මිනිස් ජීවිතද ආර්ථිකයද?

726

මානව සම්පත අපට තිබෙන විශාලතම ආර්ථික ශක්තියකි. මිය යන මිනිසුන්ගේ ජීවිතවල වටිනාකම මුදලින් මැනිය නොහැකිය. මෙලෙස සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව කොරෝනා මර්දනය කිරීමට නිසි සහ ප‍්‍රමාණවත් ක‍්‍රියාමාර්ග නොගැනීමේ විපාක ලෙස ජනයාට කොරෝනාවෙන් මිය යන්නට සිදු වන තත්ත්වයක් නිර්මාණය වේ. එය වළක්වා ගත යුතු වේ. ජනයා ද සෞඛ්‍ය උපදෙස් සියයට සියයක් පිළිපැද ආරක්ෂිතව කටයුතු කිරීමේ වගකීමක් තිබේ. ඒ සියලූ වගකීම් රජයටම බැර කළ නොහැකිය.

 ඉතා අවදානම් ඩෙල්ටා ප‍්‍රභේදය හමුවේ කොරෝනා වසංගත තත්ත්වය නව මුහුණුවරකින් රටේ පැතිර යමින් තිබේ. මේ හමුවේ දිනපතාම පාහේ සිදුවන කොරෝනා මරණ ප‍්‍රමාණය වැඩි වෙමින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ද දිගින් දිගටම වැඩි වෙමින් තිබේ. මේ සංඛ්‍යාලේඛන ගැන ද ප‍්‍රශ්න තිබේ. රජය කියන මේ කොරෝනා මරණ ප‍්‍රමාණය හරිද? එසේම දිනපතා වාර්තා වන ආසාදිතයින් ප‍්‍රමාණය හරිද? මේ ගැන අද මහජනයා තුළ ඇත්තේ සැකයක් හා අවිශ්වාසයකි. වෛද්‍ය අංශ පවසන පරිදි රජයේ නිල සංඛ්‍යාලේඛනවලට ඇතුළත්ව නැති තවත් කොරෝනා ආසාදිතයින් කිහිප ගුණයක් රට පුරා සිටිනවා විය හැකිය. මේ නිසා දිනපතා රටට අහිමි වෙමින් තිබෙන මිනිස් ජීවිත ප‍්‍රමාණය අවම කර ගැනීමට නම් රජය නිසි වෙලාවේ නිවැරදි සහ දැඩි තීන්දු අප‍්‍රමාදව ගතයුතු මොහොතකට අපි පැමිණ සිටිමු. එසේ නම් මේ වෙලාවේ අප රැුකගත යුතු වන්නේ මිනිස් ජීවිතද? නැත්නම් ආර්ථිකය ද? එසේත් නැත්නම් මේ දෙකම ද? මේ උභතෝකෝටිකයට දැන් අපි මුහුණ දී සිටිමු. කොරෝනා වසංගතය මර්දනය කිරීමට ක‍්‍රියාමාර්ග ගන්නා විට ආර්ථික කටයුතු අකර්මණ්‍ය වේ. එසේම ආර්ථිකය ගැන සිතා මේ මොහොතේ කොරෝනා මර්දනයට නිසි ක‍්‍රියාමාර්ග  අනුගමනය නොකළොත් කොරෝනා මරණ ප‍්‍රමාණය විශාල ලෙස වැඩි වී කොරෝනා ආසාදිතයින් වාර්තා වීමද විශාල ලෙස ඉහළ යනු ඇත. එවිට ඔය කියන පරිදි ආර්ථිකය රැකගත හැකි ද? මේ නිසා අප නම් සිතන්නේ ආර්ථිකය රැුක ගැනීමටය කියා මේ කොරෝනා වසංගත තත්ත්වය තවදුරටත් පැතිරීමට ඉඩ දී මේ ප‍්‍රශ්නයට මුහුණ දීම අපට ඉතාම දුෂ්කර බවයි.

මිනිස් ජීවිතද ආර්ථිකයද?

වසංගතය සම්බන්ධයෙන් රජය පවසන ඉලක්කම් නිවැරදි නොවන්නේ නම් අපට තවමත් රට අභිමුව ඇති බලවත් අනතුර ගැන තිබෙන්නේ අඩු තක්සේරුවක්ද විය හැකිය. ඒ නිසා මෙවැනි වසංගත තත්ත්වයක් හමුවේ නිවැරදි දත්ත සහ සංඛ්‍යාලේඛන ප‍්‍රකාශයට පත් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. නිවැරදි දත්ත නොමැතිව රජය, සෞඛ්‍ය අංශ මෙන්ම වෙනත් පාර්ශවයන් ගන්නා තීන්දු තීරණ ද නිවැරදි නොවනු ඇත. මේ නිසා වසංගතය ගැන නිවැරදි තොරතුරු සපයන යාන්ත‍්‍රණයක් ඇති කර ගැනීම අවශ්‍ය බවද අපි රජයට කියා සිටිමු.

මිනිස් ජීවිතද ආර්ථිකයද?

මේ දැඩි අවදානම් තත්ත්වය හමුවේ වෛද්‍ය අංශ දිගින් දිගටම ප‍්‍රකාශ කළේ රට වසා දැමිය යුතු බවයි. මේ අනුව රට වසනවාද නැද්ද යන බරපතල කතාබහ ගිය සතියේ සිටම සිදු වෙමින් තිබිණි. එහෙත් ගිය සිකුරාදා (13) රජය තීරණය කළේ රට වසනවා වෙනුවට සංචරණ නීති දැඩි කිරීමට ය. මේ ගැන බොහෝ දෙනා රජයට දොස් කියමින් සිටින අතර වෛද්‍ය අංශ මේ ගැන අසතුටට පත්ව ඇති බව ද රහසක් නොවේ. ඔවුන් දිගින් දිගටම කියන්නේ තවදුරටත් වසංගත තත්ත්වය පැතිරීම පාලනය කර නොගතහොත් සිදු වන මරණ ප‍්‍රමාණය විශාල වශයෙන් ඉහළ යා හැකි බවයි. රජය ඉකුත් සිකුරාදා ගත් තීරණ රට පත්ව ඇති බලවත් අවදානමට මුහුණ දීමට ප‍්‍රමාණවත් නොවන බව ද පෙනේ. මේ නිසා රජය කුමන තීරණ ගත්තත් මහජනයා තම තමන් කොරෝනා ආසාදිතයෙක් නොවී සිටිමින් තමන්ගේ ආරක්ෂාව සලසාගත යුතු මොහොතකට අපි පැමිණ සිටිමු. ආර්ථිකය සහ සෞඛ්‍ය තත්ත්වය යන දෙකම නොසලකා තීරණ ගත හැකි නොවේ. එහෙත් වසංගත තත්ත්වය පැතිර යෑමෙන් මේ අවස්ථාවේ දී විශාල වශයෙන් මරණ ඉහළ යෑමේ අවදානමක් මතුව ඇති නිසා ජනතාවට මරණ වරෙන්තු ලබා දී ආර්ථිකය බේරා ගන්නවා ද? එහෙත් එසේ ආර්ථිකය බේරා ගත හැකි ද? මේ ප‍්‍රශ්න අප හමුවේ තිබේ. එසේම අනිත් අතට කොරෝනා වසංගතය පැතිර යෑමෙන් රජයට කොරෝනා වෙනුවෙන් වැය කිරීමට සිදුවන රජයේ සෞඛ්‍ය වියදම් ද විශාල වශයෙන් ඉහළ යනු ඇත. මේ ගැන ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා පසුගියදා ‘දෙරණ’ රූපවාහිනියේ සිදු කළ ප‍්‍රකාශයකින් ද තහවුරු වේ. ඔහු එහිදී මෙසේ කීවේය.

 ‘දැඩි සත්කාර ඒකකයේ ඉන්න රෝගියෙකුට පමණක් දළ වශයෙන් බෙහෙත් සහ සියලූ දේවල් සඳහා යනවා අඩුම වශයෙන් රුපියල් ලක්ෂයක් විතර. ඒ අය පුද්ගලික රෝහලකට ගියොත් ලක්ෂ දෙකහමාරක් විතර යනවා. මේ රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනකොට බරපතල අය වැඩි වෙනවා. ඒ සමග මරණ වැඩි වෙනවා. ඒකත් එක්ක ඒ සඳහා යන වියදම් වැඩි වෙනවා. එදිනෙදා වැඩ කරන අය වැඩ කරන්න ඕන එක ඇත්ත. ලංකාවේ නිෂ්පාදනය කරන ඔක්සිජන් ප‍්‍රමාණය දැන් අපට පේනවා මදි වේගෙන යනවා මේ ඇති වෙන රෝගීන් ප‍්‍රමාණයත් එක්ක…’

 දැඩි සත්කාර ඒකකවල පහසුකම් ලබා ගැනීමට නොහැකි වීමෙන් රෝගීන් මිය ගිය අවස්ථා තිබෙන බව ද ඔහු සඳහන් කළේය. මේ නිසා රෝගීන් ප‍්‍රමාණය වැඩි වීමත් සමග අමාරු වන අයට නිසි ප‍්‍රතිකාර කිරීමට නොහැකි වීමෙන් රෝගීන් මරණයට පත් වෙයි. එහෙත් වසංගත තත්ත්වය පැතිරීම අඩු කරගෙන දිනපතා අලූතින් වාර්තා වන රෝගීන් ප‍්‍රමාණය අඩු කරගත හැකි නම් අසාධ්‍ය තත්ත්වයට පත්වන රෝගීන් වැඩි ප‍්‍රමාණයක් බේරා ගත හැකි බවද පැහැදිලිය. එහෙත් අප නිසි පියවර නොගෙන මේ තත්ත්වයට ඉඩ දුනහොත් මරණ ප‍්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ යාමට ඉඩ තිබේ. මේ සිදු විය හැකි මරණ ප‍්‍රමාණය ගැන විවිධ පුරෝකථන ද ඉදිරිපත්ව තිබේ.

 මේ වසරේ මැයි මාසයේදී සිදු කළ ආකාරයට සති හතරක දැඩි තදබල මට්ටමේ සංචරණ සීමා ඉතාමත් ඉක්මනින් ඉහළ නැංවීමට කටයුතු නොකළොත් 2022 ජනවාරි මාසය වන විට ශ‍්‍රී ලංකාවේ මරණ ප‍්‍රමාණය 30ල000 ක් දක්වා ඉහළ යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කමිටුවක් පවසා ඇති පුවතක් ද පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණි. එහෙත් නිසි පියවර වහාම අනුගමනය කිරීමෙන් 18ල000 ක පමණ පිරිසක් මරණයට පත්වීම වළක්වා ගත හැකි වනු ඇතැයි ද එම මාධ්‍ය වාර්තාවල සඳහන් විය. ‘ශ‍්‍රී ලංකාවේ වර්තමාන කොවිඞ් -19 තත්ත්වය සහ ඉදිරි ගමන’ යන මැයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ‍්‍රී ලංකා කාර්යාලය විසින් 2021 අගෝස්තු 10 දින මේ කරුණු ඇතුළත් වාර්තාව නිකුත් කර තිබුණි. එසේම අගෝස්තු අවසානය වන විට ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 50 ක් මුළුමනින්ම එන්නත් කරනු ඇතැයි ද එම වාර්තාව සැකසීමේ දී පුරෝකථනය කර ඇත. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල මතය නොවිය හැකිය. එසේම මේවා පුරෝකථන වන අතර මේ ඉලක්කම් සහ සත්‍ය තත්ත්වය අතර වෙනස්කම්ද තිබිය හැකිය. එහෙත් මරණ ඉහළ යාමේ අවදානම නම් බැහැර කළ නොහැකිය. මේ අතර පසුගිය සිකුරාදා (13) සහ ඉන් පසුව ඇතැම් කොරෝනා මර්දන ක‍්‍රියාමාර්ග රජය විසින් අලූතින් හඳුන්වා දී තිබේ. විවාහ මංගල උත්සව පැවැත්වීම සහ පිරිස් ඒකරාශී වන අවස්ථා තහනම් කිරීම මෙන්ම රජය විසින් රාත‍්‍රී කාලයේ නිරෝධායන ඇඳිරි නීතිය ද පනවා තිබේ. රාත‍්‍රී කාලයට පමණක් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම ගැන ඇතැමුන් විවේචනය කළත් කිසිවක් නොකර සිටිනවාට වඩා එවැනි පියවරයන් හෝ අනුගමනය කිරීම ගැන අපි සතුටු වෙමු. බොහෝ පිරිස් ඒකරාශී වී මත්පැන් සාද සහ වෙනත් සාද වැඩි වශයෙන් පවත්වන්නේ රාත‍්‍රී කාලයේ බව ද අප අමතක නොකළ යුතුය. එහෙත් දැන් පවතින දැඩි අවදානම් තත්ත්වයට මුහුණ දී විශාල වශයෙන් මරණ සිදු වීම වළක්වා ගැනීමට රජය අලූතින් මේ ක‍්‍රියාත්මක කළ කොරෝනා මර්දන ක‍්‍රියාමාර්ග ප‍්‍රමාණවත් ද යන ප‍්‍රශ්නය නම් තිබේ. ලොක් ඩවුන්, නිරෝධායන ඇඳිරි නීතිය, ප‍්‍රදේශ හුදෙකලා කිරීම සහ සංචරණ සීමා යන වචන ගැන අපට ප‍්‍රශ්නයක් නැත. අවශ්‍ය වන්නේ මේ වසංගත තත්ත්වය තවදුරටත් පැතිරීම පාලනය කර ගැනීමට ප‍්‍රමාණවත් කොරෝනා මර්දන ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීමයි. එසේම එය කිසිසේත්ම එම දින කිහිපයේ රටේ ආර්ථික කටයුතු මුළුමනින්ම නවතා දමන තත්ත්වයක් ද නොවේ. එහෙත් ආර්ථිකය බේරා ගැනීමටය කියා රජය විසින් දිනපතාම මහජන බිළි පූජාවකට ඉඩ දීම සුදුසු තත්ත්වයක් නොවේ. එසේ වුවහොත් වටිනා මිනිස් ජීවිත රැුසක් රටට අහිමි විය

 හැකිය. ඔවුන්ට යළිත් පණ දිය හැකි නොවේ. එහෙත් ආර්ථික කටයුතුවල ඇති වන පසුබෑම අපට පසුව ක‍්‍රමයෙන් හදාගත හැකිය. පසුගිය සිකුරාදායින් පසුව තවත් කොරෝනා මර්දන ක‍්‍රියාමාර්ග අලූතින් හඳුන්වා දීමට රජය විසින් තීරණය කළේ මේ නිසා විය හැකිය. එහෙත් රජයට මේ සම්බන්ධයෙන් තවත් නුවණ පහළ විය යුතුව තිබේ. කොරෝනා මරණ බිංදුව බවට පත් කරගත නොහැකිය. එහෙත් නිසි පියවර අනුගමනය කිරීමෙන් වළක්වා ගත හැකිව තිබෙන කොරෝනා මරණ ප‍්‍රමාණය වළක්වා ගත යුතුව තිබේ.

 මේ අතර පෙරේදා (18* මෙරටින් වාර්තා වූ කොවිඞ් මරණ ගණන 171 ක් දක්වා ඉහළ ගියේය. එසේම එදින වාර්තා වූ කොවිඞ් ආසාදිතයින් ප‍්‍රමාණය 3555 ක් දක්වා ඉහළ ගොස් තිබිණි. තවත් අමතක නොකළ යුතු දෙයක් තිබේ. එනම් කොවිඞ් ආසාදිතයින් ගණන විශාල වශයෙන් ඉහළ යාම නිසාම මරණ ප‍්‍රමාණය ඉහළ යාමේ හැකියාව ද පවතින බවයි. මේ වන විට කොරෝනා මරණ අනුපාතය සියයට 5ක් පමණ දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. මේ නිසා අප දැන් මුහුණ දී සිටින්නේ 2020 මාර්තු මාසයේ අප රට වසන අවස්ථාවේ දී පැවති තත්ත්වයට වඩා හැම අතින්ම බැ?රුම් තත්ත්වයක බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු ද නොවේ. වසංගත රෝග විශේෂඥයන් මේ තත්ත්වය සම්බන්ධයෙන් ලබා දෙන තොරතුරු සහ ලබාදෙන පුරෝකථන ඒ සම්බන්ධයෙන් වන කිසියම් බුද්ධි තොරතුරු ලෙස රජයේ අදාළ අංශ විසින් සැලකිය යුතුව තිබේ. පාස්කු ප‍්‍රහාරයේ බුද්ධි තොරතුරු නොසලකා හැරීම නිසා සිදු වූ මරණ අපරාධයක් ලෙස සලකන්නේ නම් මේ වසංගතය පාලනය කිරීමට නිසි පියවර නොගැනීම නිසා සිදුවන (වළක්වා ගත හැකිව තිබෙන) මරණ ගැන අප සැලකිය යුතු වන්නේ කෙසේ ද? ඒ නිසා මෙහි බරපතල වගකීමක් රජයේ තීන්දු තීරණ ගන්නා අයට දැරීමට සිදු වනු ඇති බව ද අපි සිහිපත් කරමු. කෙසේ වෙතත් රජය විසින් ඉදිරි තත්ත්වයන් අනුව තවදුරටත් සුදුසු තීරණ ගනු ඇතැයි අපි දැනට ශුභවාදීව සිතමු.

 මානව සම්පත අපට තිබෙන විශාලතම ආර්ථික ශක්තියකි. මිය යන මිනිසුන්ගේ ජීවිතවල වටිනාකම මුදලින් මැනිය නොහැකිය. මෙලෙස සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව කොරෝනා මර්දනය කිරීමට නිසි සහ ප‍්‍රමාණවත් ක‍්‍රියාමාර්ග නොගැනීමේ විපාක ලෙස ජනයාට කොරෝනාවෙන් මිය යන්නට සිදු වන තත්ත්වයක් නිර්මාණය වේ. එය වළක්වා ගත යුතු වේ. ජනයාට ද සෞඛ්‍ය උපදෙස් සියයට සියයක් පිළිපැද ආරක්ෂිතව කටයුතු කිරීමේ වගකීමක් තිබේ. ඒ සියලූ වගකීම් රජයටම බැර කළ නොහැකිය. කොරෝනා පාලනය ගැන මුල සිටම තිබූ රජයේ අධිතක්සේරුව (ඇතැම් අය මෙය හඳුන්වන්නේ රජයේ උද්දච්චකම ලෙසය.) තවදුරටත් රටටත්, ආර්ථිකයටත් විපතක් විය හැකිය. ඒ නිසා ‘අපි තමයි හොඳටම කරේ’ කියා සිතන්නේ නැතුව, එම අධිතක්සේරුවෙන් මිදී රජයේ තීන්දු තීරණ ගන්නා අයට නිසි තීරණ අප‍්‍රමාදව ගැනීමට තවදුරටත් නුවණ පහළ වේවායි අපි ප‍්‍රාර්ථනය කරමු.

 ආර්ථික කටයුතු වේගයෙන් නැවත පණ ගන්වා ගැනීමට අවකාශ සැලසෙන්නේ ද මේ වේගයෙන් පැතිරෙන වසංගත තත්ත්වය පාලනය කර ගැනීමෙන් බව ද අපි සිහිපත් කරමු. එන්නත්කරණයෙන් මෙයට විසඳුමක් තිබුණත් තවමත් එන්නත් මාත‍්‍රා දෙකම ගත් ප‍්‍රමාණය සියයට 20 කට වඩා තරමක් වැඩි විය හැකිය. ඒ නිසා ඉදිරි සති කිහිපයේ තවමත් ජනයාගෙන් විශාල පිරිසකට ආරක්ෂාවක් නැත. එන්නත්කරණය එක විසඳුමක් මිස එකම විසඳුම ද නොවේ. කොරෝනා මර්දන ක‍්‍රියාමාර්ග නිසා කිසියම් දුරකට අපගේ ආර්ථික කටයුතු අඩපණ විය හැකිය. එහෙත් මේ මොහොතේ වළක්වා ගත හැකිව තිබෙන මරණ ප‍්‍රමාණය හෝ වළක්වා ගත යුතුය. ඉදිරියේ දී වෙනත් වෛරස ප‍්‍රභේද ඇති වන බවට ද පුරෝකථන තිබේ. ඒ සෑම අවස්ථාවකම රට වැසීමට පුළුවන් ද කියා යමෙකුට ප‍්‍රශ්න කළ හැකිය. එහෙත් දැන් කළ යුතු දේ දැන් කළ යුතුය. මේ අවස්ථාවේ මිනිස් ජීවිත රැුක ගත හැකි ප‍්‍රමාණය රැකගෙන ඉදිරි වෛරස ප‍්‍රභේදවලට මුහුණ දීම ගැන ද අප පසුව සුදුසු පරිදි අවස්ථානුකූලව තීරණ ගත යුතුය. ඒ සඳහා ද නිසි පෙර සූදානමක් අපි ඇති කර ගනිමු. මේ නිසා මිනිස් ජීවිතත්, ආර්ථිකයත් යන දෙකම අපට නොසලකා හැරිය නොහැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment