ආයුධ නිෂ්පාදනය කිරීමේ පොදු එකඟතාවකට ලෝක නායකයන්ට බලපෑම් කළ යුතු බවත්, මානව වර්ගයා ආරක්ෂා කිරීමට වැය කරන මුදලට වඩා වැඩි මුදලක් මානව වර්ගයා විනාශ කිරීමට අවි නිපදවීමට යෙදවීම නතර කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
දකුණු කොරියාවේ පැවති විශ්ව සාම සම්මේලනයේ විශේෂ දේශනය පවත්වමින් ඔහු මේ බව කීය. එම දේශනයේදී හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
“මා දකින සිහිනය, වසර 35ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, කැබිනට් අමාත්‍යවරයෙකු සහ අවසානයේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 6 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස සේවය කිරීමෙන් මා ලබා ඇති දේශීය හා ජාත්‍යන්තර නිරාවරණය සහ අත්දැකීම් මත ගොඩනැඟුණු සිහිනයකි. මගේ දේශපාලන ජීවිතය වසර 55කට වඩා වැඩියි. නිසැකවම එය 2025 ලෝක සමුළුව නියෝජනය කරන බොහෝ තරුණ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට වඩා මහළුය.
මම නැවත අවධාරණය කරමි. මට සිහිනයක් තිබේ! වෛරය, කෝපය සහ ඊර්ෂ්‍යාව වෙනුවට, එකිනෙකාට සහ සොබාදහමට අසීමිත ලෙස ආදරය කරමින්, සහෝදරත්වයෙන් එක්සත් වී සිටින මිනිසුන් දැකීමට මම සිහින දකිමි.
මානව වර්ගයා විනාශ කිරීම සඳහා මහා විනාශකාරී අවි නිෂ්පාදනය කිරීම සඳහා වන ආයෝජන, ගෝලීය වශයෙන් මානව වර්ගයා ආරක්ෂා කිරීම සඳහා වැය කරන මුදලට වඩා, ආහාර නිෂ්පාදනය සඳහා වැය කරන මුදලට වඩා, ඖෂධ නිෂ්පාදනය සඳහා වැය කරන මුදලට වඩා, අධ්‍යාපනය සඳහා වැය කරන මුදලට වඩා, පර්යේෂණ හා සංවර්ධනය සඳහා වැය කරන මුදලට වඩා, පරිසරය ආරක්ෂා කිරීම සහ මානව වර්ගයාගේ පැවැත්ම සඳහා වැය කරන මුදලට වඩා බෙහෙවින් වැඩි ය.
මිනිසුන් මරා දමන ආයුධ නොමැති ලෝකයක් දැකීම මගේ සිහිනයයි. ආයුධ නිපදවන තුරු ගැටුම් දිගටම පවතී. එබැවින්, අපි විශ්ව සාම සම්මේලනය ලෙසින්, ලෝක නායකයන්ට ආයුධ නිෂ්පාදනය නතර කිරීමේ පොදු ප්‍රතිපත්තිමය එකඟතාවකට එළඹීමට, බලපෑම් කළ යුතුය. මිනිසුන් මරා දැමීමට වැය කරන සෑම ඩොලරයක්ම, මිනිසුන් ජීවත් කරවීම සඳහා ආයෝජනය කරනු දැකීමට මාගේ සිහිනයයි. වෛරය වැපිරීම සහ ගැටුම් උත්සන්න කිරීම වෙනුවට, තොරතුරු තාක්ෂණය සාමය සහ සංහිඳියාව පතුරුවා හැරීමට යොදා ගනු දැකීම මගේ සිහිනයයි. ගැටුම් නතර වීමේ ප්‍රතිඵලයක් ලෙස කුසගින්න නොමැති ලෝකයක මිනිසුන් තම ශක්තිය වගා කටයුතු සඳහා වැය කරනු දැකීමට මම සිහින දකිමි. පරිසර දූෂණයට හේතුවන ස්වාභාවික හා මිනිසා විසින් නිර්මාණය කරන ලද සියලු සාධක අවසන් වනු දැකීම මාගේ සිහිනයයි.