මිරිහානේ සිද්ධියට ආරක්ෂක  කවුන්සිලයේ රැස්වීමක් කැඳවා නැහැ – ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න

201

මිරිහාන ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී විරෝධතාවය සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවා ඇතැයි පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. එසේම එම මාධ්‍ය වාර්තාවල සඳහන් කරුණු අසත්‍ය බව ද ඒ මහතා සඳහන් කරයි. ඒ සම්බන්ධව ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

 ජාතික ආරක්ෂක කවුන්සිලයේ  රැස්වීම්වලදී නිල නොවන පුද්ගලයන් තනතුරු දැරූ අවස්ථා නොමැත.

 ආරක්ෂක අමාත්‍යවරයා සහ සභාපතිවරයා ලෙස ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන්, විදේශ අමාත්‍ය, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ජනාධිපති ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විදේශ අමාත්‍යාංශයේ ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, භාණ්ඩාගාර ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ව්‍යවස්ථාපිත සාමාජිකයන් වන අතර, ජාතික බුද්ධි ප්‍රධානී සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජෙනරාල්, යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ ජෙනරාල්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී මෙහි පත්කර ගන්නා ලද සාමාජිකයන් වේ.

 රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සියලුම තීරණ  ගැනීමේ ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආයතනය ජාතික ආරක්ෂක කවුන්සිලය වන බැවින් මෙම රැස්වීම සඳහා සත්කාරකත්වය සපයනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය විසිනි.

 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු කිසිදු නිල නොවන පුද්ගලයෙකු හට මෙම රැස්වීම් සඳහා ආරාධනා / අවසර ලබාදී නොමැත.

 ජාතික ආරක්ෂාවට බලපාන කරුණු තිබේ නම්, ඊට අදාළ ආයතනවල ප්‍රධානීන් කැඳවා ආරක්ෂක කවුන්සිලයේ  රැස්වීම්වලට පෙර ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇත.

 එබැවින්, මෙම තොරතුරු වැරදි, පදනම් විරහිත සහ ජනතාව නොමග යවන සුළු වන අතර, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙවැනි සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් සහ බෙදාහැරීමෙන් වළකින ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මාධ්‍ය වෙත සහ මහජනතාවට උපදෙස් ලබාදෙනු ලැබේ. තවද ආරක්ෂක අමාත්‍යාංශය විසින් රටේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු අධීක්ෂණය කිරීම සිදු කරනු ලබන අතර, ජාතික වැදගත්කමක් ඇති කරුණු පිළිබඳව නිරන්තර යාවත්කාලීන කිරීම් නිකුත් කරනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment