රැඳවියන් 508ක් අඟුණකොළපැලැස්සට යවා තත්ත්වය පාලනය කරයි
රැඳවියන්ගේ ගල් -මුල් ප්‍රහාරවලින් නිලධාරීන් 3කට තුවාල
මාතර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්තාවට හේතුවී ඇත්තේ දකුණ පළාතේ ප්‍රබල පාතාල කල්ලි තුනක් වන මිදිගම රුවන්, මිදිගම චූටි සහ දෙහිගෙදර පාතාල කල්ලිවල සාමාජිකයන් අතර ඇති වී තිබූ ගැටුම්කාරී තත්ත්වයක් බව විමර්ශනවලින් හෙළි වී ඇත.
මෙම පාතාල කල්ලි තුනට සම්බන්ධ පාතාල සාමාජිකයන් තිදෙනකු මාතර බන්ධනාගාරයේ සිට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට සූදානම් වෙද්දී මෙම ගැටුම්කාරි තත්ත්වය උද්ගත වී තිබූ බව ද මේ වනවිට අනාවරණය වී තිබේ.
ඊයේ දහවල් වනවිට මාතර බන්ධනාගාරයේ කලබලකාරී තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර තිබූ අතර එහි සිටි කාන්තා රැඳවියන් 25 දෙනකු ඇතුළු 508ක් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට කටයුතු කර තිබිණි.
එම මාරු කිරීම දින 05කට සීමාවන බව ද බන්ධනාගාර ආරංචි මාර්ග පැවසීය.
හරක්කටා නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනා වන මිදිගම රුවන් සහ මිදිගම චූටි මේ වනවිට බද්ධ වෛරක්කාරයෝ බවට පත්ව සිටිති. එම පාතාල සාමාජිකයෝ දෙදෙනා මේ වනවිට වෙනම පාතාල කල්ලි දෙකක් බිහිකර ගෙන සිටිති. මෙම කල්ලි දෙකේ සාමාජිකයෝ කීප දෙදෙනෙක් මේ වනවිට මාතර බන්ධනාගාරයේ රඳවා සිටිති. ඊට අමතරව දෙහිගෙදර පාතාල කල්ලියේ අපරාධකරුවන් කීපදෙනකු ද මාතර බන්ධනාගාරයේ රඳවා සිටින බව ආරංචි මාර්ග පවසයි. මෙම පාතාල කල්ලි තුනේ සාමාජිකයන් මාතර බන්ධනාගාරය තුළ කල්ලි තුනකට බෙදී සිටින අතර එහි නිතර නිතර නොසන්සුන්තාවයන් හටගෙන තිබිණි.
මේ හේතුව නිසා මාතර බන්ධනාගාරය තුළ සිටින පාතාල කල්ලි තුනට සම්බන්ධ ප්‍රධානීන් තිදෙනකු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත පෙරේදා සවස මාරුකර යැවීමට එහි පාලනාධිකාරිය සූදානම් වී ඇත. බන්ධනාගාරය තුළ මෙම නොසන්සුන්තාව ඇති වී ඇත්තේ එම සිද්ධියෙන් පසුවය.
පසුව එම තත්ත්වය උස්සන්න වී බන්ධනාගාරයේ වාට්ටුවලට දැඩි අලාභහානි සිදුකර රැඳවියන් වාට්ටුවලින් එළියට පැමිණ තිබේ. පසුව බන්ධනාගාරයේ දැනුම්දීමට අනුව සියයකට අධික පොලිස් නිලධාරීන් පිරිසක්, විශේෂ කාර්ය බළකායේ සෙබළුන්, යුද හමුදාව සහ බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාරය වටා ආරක්ෂාවට යොදවා ඇත.
බන්ධනාගාර වාට්ටුවල සිටි රැඳවියන් වාට්ටු කඩාගෙන එළියට ආවත් ඔවුන් බන්ධනාගාර තාප්පයෙන් පිටතට පැමිණ නැත. ඊයේ උදෑසන වනවිට තත්ත්වය පාලනය කර ඇති අතර පොලිස් නිලධාරීන් විශාල පිරිසක් තවදුරටත් බන්ධනාගාරය අවට රැකවල්ලා සිටි අයුරු ඊයේ සවස් වනතෙක් දකින්නට ලැබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මෙසේ පැවසීය.
“පෙරේදා මාතර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයකට හේතු වී ඇත්තේ මාතර බන්ධනාගාරයේ විනය සම්බන්ධයෙන් ගැටලු තිබෙන රැඳවියන් තිදෙනෙකු වෙනත් බන්ධනාගාරයකට මාරුකර යැවීමට සූදානම් වූ අවස්ථාවේ ඔවුන්ට සහාය පළකරන රැඳවියන් පිරිසක් ඔවුන් නවතා ගැනීමට උත්සාහ කිරීමයි.
මෙහිදී සිද්ධිය පාලනය කිරීම සඳහා අපි පොලිසියේ, විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට තීරණය කළා. ඊට අමතරව බන්ධනාගාර නිලධාරීන් විසින් සිද්ධිය පාලනය කළා. ඊයේ උදෑසන වනවිට සිද්ධිය සම්පූර්ණයෙන් පාලනය කරන්න හැකි වුණා. බන්ධනාගාරය තුළ ඇති වී තිබූ නොසන්සුන්තාවයෙන් පසු කෝපයට පත් වූ රැඳවියන් බන්ධනාගාර නිලධාරීන්ට ගල් මුල් ප්‍රහාර එල්ල කළ අතර ඉන් නිලධාරීහු තිදෙනෙක් තුවාල ලැබූහ.
මෙම උණුසුම් තත්ත්වය හමුවේ බන්ධනාගාර රැඳවියන් කීපදෙනෙකු ද සුළු තුවාල ලබා තිබිණි.
රැඳවියන් සියලුදෙනා මාතර බන්ධනාගාරයෙන් ඉවත්කිරීමෙන් පසු එහි ඇතුළත තත්ත්වය පරීක්ෂා කිරීමට පාලනාධිකාරිය කටයුතු කර ඇත. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඊට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින්ද මේ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු සහ ලලිත් පද්මසිරි – මාතර