මැස්සාට ගැළපෙන්නෙම දස්සා

106

අපිව ගේම්වලට යූස්වෙනවා කියලා හිතනවා
අඳුන්ගිරේ අවසානයට චෝදනා ආවා – ඉන්දික ධර්මතිලක

 

තම කුළුඳුල් ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය ලෙස “ගිරිදේවි” ඔබ වෙත තිළිණ කළ ඉන්දික ධර්මතිලකගේ දෙවැනි ටෙලි නිර්මාණය වූයේ අඳුන්ගිරය. කොළඹ ජීවිතවල ඇත්ත පැත්ත හරි අපූරුවට අපට කියාදෙන මැස්සා කියන කතාව තමයි ඉන්දිකගේ අළුත්ම ටෙලි නිර්මාණය. ඉතිං මේ කතාවට අපේ රටේ නම්දැරූ ප්‍රබල චරිත කිහිපයක් එකතු වෙනවා. ඒ අතර දසුන් පතිරණ, කාවින්iා දුල්ෂානි, පූජනී භාග්‍යා. මහේෂි මධුසංකා, ආනන්ද කුමාර උන්නැහේ, සරත් කොතලාවල, හර්ෂිකා රත්නායක, චතුර රාජපක්‍ෂ, පූජන දන්දෙනිය, සවිනි දිල්හාරා, ජෙනට් ඇන්තනී, මිලින්ද මඩුගල්ල, විරාජ් මධුෂාන්, සංජීව දිසානායක රංගනයෙන් දායක වෙනවා. කෞෂල්‍ය පතිරණගේ තිර රචනයක් වන මැස්සා ටෙලි නිර්මාණය ජනක සම්පත්ගේ නිෂ්පාදනයකි. ත්‍රාසය, භීතිය, කුතුහලය රැගත් මැස්සා ටෙලි නිර්මාණය සති අන්තයේ රාත්‍රී 8.30 ට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශනය වෙනවා. මැස්සාගේ කතාව ගැන ඉන්දික සමඟ කතාබහක යෙදුණා.

මැස්සාට ගැළපෙන්නෙම දස්සා

● ගිරිදේවි, අඳුන්ගිරට පසුව මැස්සා මේක ටිකක් වෙනස්ම කතාවක් නේද?

ඇත්තටම තේමාව වෙනස් වෙන්නේ මෙහෙමයි. ගිරිදේවි, අඳුන්ගිර වගේ ටෙලිනාට්‍ය වලින් මගේ ගනුදෙනුව තිබුණේ පිටිසර ගම්මාන එක්ක. ඉතිං මැස්සා එක්ක මගේ ගනුදෙනුව තිබෙන්නේ කොළඹ තදාසන්න ප්‍රදේශවල ඉන්න තාරුණ්‍යයත් එක්ක. මැස්සා තුළින් කතාවෙන්නේ කොළඹ ඉන්න තාරුණ්‍යයේ හීන ගැනයි. ගිරිදේවි තුළින් මැස්සාට ආවට පස්සේ ලොකු වෙනසක් තියෙනවා. ඉදිරියේදී ඒ වෙනස ප්‍රේක්‍ෂකයන්ට දැනේවි.

මැස්සාට ගැළපෙන්නෙම දස්සා

● ඔබ නිතර කතාබහ කළේ විප්ලවය, අරගලය වැනි දේවල්වලින් ලබන ජයග්‍රහණ ගැන. නමුත් අඳුන්ගිරේ අවසානය පිළිබඳව ප්‍රේක්‍ෂකයාට ලොකු ගැටලුවක් මතුවුණා කිව්වොත්?
 

මෙහෙමයි ඇත්තටම කියනවා නම් අඳුන්ගිරේ ප්‍රේක්‍ෂකයා දැක්කේ මම අවසන් කරපු විදියත් එක්ක වර්තමානයේ පවතින දේශපාලන මතයත් එක්ක හිටගත්තාද කියලයි. සමාජවාදී තරුණයන් ගේ අදහස් පෙන්නලා ඔවුන්ව පහළට දාන්න කරපු වැඩක් ද කියලත් පිරිසක් හිතුවා. නමුත් මම කොතැනකවත් මගේ නිර්මාණය ඇතුළේ, කියලා නෑ මගේ මතය. මම එක තැනක හිටගෙන නෑ. 70 න් පටන් අරගෙන 94 දක්වා කාලය අතරතුර ගම කොහෙටද ගෙවිලා ගියේ. කොළඹ සිද්ධවෙන සිදුවීම් පෙළ කොහොමද ගමට බලපෑවේ, ගමේ තාරුණ්‍යයට බලපෑවේ. මිනිසුන් ඒ හරහා කොහොමද ජීවත්වුණේ කියලා විතරයි මම පෙන්නුවේ. මම දේශපාලන පක්‍ෂයක පැත්තක  හිටගෙන කරපු නිර්මාණයක් නෙමෙයි. අපි සියලුදෙනාම දන්න කතාව ප්‍රතිනිර්මාණය කළා.

මැස්සාට ගැළපෙන්නෙම දස්සා

● අධ්‍යක්‍ෂවරයා විදිහට ඔබේ මුහුණට ප්‍රේක්‍ෂකයාගෙන් චෝදනා එල්ල වූයේ නැතිද?
 

ඇත්තටම තිබුණා. අඳුන්ගිර නරඹපු ප්‍රේක්‍ෂකයෝ අවසානය ගැන මට චෝදනා කරපු අවස්ථාත් තියෙනවා. යූටියුබ් එක බලපුවහම තේරෙනවා ඒක අවසන් වුණ විදිහ සාධාරණ නැහැ කියලා වගේ දෙයක්. ඒක ඉතිං ප්‍රේක්‍ෂකයා දකින විදිහ. තම තමන් දාගෙන ඉන්න කණ්ණාඩි එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. මා බලන කෝණය කෙසේද, ඒ අනුව තමයි මට ඒ නිර්මාණය පේන්නේ. පාට කණ්ණාඩි ගලවලා විවෘතව නිර්මාණය දිහා බැලුවොත් අනිවාර්යයෙන් ඒක හරියාකාරව පෙනේවි.

මැස්සාට ගැළපෙන්නෙම දස්සා

● අඳුන්ගිරේ හිටපු පිරිසම ද මැස්සාහිත් ඉන්නේ?
 

නැහැ. සම්පූර්ණම වෙනස් පිරිසක්. එතැන ඉන්නවා දසුන් පතිරණ කියන නළුවා. ඔහු මගේ ගිරිදේවි ටෙලි නාට්‍යයෙත් හිටියා. මැස්සාට දසුන්ව යොදා ගන්න හේතුව, මම හිතනවා ඔහු තමයි මට ගැළපෙනම පුද්ගලයා කියලා. මොකද මම කතා කරන්නේ කොළඹ තාරුණ්‍යය ගැන. ඔහු මරදානේ ඉපදුණ පුද්ගලයෙක්. කොළඹ තදාසන්න ප්‍රදේශ ගැන ඔහු හොඳටම දන්නවා. අතපතගාලා තියෙනවා.  මගේ නිර්මාණය ඇතුළේ මැස්සා කියන චරිතය හොඳටම ගැළපෙන්නේ දසුන් පතිරණ නැතිනම් දස්සා කියන චරිතයට.

මැස්සාට ගැළපෙන්නෙම දස්සා

● රූගත කිරීමේදී භාවිතා කළ කැමරා කෝණ පිළිබඳවත් කතා නොකරම බැහැ?
 

ගිරිදේවි, අඳුන්ගිර නිර්මාණවලට වඩා හාත්පසින්ම වෙනස් කැමරා කෝණ තමයි මම භාවිතා කරලා තියෙන්නේ. රංගන ශිල්පීන් හැසිරවීමේ සිට ඉතුරු සියලුම අවශේෂ කාර්යයන් සිද්ධවුණේ ඉතාම වෙනස් ආකාරයට. මැස්සා සහ ගිරිදේවි කියන්නේ දෙකක්.

මැස්සාට ගැළපෙන්නෙම දස්සා

● ආර්ථික අර්බුද, තෙල් අර්බුද වගේම ජනතා අරගලයක් මැද්දේ කොළඹ වැනි තදාසන්න ප්‍රදේශවල කොහොමද රූගත කිරීම් සිදු කළේ?
 

ඇත්තටම ලොකු අර්බුදයක් තමයි මේක ලොකු ගේම් එකක්. මේ වෙලාවේ මේ වගේ වැඩක් කරනවා කියන්නේ ලෙහෙසි නැහැ. අනික මේක අපේ වෘත්තිය. අපිට නොකර ඉන්න බැහැ. කළ යුතුම වෙනවා. මේ තියෙන ප්‍රශ්නත් එක්ක අපි අනිවාර්යයෙන්ම ප්‍රේක්‍ෂකයා ගැන හිතන්න වෙනවා. ඔවුන්ට නරඹන්න අනිවාර්යයෙන්ම ඵලදායී දෙයක් තියෙන්නම ඕනෑ. ඒකට මුලින්ම ස්තූතිවන්න වෙන්න ඕනෑ ජානක සම්පත් නිෂ්පාදකවරයාට. ඔහු මේ වගේ වෙලාවක වැඩක් කරමු කියලා යෝජනා කිරීම හරි වටිනවා. අද කාලේ ටෙලි නාට්‍යයක් කරනවා කියන්නේ ලේසි නැහැ. වෙනදාට වඩා ලොකු මුදලක් වැයවෙනවා.

මරදානේ ටෙක්නිකල් හන්දියේ ගොඩනැඟිල්ලක් උඩ එක දවසක් අපි ෂූටින්වල ඉන්නකොට තමයි මැයි 9 වැනිදා අරගලයට ප්‍රහාරයක් එල්ල වුණේ. අපිට එදා රාත්‍රිය වෙනකම් ටෙක්නිකල් හන්දියේ බිල්ඩින් එක උඩට වෙලා ඉන්න සිද්ධ වුණා. සියලු දේවල් පහවුණාට පස්සේ තමයි අපි රාත්‍රියේ ආවේ. ඒ එන ගමන් අපේ වාහන නවත්වලා අපිට පොලු මුගුරු අරගෙන තර්ජනාත්මක කිරීම් කිහිපයක්ම සිද්ධ වුණා. ඒ දේවල් හරි මතක සටහන් තමයි.

● ඔබ කරපු ධාරාවෙන් එපිටට යන්න අදහස් කළේ ඇයි?

මෙහෙමයි. මේකේ වස්තුබීජය හටගන්නේ අපේ සංස්කරණ ශිල්පියා  සමීරගේ අදහසකට අනුවයි. ඔහු මාත් සමඟ කතාබහක නියැළෙනවා මේ ගැන. ඊට පස්සේ ජනක තඹරවිලත් එක්කත් කතා කරනවා. එක මොහොතක අපි මේ පිටපත ලියන්න රචකයෙක් තෝරාගන්නවා, වෙස් නාට්‍යය ලියපු කෞෂල්‍ය පතිරණව. ඔහු තමයි අපේ පිටපත් රචකයා.

මගේ එන්න තියෙන වැඩත් එහෙම්මයි. මගේ තව එන්න තියෙනවා රැහැයියා කියලා වැඩක්. ඒකත් වෙනස්ම ධාරාවක වැඩක්. එතකොට යාදින්නි කියලා වැඩකුත් තියෙනවා. මගේ සිතුවිල්ලත් එකින් එකට වෙනස් .

● වෙනස් ධාරාවේ නිර්මාණවලට නවක  අධ්‍යක්‍ෂවරයෙක් විදිහට ඔබට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

මගේ ගිරිදේවි එක්ක තමයි මට ඇගයීමක් ලැබෙන්නේ. ඒ සඳහා මට ජූරියේ විශේෂ සම්මානයක් හිමිවෙනවා. ගිරිදේවි සඳහා, හොදම නිළිය, හොඳම පිටපත් රචකයා වගේ සම්මාන ගණනාවක් හම්බ වෙනවා. ගිරිදේවි හරහා තමයි ඉන්දික ධර්මතිලක කියන නම ප්‍රේක්‍ෂකයන් අතරට යන්නේ. ඊට පස්සේ මම  අඳුන්ගිර නිර්මාණය කරනවා. එයටත් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතනවා මැස්සාටත් ඒ වගේම හොඳ ප්‍රතිචාර ලැබේවි කියලා. හේතුව ඒක වෙනස්ම ධාරාවක වැඩක්.

● මැස්සා නිර්මාණයට නළු නිළියන්ගෙන් ලැබුණ සහයෝගය මොන වගේද?

ඒ ගැන නම් කිවයුතුමයි. සියලුදෙනාම තමන්ගේ වැඩක් විදිහට තමයි කළේ. එක පුද්ගලයෙක් විදිහට මෙහෙම වැඩක් කරන්න බැහැ. අපිට තේ හදලා දුන්න සහෝදරයාගේ ඉඳලා නිෂ්පාදකවරයා දක්වා සියලුම කට්ටියගේ තියෙන ටීම් වර්ක් එක හින්දයි මේ වගේ නිර්මාණයක් බිහිවෙන්නේ. දසුන්ගේ ඉඳලා සියලුම දෙනාගෙන් ඉතාම හොද සහයෝගයක් ලැබුණා. පිටපත අතට ආවට පස්සේ අපි එකතුවෙලා ගොඩක් කතාබහ කරලා තමයි මේ වැඩේ මේ තරමට ගොඩදාගත්තේ.

● තරුණ ශිල්පීන්, ශිල්පිනියන් රැසක් මේ නිර්මාණයට  එකතු කරන්න හිතුවේ ඇයි?

තාරුණ්‍යයේ ඉන්නවා මාර දක්‍ෂයෝ ටිකක්. ප්‍රවීණයෝ වගේම තාණ්‍යයෙත් දක්‍ෂයෝ ඉන්නවා. ඔවුන්ගෙන් වැඩක් ගන්න ඕනෑ කියලා. හිතුන හින්දයි එහෙම කළේ. මේ නිර්මාණයෙත් ප්‍රවීණයෝ නැතිවාම නෙමෙයි. අපේ ඉන්නවා ආනන්ද කුමාර උන්නැහේ, සරත් කොතලාවල, හර්ෂිකා රත්නායක වගේ අයත්. තරුණ අපි දන්න වගේම නොදන්න මුහුණ ටිකකුත් ඉන්නවා. මමත් මේකට නවකයෙක්. තවත් නවකයකුට අවස්ථාව ලබාදීම තමයි මගේ කැමැත්ත. තාරුණ්‍යය ගැන කතා කරන නිසයි වැඩිපුර තරුණ පිරිසක් ඉන්නේ.

● මැස්සාට මොන විදිහේ ප්‍රතිචාර ලැබේවි කියලා හිතනවාද?

මම හිතනවා හොඳ ප්‍රතිචාර ලැබේවි කියලා. අපි සියලුදෙනාම මේ මොහොතේ ඉන්නේ හීන බිඳගත්තු, අනාගතය කළුවර වුණු ලොවක තමයි. ඒ සියල්ල එක්ක මම හිතනවා අපි සියලුදෙනාට මේ නිර්මාණය දැනේවි කියලා. අපි කතා කරන්නේ කොළඹ ඉන්න හීන බිඳගත්තු තාරුණ්‍යය ගැන. හීන බිඳගත්තු තාරුණ්‍යය ඇතුළෙත් ඉන්නවා ආදරය, කරුණාව කියන දේවල් අගයන මිනිස්සු. හොඳ යැයි කියන සමාජයට ඔවුන්ට එකතු වෙන්න

අවස්ථාවක් හම්බවෙන්නේ නැහැ. මම හිතන්නේ අපිව කාගෙන් හෝ පාලනය වෙනවා කියලයි. අපිව ගේම්වලට යූස්වෙනවා කියලා හිතනවා. මට පෙනෙන්නේ අපේ තාරුණ්‍යය මොකක්දෝ දෙයකට පාවිච්චි කරනවා කියලයි. අපි හැමෝම එහෙම පාවිච්චි වෙන හින්ද අපි හැමෝටම මේ නිර්මාණය දැනේවි කියලා හිතනවා.

● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment