මිනී පෙට්ටිය ඇරීම සහ මිනී පෙට්ටිය වැසීම

2090

ලිවිය යුතු කාරණා කිහිපයක්ම අපට තිබේ. ගෑස් මිල රුපියල් තුන්සිය හැටතුනකින් ඉහළ නැගීම නිසා දුප්පත් මිනිස්සු ආණ්ඩුවට බණින බැණුම් අසමින්ම අපි ඉතිරි හරිය සාකච්ඡා කරමු. කිරි පිටි ලොකු හිඟයක් වෙළෙඳපොළේ පවතී. කිරිපිටි මෝල්කාරයන් කියන්නේ විදේශ වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළයෑම නිසා පවතින මිල ගණන්වලට කිරි පිටි විකිණිය නොහැකි බවයි. එයට සහනයක් වශයෙන් ආණ්ඩුව කිරි පිටි ආනයන බදු ඉවත් කළත් කිරිපිටි කිලෝවක මිල රුපියල් දෙසීයකින් වැඩි කළ යුතු බව මෝල්කාරයෝ කියති. ඒ අතර අපට දැනගන්නට ඇත්තේ මේ රටේ ප‍්‍රකට කිරි පිටි සමාගම් දෙකක් විසින් ගෙන්වන ලද කිරිපිටි කන්ටේනර් විශාල ප‍්‍රමාණයක් වරායේ තිබෙන බවය. කිරි පිටි මිල වැඩිවෙතැයි යන බලාපොරොත්තුවෙන් ඔවුහු එම කන්ටේනර් තොගය වරායෙන් ඇතුළට නොගනිති. මිල වැඩි වූ පසු අලූත් මිලට ඒවා විකිණිය හැකිය. කිරි පිටි වෙළෙඳපොළේ ප‍්‍රශ්නයක් ඇතිවන හැමවෙලාවකදීම ගිය ආණ්ඩුවත් ඊට කලින් තිබූ ආණ්ඩුත් සඳහන් කළේ පිටරටින් එන කිරිපිටි වස බැවින් ශ‍්‍රී ලංකාවේ දියර කිරිවලට අප පුරුදු විය යුතු බවය. මේ රට ඝර්ම කලාපික රටකි. මේ රටේ වැඩිදෙනාට දියර කිරි පානය කළ විට බඩ බුරුල්වීමට පටන් ගනී. ඒ නිසා විරේක බෙහෙතක් ලෙස මිස මේදය සහ ප්‍රෝටීන අඩංගු පානයක් ලෙස දියර කිරි මෙරටට නුසුදුසු බව පෙනේ. එහෙත් රටේ වැඩිහරියක ශ‍්‍රී ලංකාවේ දේශගුණය පවත්නා ඝර්ම කලාපික රටක් වන ඉන්දියාවේ ජනතාව ඇති තරම් දියර කිරි පානය කළ ද ආබාධයක් ඇතිවන්නේ නැත. සමහරවිට මෙය කර්ම ශක්තිය විය හැක. නොදන්නා සෑම දෙයකටම කර්මය ආදේශ කිරීමේ පුරුද්ද අප සතුව නොමඳව ඇත. දැනට පැතිර යන කොවිඞ් වසංගතය ද එම කර්ම බලයේම කොටසක් ලෙස අර්ථ නිරූපණය කර හිත හදාගැනීමට හැකි නමුත් දිනෙන් දින වැඩිවන මළ මිනී සංඛ්‍යාව ගැන හිතන විට හිත ආපසු බිඳී යයි.

මේ වැකිය ලියන මොහොතේදී ආණ්ඩුව එල්ලී සිටියේ රට වහනවාද නැත්නම් දිගටම ඇර තබනවාද යන අර්බුදයෙහි ය. නිදහසින් පසු මේ රටේ සෞඛ්‍ය අංශ මුහුණ දුන් ලොකුම අවුල කොවිඞ් 19 ය. ගිය අවුරුද්දේ මුල පටන් මේ දක්වා අවස්ථා කිහිපයකදීම ලොක්ඩවුන් විසඳුමට යෑමට ආණ්ඩුව කටයුතු කළ ද වැඬේ දිගින් දිගටම අල වූවක් මිස වෙනත් විසඳුමක් ලැබුණේ නැත. අද වන විට සියලූම වෛද්‍ය සංගම් කියන්නේ රට වැසිය යුතු බවය. එහෙත් ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තියට අනුව රට ඇර තැබිය යුතුම ය. නොඑසේ නම් කොවිඞ්වලින් මියයන ජනගහනයට වැඩි ජනගහනයක් කුස ගින්න නිසා මිය යෑමට නියමිතය. මේ මොහොතේදී මේ රටේ සියලූම ඉස්පිරිතාල කොවිඞ් රෝගීන්ගෙන් පිරී ඉතිරී පවතී. ඉස්පිරිතාලවල ඕ පී ඞී පෝලිම්වල සිටින රෝගීහු ඇතැම් විට මැරී වැටෙති. නැත්නම් වැටී මැරෙති. ඇඳවල් උඩ මෙන්ම ඇඳවල් යට ද ලෙඞ්ඩු සිටින්නාහ. රෝහල් වැඩිහරියක කොරිඩෝවල කොවිඞ්
රෝගීහු වැතිර සිටිති. මේ මොහොතේදී මේ වසංගතය ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහී ගොස් ඇති බව පෙනේ. කිසියම් රටක පවත්නා ඕනෑම දෙයක් ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහීම ඉතාම භයානකය. මේ මොහොතේදී ශ‍්‍රී ලංකා යුද හමුදාව කරන මෙහෙවර අති විශාලය. ප‍්‍රභාකරන් මිනීමරුවෙකි. කොවිඞ් ද මිනීමරුවෙකි. යුද හමුදාව ඉදිරිපත් වී කොවිඞ් සංහාරය කිරීමටත් ගොඩගැසෙන මළ මිනී සංඛ්‍යාව අඩු කිරීමටත් ගන්නා උත්සාහයට අපගේ ගෞරවාචාරය පිරිනැමේ. වසංගතයක් හමුවේ දී රටක් වැසිය යුතුද? මෙහි න්‍යායාත්මක උත්තරය වන්නේ ඔව් යන්නය.

ප‍්‍රායෝගික උත්තරය වන්නේ නැත යන්නය. විශේෂයෙන්ම වසංගතයක් තබා බ‍්‍රහස්පති ග‍්‍රහයාගෙන් කෑල්ලක් බිමට කඩා වැටුණත් ලංකාව වැනි රටක් වසා දැමීමට නොහැක. ඉකුත් කාලයේදී විටින් විට රට වැසීම නිසා ආර්ථිකය සියයට හැට හැත්තෑවකින් අඩාල විය. ශ‍්‍රී ලංකාව වූකලී අදටත් එදිනෙදා ජීවිතය ගැට ගසා ගන්නා රටකි. දෛනිකව වැටුප් ලබන ශ‍්‍රමිකයකුගේ ස්වරූපය හා ශ‍්‍රී ලංකාව එක සමානය. දිනපතා වැටුප් ලබන කම්කරුවා දවසක් ගෙදර නැවතුණොත් එදාට ගෙදර ආහාර හිඟය. දෙදිනක් නැවතුණොත් ආහාර අහේනියක් හටගනී. තුන්වැනි දිනයේදී සාගතයක් එළඹේ. මේ ආර්ථික ස්වරූපයෙන් ගොඩඑන තුරු, කොවිඞ් අර්බුදයේදී නිව්යෝර්ක්, මෙල්බර්න්, ලන්ඩන් හෝ පැරිස් වසා දැමූ පරිදි රට වසා දමන්නට අපට නොහැක. ඉහත සඳහන් ප‍්‍රධාන නගර එකිනෙකෙහි ආර්ථිකය ලංකාවේ ආර්ථිකය මෙන් හත් අට ගුණයක් විශාලය. අපි ඉතා පුංචි දේශීය නිෂ්පාදනයක් නැති රසායනික පොහොර අනුභව කර වකුගඩු පිළිකා හදාගන්නා රටක් වෙමු. මේ සංයුතිය තුළදී රට වැසුවොත් ආර්ථිකය මැරේ. රට ඇරියොත් මිනිස්සු මැරෙති. කිරීමට ඉතිරිව ඇති එකම දේ මේ තත්ත්වය බැලන්ස් කිරීමය. අපගේ මිනී පෙට්ටිය විවෘත කර හිස්ව තැබීම හෝ අපේ මිනිය දමා වසා තැබීම අපේ වගකීමකි.

advertistmentadvertistment
advertistmentadvertistment