මැරෙන Date එක

1377

රටේ ප‍්‍රධාන සතුරා බවට කොවිඞ් 19 මස්තකප‍්‍රාප්ත වී ඇති මේ අවස්ථාවේදී රට වැසීම සහ නොවැසීම යන අන්ත දෙකෙහි එල්ලී දේශපාලනඥයෝ ඔන්චිලි පදිති. මනුෂ්‍යයන් වශයෙන් අප හොඳින්ම දන්නා දෙය නම් අප මතුයම් දවසක මැරෙන බවයි. අප නොදන්නා දෙය නම් එසේ මිය යන date එකයි. ලෝකයේ තිබෙන ලොකුම ප‍්‍රශ්නය ජීවිතය ගැටගසා ගැනීම වුවද, ලෝකයේ ඇති ලොකුම ප‍්‍රශ්නය ලෙස පෙන්වනු ලබන්නේ මරණය නමැති සාධකය ය. එසේ නම් එකී ලොකුම ප‍්‍රශ්නය ගැන අපට අවබෝධයක් තිබේ. සුළු ප‍්‍රශ්නය වන මිය යන දවස ගැන කිසිම අවබෝධයක් අපට නැත. ලෝකවාසී ජනයාගෙන් කෝටි ගණනක් දෙනා හැමදාම මිය යති. මේ මිය යෑම්වලට හේතු දෙවර්ගයක් ඇත. ඒවා Prime Cause (ප‍්‍රධාන හේතු) සහ Minor Cause (සුළු හේතු) ලෙස වර්ග කළ හැකිය. සාමාන්‍යයෙන් මේ දවස්වල මේ රටේ මරණවල ප‍්‍රයිම් කෝස් එක කොරෝනා ය. මේ ලෝකයේ හැමදෙනාම මිය යන්නේ අවසානයේදී හෘදය වස්තුව නැවතී මෙනි. ඒ අනුව මයිනර් කෝස් එක විය හැක්කේ හෘද වස්තුව නැවතීමය. එහෙත් හෘදය වස්තුව නැවතීම ද ප‍්‍රයිම් කෝස් එකකි. බුදු දහම ප‍්‍රධාන ආගම බවටත්, බෞද්ධ සංස්කෘතිය ප‍්‍රධාන සංස්කෘතිය බවටත් පත්ව ඇති මේ රටේ ජනයා ප‍්‍රසිද්ධ දේශනවලදී සහ ආධ්‍යාත්මික වැඩමුළුවලදී මරණය ගැන ඉතා සුළුවෙන් කතා කළත් එය තමා අභිමුඛයට පැමිණි කල සුළු දිය පහ කරමින් පැන දුවති. ඒ තමයි පෘතග්ජන ස්වභාවය. අද කොරෝනාව මේ රටේ ප‍්‍රමුඛ මාතෘකාව බවට පත්වී ඇත්තේ මේ ලියන අපත් කියවන ඔබත් ඇතුළු 99% ක් ම  පෘතග්ජනයන් වන බැවිනි.

 රට නොවැසිය යුතු බවට දැඩි ස්ථාවරයක ආණ්ඩුව සිටී. රට වැසිය යුතු බවට දැඩි මතයක විපක්ෂය සිටී. ඒ අතර තිබෙන අර්බුදයෙන් දේශපාලන වාසි ලබාගැනීම සඳහා පොඩි පොඩි දේශපාලන හාල් කෑලි සිය ගණනින් පැය විසි හතරේම වැඩ කරති.

 පසුගියදා ඩෙල්ටා ප‍්‍රභේදයේ එකම එක කොවිඞ්  රෝගියකු හමුවීම නිසා නවසීලන්තය මුළු රටම වසා දැමීය. ආණ්ඩුව අනුගමනය කරන රට නොවැසීමේ ‘මුරණ්ඩු’ ප‍්‍රතිපත්තියට පහර දෙන වැඩි දෙනා කියන්නේ, එක ඩෙල්ටා රෝගියකු හමුවුන නවසීලන්තය 100% ක් ලොක්ඩවුන් කළා නම්, දිනපතා කොරෝනාකාරයන් තුන් හාරදාහක් හමුවෙන එයිනුත් එකසිය හැට හැත්තෑවක් මැරෙන ලංකාව ලොක්ඩවුන් නොකිරීම භයානක වරදක් බවයි. නවසීලන්තයේ ඒකපුද්ගල ආදායම ඩොලර් හත්ළිස්දාහකට කිට්ටු ය. ඒ රටේ ජනගහනය හතළිස්පන් ලක්ෂයකි. හරියාකාරව බැලූවොත් ලංකාවේ ඒකපුද්ගල ආදායම ඩොලර් හාරදාහක්වත් නැත. එහෙත් මෙහි ජනගහනය දෙකෝටි විසි ලක්ෂයකි. ඩොලර් හත්ළිස්දාහක් අවුරුද්දකට උපයන මිනිහකු සමග හැපීමට ඩොලර් හාරදාහක් අවුරුද්දකට උපයන මිනිහකුට හැකිද? නවසීලන්තය කරන කෙලි අපට කළ නොහැක. මේ තියෙන තත්ත්වය අනුව හරියට මාසයක් නිරෝධායන ඇඳිරිනීතිය පනවා රට ලොක්ඩවුන් කළොත් කොරෝනාවෙන් මිය යනවාට වැඩි පිරිසක් කුසගින්නේ මිය යනවා ඇත. මේ ප‍්‍රශ්නය ගැන සාකච්ඡුා කිරීමේදී රට ලොක්ඩවුන් කළ යුතු බව මේ පුවත්පත විසින් ද සඳහන් කරනු ලැබූ අවස්ථා තිබේ. එහෙත් රට වැසීමේ අවදානම සහ රට ඇරීමේ අවදානම යන කාරණා දෙක පිළිබඳව පසුගිය කාලයේදී ලැබුණු සංසන්දනාත්මක විග‍්‍රහයන්ගෙන් පසු රට නොවසා මේ ගමන යෑම මැනවැයි අපට සිතේ. සමහරවිට රට විවෘත කර තැබීමෙන් කොරෝනා රෝගීන් ගණන සහ මරණ ගණන වහා ඉහළ ගියහොත් අපේ ස්ථාවරයේ යම් වෙනසක් සිදුකර රට වැසීමට එකඟ වීමට අපට ද සිදුවනු ඇත. අප සාකච්ඡුා කරන්නේ මේ වෙලාවේ පවත්නා තත්ත්වය යි.

 වසංගත රෝග පිළිබඳ පුළුල් අත්දැකීමක් ශ‍්‍රී ලංකාවට නොමැත. අප දන්නේ මැලේරියාව, කොලරාව සහ ඩෙංගු යන වසංගත කිහිපයක් ගැන පමණි. එහෙත් වසූරිය නමැති භයානක රෝගය ගැන අමිහිරි මතක රැසක් යුරෝපයට ඇත. ශිෂ්ටාචාර ගමන් මගේදී වසූරිය පැතිර ගිය සෑම අවස්ථාවකදීම ලෝක ජනගහනයෙන් දෙකෙන් එකක් හෝ තුනෙන් දෙකක් අඩුවිය. දූපතක් වන ශ‍්‍රී ලංකාවට ඒ වසංගත පැමිණියේ නැත. එහෙත් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් කෝපි සහ තේ වැවීම සඳහා මේ රටට ඉන්දියානු කම්කරුවන් ගෙන්වීමට පටන් ගැනීමත් සමගම ලංකාව පුරා මැලේරියාව පැතිරෙන්නට පටන් ගත්තේය. එකල නැව් මගින් කොළඹට ගොඩබාන ලද ඉන්දියානු දෙමළ කම්කරුවන් කඳුකරයේ කෝපි වතු බලා ගියේ පා ගමනිණි. එවැනි දෙදහසක පිරිසක් කොළඹින් ගමන් අරඹා නුවරට, හේවාහැට ට හෝ තලවකැලේට ළඟාවන විට ඉතිරිව සිටියේ කොළඹින් ආ පිරිසෙන් භාගයකි. සෙසු සියලූ දෙනාම මැලේරියාවෙන් මිය ගියහ. මේ අසරණ දෙමළ මිනිසුන්ගේ මළ සිරුරු ඔවුන් කඳුකරයට ගමන් කළ පාර දෙපැත්තේ වළවල් කපා වළ දමන ලදී. එක්දස් නවසිය හැත්තෑ ගණන්වලදී ශ‍්‍රී ලංකාව පුරා කොලරා වසංගතයක් පැතිරිණ. මෙය ආවේ ඉන්දියාවෙනි. ලෙඬේ සෑදුන සියලූ දෙනාටම බඩ ගිය නමුත් මිය ගිය පිරිස ඉතා ස්වල්පයකි. ඉන්පසුව ලංකාවට ඒඞ්ස් පැමිණියේය. අප‍්‍රිකා මහාද්වීපයේ ඇතැම් රටවල ඒඞ්ස් රෝගය පැතිරීම නිසා ගම්මාන පිටින් වඳ වී යයි. ඒඞ්ස් රෝගය මෙහි පැමිණ අවුරුදු හතළිහක් පමණ ගත වී ඇතත් තවමත් පන්සීයක්වත් එයින් මියගොස් නැත. මේ සියල්ලටම වඩා දරුණු මාරයා ඩෙංගු ය. එසේම වකුගඩු රෝගය ද ඉතා දරුණු ලෙස ලංකාවේ පිටිසරබද දුප්පත් ගම්මාන බිලි ගනිමින් පවතී. මේ සියල්ල මගින් කරන්නේ මැරෙන date එක අපට තීන්දු කර දීමය.

advertistmentadvertistment
advertistmentadvertistment