මිනිස් බලුව*

1053

වර්ෂ 1802 සිට 1885 දක්වා ප‍්‍රංශයේ ජීවත් වූ කීර්තිමත් ලේඛක වික්ටර් හියුගෝ විසින් ලියන ලද ‘LesMiserables’ නමැති සම්මානනීය කෘතිය හෝ එහි සිංහල පරිවර්තනය වන මනුතාපය ක‍්‍රි. ව. 2000න් පසු උපන් පරම්පරාවෙන් 80%ක් වත් කියවා නැති බව අපට විශ්වාස ය. 1832 දී සිදුවූ ප‍්‍රංශ විප්ලවයෙන් පුබුදුවා ගත් සානුකම්පිත චින්තනයක් ඔස්සේ ලියා ඇති මේ පොතෙහි ප‍්‍රමුඛ භූමිකාව වන්නේ ෂෝං වැල්ෂෝං නමැති සොරෙකි. සිය සහෝදරියගේ දරුවා බඩගින්නේ කෑ ගසනවිට කඩයකින් පාන් ගෙඩියක් සොරා ගන්නා ෂෝං වැල්ෂෝං පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබ හොඳට ම ගුටි කා හිරේ යයි. හිරේදී ඔහු පැන යන්නට උත්සහ කර ගාඞ්ලාට අසුවීමෙන් හිර දඬුවම තුන්ගුණයක් දක්වා වැඩි වෙයි. මේ කතාව තවත් දිගට තිබේ. 19 වන සියවසේ ප‍්‍රංශ සමාජයේ තිබූ අධම වැඩවසම් දේශපාලනය කෲර රාජාණ්ඩු පාලනය ද නූගත්කම සහ එහි අතුරුඵලයක් වූ දරිද්‍රතාව ද මේ නව කතාවෙන් මනා ලෙස චිත‍්‍රණය කෙරේ. හොඳ මිනිහකු හොරෙක් කර එතැනින් නොනැවතී මිනී මරුවකුත් කිරීමට සමාජයට පුළුවන. එසේම පොල් ගෙඩියක් සොරකම් කළ මිනිසෙක් මහත් සේ වධ බන්ධනයට ලක්කොට සමාජයට වෛර කිරීමට පොළඹවා ඔහු භයානක අපාරධකරුවකු බවට පත්කිරීමට ද සෑම කල්හිම හැකියාව තිබිණ. පහත සඳහන් පුවත සමග ෂෝං වැල්ෂෝං ගේ කතාව කොතරම් දුරට ගළපාගත හැකි ද යන්න බලන්න;

මීට මාස හයකට පමණ පෙර මාරවිල පොලිස් වසමට අයත් නාත්තණ්ඩියේ ජීවත්වන තිදරු පියෙක් පොල් වත්තකට පැන පොල් ගෙඩියක් සොරකම් කළේය. ඔහු අල්ලා ගත් වත්තේ අයිතිකරුවන් සහ එම අයිතිකරුවන්ගේ කටු ලෙවකන මිනිස් බල්ලන් කිහිපදෙනෙක් ඔහු නිරුවත්කර පොලූවලින් පහර දී අඩි හයක පමණ ලීයක් කුරුසියේ හරස් ලීය ආකාරයෙන් ඔහුගේ ගෙල පිටුපස රඳවා දෑත් එහි බැඳ පහර දෙමින් පාරවල් දිගේ ගෙන ගියහ. ඒ අතර එම සම්පූර්ණ සිද්ධිය ස්මාර්ට් දුරකතයකින් වීඩියෝ කිරීම ද සිදුවිය. මීට දින කිහිපයකට පෙර මේ වීඩියෝව අන්තර්ජාලයට මුදාහරින ලදී. ඒ, මේ වත්තෙන් හොර පොල් කඩන සෙසු මිනිසුන්ට පාඩමක් වනු පිණිස ය. මේ කාරණය ප‍්‍රසිද්ධ වීමත් සමගම පොල් ගෙඩිය සොරකම් කළ මිනිසාගේ දූ දරුවෝ අධික ලැජාවට පත්ව පාසල් යෑම ප‍්‍රතික්ෂේප කළහ. එම පුද්ගලයාගේ මව රූපවාහිනියට පවසා තිබූ කතාවට අනුව සවස් කාලයේදී දරුවන් තිදෙනාට කෑමට දෙනු පිණිස බත් උයා පොල් සම්බෝලයක් සෑදීම සඳහා පොල් ගෙඩියක් සොයාගෙන එන ලෙස ගුටි කෑ පුද්ගලයාට දන්වා තිබේ. මෙහිදී හරි වේවා හෝ වැරදි වේවා, ඔහු පොල් වත්තට පැන පොල් ගෙඩියක් සොරකම් කර ඇත. වත්තේ අයිතිකරුවන් සහ උන්ගේ තිරිසන් රැුළ සිය ම්ලේච්ඡු පහරදීම සහ එය රූපගත කිරීම පටන් ගන්නේ ඉන්පසුව ය. අන්තර්ජාලයට පින් සිදුවන්නට සිද්ධියට සම්බන්ධ මිනිස් බල්ලන් පිරිස අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලිසියට හැකි විය. ඔවුන් උසාවියට ඉදිරිපත් කරනු ලැබ ඇප ලබා ගෙවල් බලා ගියහ. මාරවිල පොලිසිය විරුද්ධ වුණා නම් මෙකී මිනිස් බල්ලන්ට ඇප නොලැබෙන බව අපගේ විශ්වාසයයි. මිනිස් බැලූ රැුළ ඇප ලබා නිදහස් වී පොල් ගෙඩිය සොරකම් කළ පුද්ගලයාගේ අත පය හතර කැඞීමේ අවදානමක් ඇති බව පොලිසිය විසින් ගරු අධිකරණයට දන්වන ලද්දේ නම් යුක්තිය පසිඳලන සාධාරණ අධිකරණය වෙනත් පියවරකට යෑමට ඉඩ තිබිණ. කෙසේ වුවද අපි අධිකරණයට ගරු කරමු. එයට අවනත වෙමු. මේ සිද්ධිය ගැන වැඩි විස්තර දැන ගැනීම සඳහා මාරවිල පොලිසියේ ඕ. අයි. සී.ට අපි කතා කළෙමු. ඒ ගැන සියලූ විස්තර දීමට එතුමා කැමැත්තෙන් සිටිය ද ‘ඒ. එස්්.පී.’ සර්ගෙන් හදිසි කෝල් එකක් එතුමාට ලැබුණු බැවින් අපේ කෝල් එක කට් විය.

සොරකම වරදකි. පොල් ගෙඩියක් නොව, පොල් කෙන්දක් වුව සොරකම් කිරීම පන්සිල් පද පහෙන් එකක් කැඞීමකි. සමහරවිට පොල් ගෙඩිය කැඩූ මිනිසා පන්සිල් නොගන්නා මිථ්‍යාදුෂ්ටිකයකු වීමට ඉඩ තිබේ. කෙසේ හෝ වේවා පොල් ගෙඩියක් සොරකම් කිරීමේ වරදට මෙ පමණ ගුටි ගොඩක් කෑමට සිදුවීම නිසා ඔහු භයානක අපරාධකාරයකු වීමට පවා ඉඩ තිබේ. එවිට එහි වගකීම නාත්තණ්ඩියේ වතු අයිතිකාරයන්ගේ මස් කටු ලෙවන මිනිස් බල්ලන් විසින් භාරගනු ලැබිය යුතුය. මෙබඳු නීච අපරාධවලට එරෙහිව මිනිස්සු සංවිධානය වෙති. මේ පහරදීම පිළිබඳ වීඩියෝව අන්තර්ජාලයට මුදාහරින ලද සැනින් නාත්තණ්ඩියේ මිනිස්සු පොල් වත්ත ඉදිරිපිටට ගොස් පුවරු ඔසවා ගෙන විරෝධතාවක නිරත වූහ. මෙහිදී තවත් කාරණා දෙකක් කියමු. පළමුව මාරවිල පොලිසියේ ඕ. අයී. සී. සමග හෝ ‘ඒ. එස්. පී. සර්’ගෙන් කෝල් එකක් ආ නිසා අපිට කතාව අහගන්නට බැරිවීම ගැන හෝ අපට ප‍්‍රශ්නයක් නැත. එසේම බල්ලන් සම්බන්ධයෙන් අප තුළ මහත් ගෞරවයක් තිබේ. හැබැයි බල්ලන්ට මිනිස් ගතිගුණ පැමිණිවිට ඒ බල්ලෝ ද නීච අධමයෝ බවට පත්වෙති. මෙහි ඇති මිනිස් බල්ලන් යන යෙදුම කෘතවේදී සුනඛ ප‍්‍රජාවට අපහාස කිරීමට නොව, පොල් වත්තේ කටු ලෙවකන හැතිකරය වෙනුවෙන් යොදන ලද්දකි. පාන් ගෙඩියක් සොරකම් කළ ෂෝං වැල්ෂෝං මිනියක් මැරුවා සේ හිරේ ගියේය. පොල් ගෙඩියක් හොරෙන් කැඩූ එකා මිනියක් මැරුවා සේ ගුටි කෑවේය. මේ කතාව අදට මෙතකින් නිමවන නමුදු ඉදිරියටත් සාකච්ඡා කෙරෙනු ඇත.

(*ශ‍්‍රීමත් ආතර් කොනන්ඩොයිල් විසින් ලියන ලද ‘ද හවුන්ඞ් ඔෆ් ද බැස්කවීල්’ නැමැති පොතක තිබේ. නපුරු බල්ලකු ගැන කියවෙන මේ පොතේ සිංහල පරිවර්තනයේ නම රුදුරු බලූව ය. මිනිස් බලූව යන ශීර්ෂපාඨය ගළපන ලද්දේ ඒ ආශ‍්‍රයෙනි.)

advertistmentadvertistment
advertistmentadvertistment