයක්ම කළා.” ඔය අතරතුර පසුගිය අගෝස්තු මාසෙ 30 වැනිදා රන්දිය පුතා එයාගෙ අම්මා තාත්තාත් එක්ක විදුහලට ආවා. ඒ වෙලාවෙත් විදුහල්පතිතුමා ඒ දරුවගෙ දෙමාපියන්ගෙන් ඇහුවා විදුහලෙන් යමක් වෙන්න තියෙනවා නම් කියන්න කියලා. ඒ වෙද්දී රන්දියට මේ අසනීපය හැදිලා මාස කීපයක් ගත වෙලා තිබුණා. ඒ වෙලාවෙ රන්දියගෙ දෙමාපියන් අපෙන් ඉල්ලීමක් කළා දරුවා ඉගෙන ගන්න ආසයි ඒ පැත්තෙන් කරන්න පුළුවන් දෙයක් කරන්න කියලා. එතනදී විදුහල්පතිතුමා මට කිව්වා පන්ති භාර ගුරුතුමිය ලෙස ඒ දරුවා ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා.”
තර්ස්ටන් විදුහලේ 9-D ශ්‍රේණිය පන්ති භාර ගුරුතුමිය නවෝද්‍යා හිරුමිණී එතැන් සිට රන්දියට දෙවැනි මවක් වෙමින් ඔහු පිළිබඳ සොයා බලන්නටත් නිතර නිතර දුරකථනය හා සම්බන්ධ වෙමින් සුවදුක් විමසීමත් පුරුද්දක් බවට පත් වන අතර ඉඩක් ලද විගස මහරගම අපේක්ෂා රෝහලට ගොස් රන්දියගේ සුවදුක් සොයා බැලිමටත් කටයුතු කරනු ලබන්නේ එය රෝගී වී සිටින රන්දිය වෙනුවෙන් පාසලෙන් ඉටුවිය යුතු යුතුකමක් සේ සලකමින්ය. එය කොතරම් දැඩි ගුරු – ගෝල සම්බන්ධයක් ද යන්න මැනවින් පැහැදිලි වන්නේ ඒ පිළිබඳ රන්දියගේ පන්ති භාර ගුරුතුමිය විසින් පවසා සිටින දෙයත් සමගය.

“මම පුතා එක්ක නිතර නිතර දුරකථනයෙන් සම්බන්ධ වීමත් එක්ක එයා ලොකු සතුටක් ලැබුවා. එයා නිතරම අධ්‍යාපනය ගැන කතා කළා. ඒ වගේම එයාට හැදිලා තියෙන අසනීපය ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඇත්තටම හුඟක් බුද්ධිමත් දරුවෙක්. දවසක් දුරකථනයෙන් කතා කරමින් ඉන්න වෙලාවක ඒ පුතා මගෙන් ඇහුවා එයා ළඟ නතර වෙලා ඉන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවෙ පුතා සම්බන්ධයෙන් මගේ හිතේ ලොකු අනුකම්පාවක් ඇති වුණා. මම විදුහල්පතිතුමා මුණගැහිලා මේ බව දැනුම් දුන්නා. ඒ විස්තරයට සවන් දුන්න විදුහල්පතිතුමා මට කිව්ව ප්‍රශ්නයක් නෑ. ඒ දරුවගෙ අහිංසක ඉල්ලීම ඉටු කරන්න කියලා.” ඒ අනුව පන්ති භාර ගුරුතුමිය වන නවෝද්‍යා හිරුමිණී නැවතත් මහරගම අපේක්ෂා රෝහල බලා පිටත්ව යන්නේ රන්දියගේ ඉල්ලීම ඉටුකිරීම පිණිසය. එදින තම රෝගී තත්ත්වය ගැන පවා නොතකමින් රන්දිය මහත් සතුටින් කල්ගත කළ දිනයක් බවට පත්ව ඇත.
“රන්දිය එදා ගොඩක් සතුටින් හිටියා. එයාගේ තාත්තා දවල්ට රන්දිය බලන්න එද්දි බත් පාර්සල් දෙකක් ගෙනත් තිබුණා. එකක් රන්දියට. අනික මට. එදා රන්දිය මගෙන් ඇහුවා එයාගෙ බත් එක අනලා කවන්න පුළුවන්ද කියලා. මම පුළුවන් කියලා කිව්වට පස්සෙ රන්දිය නැවත සැරයක් කිව්වා ‘ටීචර් කාලඉන්න. ඊට පස්සෙ මට කවන්න” කියලා. එයා එහෙම දරුවෙක්. ගුරුවරු හැමෝටම ඉහළ ගෞරවයක් දැක්වූ දරුවෙක්. ඒ වගේම අතට හසුවෙන ඕනම දෙයකින් මොකක් හරි අලුත් නිර්මාණයක් කිරීමේ සහජ හැකියාවක් තිබුණ දරුවෙක්. මම දවල් කෑම එක එයාට කැව්වට පස්සෙ එයා මගෙත් එක්ක එකතු වෙලා කඩදාසි යොදා ගනිමින් ලස්සන නිර්මාණ කීපයක් කළා. ඉස්කෝලෙ විස්තර එයාගෙ යහළුවන්ගේ විස්තර ආදිය සම්බන්ධයෙන් මාත් එක්ක දිගින් දිගටම කතා කළා. ඒ අතරේ එයාගෙ අසනීපය ගැනත් බොහෝ දේ සඳහන් කළා. රන්දිය එක වෙලාවක කිව්ව එයාට හැදිලා තියෙන්නෙ දුර්ලභ ලියුකේමියා රෝගයක් බවත්, ඒ රෝගයට ගොදුරු වන අයගෙන් තවදුරටත් ජීවත්වෙන්න වාසනාව ලැබෙන්නේ සිය දෙනකුගෙන් එක් අයකුට පමණක් බවත් රන්දිය දැන ගෙන හිටියා.”

රන්දිවය වෙනුවෙන් තර්ස්ටන් විදුහල සිදු කළ සත්කාර එතෙකින් නිමවන්නේ නැත. වරක් තම පන්ති භාර ගුරුතුමිය හා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වන රන්දිය එහිදී සඳහන් කර සිටින්නේ තමන්ට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වන්දනාමාන කර ගැනීමේ ආශාවක් තමන් තුළ පවතින බවය. රෝගී රන්දිය විසින් කරන ලද ඉල්ලීමට සංවේදී වන තර්ස්ටන් විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය විසින් එම ඉල්ලීම ද ඉටුකළ බව අප හා පවසා සිටියේ රන්දියගේ පන්ති භාර ගුරුවරිය විසින්ය.
“මට මතක හැටියට පසුගිය අවුරුද්දෙ නොවැම්බර් මාසෙ එක්තරා දවසක තමයි රන්දිය විසින් ඒ ඉල්ලීම කරන්නෙ. විදුහල්පතිතුමා මට කිව්වා ආචාර්ය මණ්ඩලයේ තවත් කීප දෙනෙක් එක්ක හරි ඒ ගමන ගිහින් එන්න ඒ සඳහා අවශ්‍ය පහසුකම් විදුහල්පතිතුමා විසින් හදලා දෙන්නම් කියලා. රන්දිය ඇතුළු එයාගෙ පවුලෙ හතර දෙනයි, අපේ ආචාර්ය මණ්ඩලයේ ඉන්න සීලවිමල ස්වාමීන් වහන්සේ ඇතුළු තවත් කීපදෙනකුයි එදා අනුරාධපුර ගමනට එකතු වුණා. ජය ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය වන්දනා මාන කරද්දි රන්දිය හුගක් සතුටු වුණා. ආපසු කොළඹ එද්දී එයාගෙ ගමේ පන්සලට පූජා කරන්න ලස්සන බුදුපිළිමයක් මිලට ගන්න ඕන බව සඳහන් කළාට පස්සෙ ඒ ඉල්ලීමත් අපි ඉටුකරලා දුන්නා.”
දිනෙන් දින මරණය කරා ළංවන දරුණු ලියුකේමියා තත්ත්වයකින් පසු වූ රන්දිය ජීවිතයට මුහුණ දෙන්නේ ඒ ආකාරයෙන්ය. 14 හැවිරිදි සුරතල් වියෙහි පසු වූ රන්දිය රෝහල තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන සෑම අවස්ථාවකම කුමන හෝ නිර්මාණයකින් ඔහු නේවාසිකව ප්‍රතිකාර ගත් වාට්ටුව අලංකාර කිරීම හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් හෙද හෙදියන් පවා රන්දියගේ හොඳම මිතුරන් බවට පත්ව ඇත. කාලය ක්‍රමයෙන් ගෙවී යමින් පවතිද්දී දිනක් තර්ස්ටන් විදුහල්පති දුරකථන මාර්ගයෙන් රන්දිය අමතන අතර එහිදී රන්දිය තම විදුහල්පතිතුමා අමතමින් සඳහන් කර සිටින්නේ තම එකම මල්ලී සමග නැවතත් පාසලට පැමිණීමේ ආශාවක් තමන් ුතුළ පවතින බවය.
“රන්දිය දවසක් විදුහල්පතිතුමාට එහෙම කියලා තිබුණා. ඒ වෙද්දී රන්දියගේ රෝගී තත්ත්වය ඉතාමත් අවදානම් තැනක තිබෙන බව එයාගෙ දෙමාපියන් මෙන්ම අපේ විදුහල්පතිතුමා ඇතුළු අපිත් දැනගෙන හිටියා. එදා නොවැම්බර් 29 වැනිදා. රන්දිය එයාගෙ මල්ලිත් එක්ක පාසලට ආව අවසන් දවස. එදා 9 ශ්‍රේණිය වාර විභාගය පැවැත්වූ දවසක්. ඒ වැඩ කටයුතු අතරතුර චාම් උත්සවයක් පවත්වලා රන්දිය සහ එයාගේ මල්ලිව පිළිගන්න අපි කවුරුත් සූදානමින් හිටියා. ඒ විතරක් නොවෙයි මල්ලිත් එක්ක ඉස්කෝලෙ එන්න ආසයි කිව්ව රන්දියගෙ මල්ලීව තර්ස්ටන් විදුහලට ඇතුළත් කර ගන්න අවශ්‍ය වටපිටාවත් ඒ වෙද්දි විදුහල්පතිතුමා විසින් සකස් කරලා තිබුණා. ඒ බව දැනගත්ත වෙලාවේ රන්දිය එයාගෙ ජීවිතයේ ලොකුම සතුටක් ලබපු දවසක් බවත් ඒ ඇස් දෙකේ සටහන් වෙලා තිබුණා.”

ඒ අනුව රන්දියගේ මලනුවන් වන සෙතුල දනුසරට කොළඹ තර්ස්ටන් විදුහලේ 03 ශ්‍රේණියට ඇතුළත් වීමේ වරම් හිමි වී ඇත. විදුහල විසින් එවැනි තීරණයක් ගනු ලබන්නේ රන්දිය සතුටින් තැබිම පිණිසය. එවැනි දේ තුළින් රන්දිය ලද සතුට නිම්හිම් නැති බව අප හා සඳහන් කර සිටියේ රන්දියගේ මෑණියන් වන ඩිලිනි උදානී මහත්මිය විසින්ය. තම සුරතල් වැඩිමහල් පුතුගේ අකල් වියෝවෙන් තවමත් පීඩා විඳින ඇය ඉහළට ගත් හුස්මක් සුසුමක් කොට මුදාහරිමින් සිය පුතනුවන් පිළිබඳ සිහිපත් කරන්නට විය.
“පුතාට මාරක ලියුකේමියා තත්ත්වයක් තියෙනවා කියලා අපි දැනගත්තෙ පහුගිය වසරේ අප්‍රේල් මාසෙ 17 වැනිදා. එදා වෛද්‍යවරු කිව්ව ඒ රෝගයට බෙහෙත් නැහැ. අපි උත්සාහ කරමු කියලා. එදා අපේ ලෝකය ගිනි ගත්ත දවසක්. පුතා ඉගෙන ගත්තෙ තර්ස්ටන් විදුහලේ 09 ශ්‍රේණියෙ. මේ ආරංචිය විදුහලට ගියාට පස්සෙ විදුහල්පතිතුමා ඒ වගේම පුතාගේ පන්ති භාර ගුරුතුමිය පුතාව බලන්න ආව ගියා. පුතා මිය යන තුරුම එයා ඉස්කෝලෙ ගියෙ නැහැ කියන අඩුව එයාට දැනෙන්න දුන්නෙ නැහැ. විදුහලක් ලෙස පුතා වෙනුවෙන් කරන්න තියෙන සියලුම දේ තර්ස්ටන් විදුහල විසින් ඉටු කළා.
පුතාව සතුටු කරන අදහසින් එයාගේ මල්ලිව තර්ස්ටන් විදුහලට ඇතුළත් කර ගන්න තරමට විදුහල අපට කරුණාවන්ත වුණා. විදුහලේ 73 වන සංවත්සරය වෙනුවෙන් වෙන් කළ මුදල් පවා මගේ ලොකු පුතා වෙනුවෙන් යොදවන්න තරම් ඒ කාරුණික බව දුරදිග ගියා. විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය ඒ වගේම සිසු දරුවන් විශේෂයෙන්ම තර්ස්ටන් ආදී ශිෂ්‍ය සංගම් සාමාජිකයන් මේ හැම දෙනෙක්ම අපට උදව් කළා. ඒ වගේම අවසන් මොහොත දක්වාම මගේ පුතාගේ ජීවිතය රැක ගන්න මහත් වෙහෙසක් ගත් මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් හෙද හෙදියන් මේ හැම දෙනාම අපට උදව් කළ බවත් මේ වෙලාවෙ මතක් කර සිටිනවා.”
ඇයව තවදුරටත් වෙහෙසට පත් කළ යුතු නැත. පුතු වියෝවෙන් උපන් කම්පනය තවමත් ඇය තුළින් පහව ගොස් නැත. ඉහත සියලු උත්සාහයන් කෙලවර ඉකුත් පෙබරවාරි මස 05 වන දින තෙසත් රන්දිය සදහටම නෙත් පියා ගන්නෙ ජීවිතය යනු තන අග පිණි බිඳක් බව යළි යළිත් පසක් කරවමින්ය. අවසන් වශයෙන් ද ලියා තැබිය යුතුය. මේ සා විසල් සංග්‍රහ සත්කාර මැද රන්දිය මෙලොව හැර යන්නේ රට තුළ තවමත් ශිෂ්ඨ සම්පන්න සහ සහකම්පනයෙන් යුත් අධ්‍යාපන ක්‍රමයක් සහ එය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑම පිණිස උරදෙන දිසාපාමොක් පරපුරක් ජීවත්වන බවට මුද්‍රාවක් තබමින්ය.
රුවන් ජයවර්ධන