මිථ්‍යාව විකුණන තක්කඩියෝ

1692

අද වන විට විද්‍යාව හා තාක්‍ෂණය අතිශය දියුණුය. ලෝකයේ කොහේ හෝ සිදුවන සිදුවීමක් ක්‍ෂණයකින් දැන ගැනීමට තරම් තාක්‍ෂණය දියුණුය. අන්තර්ජාලය විසින් ලොව විශ්ව ගම්මානයක් බවට පත්කර තිබේ. එතැනින් නොනැවතුණු තාක්‍ෂණික මිනිසා අද අප ලෝකයෙන් ඔබ්බට වෙනත් ග්‍රහලෝකවල වන සිදුවීම් පවා නිරීක්‍ෂණය කරමින් සිටියි. මේ සියල්ල සිදුවනුයේ විද්‍යාත්මක පර්යේෂණ ඉහළ තලයකට පැමිණ ඇති නිසාවෙනි.

අද වනවිට අප රටේ ද විද්‍යාත්මක පැතිකඩ දියුණු කළ චරිත අනන්තවත් වෙති. ලොව ප්‍රකට ඒෂියන්ස් සයන්ටීස් සඟරාව හෙළිකර තිබුණේ මෙම වසරේ විශිෂ්ටතම ආසියානු විද්‍යාඥයන් සියදෙනා අතර අපගේ විද්‍යාඥයන් සිව්දෙනකු ද සිටින බවයි. සාගර ජීව විද්‍යාඥවරියක වන ආශා ඩී වෝස්, වෛද්‍ය රොහාන් පෙතියාගොඩ, කොළඹ විශ්වවිද්‍යාලයේ චතුරංග රණසිංහ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ අශානි සවින්ද රණතුංග එම විද්‍යාඥයෝ වෙති. එය අප රටට ආඩම්බරයකි.

තත්ත්වය එසේ වුවද මිථ්‍යාව වැළඳගෙන මරු තුරුළට යන අය පිළිබඳව ද වරින් වර අප රටින් තවමත් වාර්තා වීම අතිශය කනගාටුදායකය. එවැනි ශෝචනීය පුවතක් ලග්ගල පොලිස් වසමෙන් පසුගිය දිනක අසන්නට ලැබිණි.

එම සිද්ධිය සැකවින් මෙසේය.

පිරිමි පුද්ගලයකු තමන්ව වශීයකින් බන්ධනය කරගෙන සිටි බවට විශ්වාස කළ කාන්තාවකට එම වශීය ඉවත් කර ගැනීමට අවශ්‍ය වී ඇත. එම කාන්තාව තවත් අමනුෂ්‍ය දෝෂ පවතිනවා යැයි විශ්වාස කළ කාන්තාවන් දෙදෙනකු ද සමග ඇයගේ වශියත්, අන් කාන්තාවන් දෙදෙනාගේ අමනුෂ්‍ය දෝෂ දුරු කිරීමටත් කට්ටඬියකුගේ පිහිට පතා ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ කට්ටඬියා එම කාන්තාවන්ට ශාන්ති කර්මයක් කරන බව පවසමින් ඒ අතරතුර තැඹිලි ගෙඩි 21ක වතුර සහ කහ වතුර බෝතල් තුනක් මෙම කාන්තාවන්ට පොවා තිබේ. ඒ අතරතුර වශීය ඉවත් කර ගැනීමට අවශ්‍ය බව පැවසූ කාන්තාව රෝහල්ගත කර ඇත්තේ ඇයට බඩඑළිය යෑමට පටන් ගත් නිසාවෙනි. පසුව අසාධ්‍ය වූ ඇය මුලින්ම දාස්ගිරිය රෝහලටත් පසුව දඹුල්ල රෝහලටත් ඇතුළත් කර ඇත. අවසානයේදී ඇය දඹුල්ල රෝහලේදී අවාසනාවන්ත ලෙස මියගොස් තිබිණි.

මෙම සිද්ධිය දෙස බැලීමේදී මූලික කාරණා දෙකක් පැහැදිලිය. මිථ්‍යාවට යටවී මිථ්‍යාව විශ්වාස කරන ජීවීන් පිරිසක් අප රට තුළ තවමත් සිටින බව මෙම පුවත මගින් සනාථ වේ. එසේම මිථ්‍යාව විකුණාගෙන කමින් ජීවත් වන කට්ටඬි නොව තක්කඩි පිරිසක් අප රට තුළ තවමත් සිටිනා බව මින් පැහැදිලිය.

අද වනවිට වෛද්‍ය විද්‍යාව බොහෝ සේ දියුණුය. අප රටේ කෙතරම් අර්බුද තිබුණ ද නිදහස් සෞඛ්‍ය සේවාවක් පවතින බැවින් ඕනෑම පුද්ගලයකුට ඕනෑම රෝගයක් සඳහා නොමිලේ ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව ලැබී තිබේ. මෙම රෝහල්වල මානසික රෝගීන් සඳහා ද ප්‍රතිකාර ලබාදෙන සායන ඇති තරම් තිබේ. වශී බන්ධන ගැන විශ්වාස කළ කාන්තාව ද යම් මානසික ව්‍යාධියකින් පෙළුනු බවට සැක කළ හැක. ඒ අර්ථයෙන් ගත් විට මෙම කාන්තාවට නිශ්චිත ප්‍රතිකාර ලබාදීමේ සායනයකට යොමු කළේ නම් මෙවැනි විපතක් සිදුවන්නේ නැත. මෙම කාන්තාවගේ මරණයෙන් හෝ පාඩම් ඉගෙන අන් අය මෙවැනි විපත්වලින් මිදීමට අදිටන් කරගත යුතුය.

මියගිය කාන්තාව ඇතුළු අනෙක් කාන්තාවන් දෙදෙනාට ශාන්තිකර්මය කළ බව කියන කට්ටඬියා පතල් සේවකයකු බව දැන ගන්නට ඇත. තමන් නොදන්නා ශාස්ත්‍රයක් දන්නා බව පවසමින් අන් අයගේ ජීවිත මරු කටට යැවීම පාපයකි. මෙවැනි කෛරාටිකයෝ රට පුරා විවිධ වෙස් මුහුණු බැඳගෙන අසරණ වූවන්ගේ පොකොට්ටුවට විදිමින් සිටිති. අපගේ සම්ප්‍රදායික ශාන්තිකර්මවලට පවා නිගා දෙමින් කටයුතු කරන මෙවැනි උන් අල්ලා උල තිබ්බ ද වරදක් නැත. එසේම මෙවැනි වංචාකාරයන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා යම් නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කිරීම අත්‍යවශ්‍යය. කාලයක් තිස්සේ මෙම වංචාකාරයෝ අප රටේ අහිංසක මිනිසුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරමින් සිටිති. මෙවැනි සිදුවීමක් වූ විට ඒ පිළිබඳව ඇතිවූ උණුසුම කාලයේ වැලිතලා මත යටපත් වන ආකාරය පසුගිය කාලය පුරාවටම අපට නිරීක්‍ෂණය කළ හැකි විය. නමුත් ඊට ඉඩ නොදී මිථ්‍යා විශ්වාසයන්ට එරෙහිව සවිමත් කථිකාවක් ගොඩනැගිය යුතුය. ඒ සඳහා මේ රටේ උගතුන්ට, බුද්ධිමතුන්ට, වියතුන්ට සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ හැකිය. මෙහිලා දෙමාපියන්ට මෙන්ම පාසල් ගුරුවරුන්ට ද මාහැඟි මෙහෙවරක් කළ හැකිය. දරුවන් කුඩා කාලයේ සිටම විද්‍යාත්මක පදනමක සිට තම ජීවිතය දෙස බැලීමට හුරුකිරීම ඔවුන්ගේ වගකීමකි.

advertistmentadvertistment
advertistmentadvertistment