දොස්තරලත් එළියට බස්සපු අනුරපුර සිදුවීම

දීර්ඝ අටුවාවන් වුවමනා නැත. කතාවේ අග මුල මැද සියල්ල රටේ බොහෝ දෙනා මේ වනවිටත් දන්නේය. “අනුරාධපුරයේ සිදුවීමට” තටු ලැබී ඉඟිල යන විට ජාත්‍යන්තර කාන්තා දිනයේ උණුසුම පහව ගොස් තිබුණේ ද නැත.

අනුරපුර සිදුවීම හුදකලා සිදුවීමක් හැටියට ගත යුත්තක් නොවේ. නිතිපතා, කාන්තාවන්ට සිදුවන අතවර පීඩාකාරී සිදුවීම් අතර එය එක් සිදුවීමක් පමණය. සංඛ්‍යාත්මකව ගත් කල වාර්තා වන මෙවැනි සිදුවීම් බහුලය. වාර්තා නොවන සිදුවීම් ඊටත් වඩා වැඩිය. එකී වෛද්‍යවරිය මුහුණ දුන් අපුල, කෲරතර අත්දැකීම ගැන අප කතා කළ යුත්තේ එවැනි පසුබිමක හිඳය.

සිදුවීම

ජාත්‍යන්තර කාන්තා දිනය එළැඹ තිබුණේ පසුගිය අටවැනිදාය. 10 වැනිදා අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරියක් රෝහල ඉදිරිපිට නේවාසිකාගාරයට යමින් සිටියදී ඇයගේ ගෙලට පිහියක් තබා මරන බවට බියගන්වා ඇගේ අත් පා ගැටගසා බරපතළ ලිංගික අපරාධයකට බඳුන් කර තිබිණි.

මෙරට පාර්ලිමේන්තුව තුළ සහ සිවිල් සමාජය තුළ ද දැඩි ලෙස කතා බහට ලක්වූ මෙම සිද්ධියට සම්බන්ධ චූදිතයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ වන්නේ ඒ අතරවාරයේදීය.

වැඩබලන පොලිස්පති, ප්‍රියන්ත විජේසූරිය මහතා සෘජුවම මේ සඳහා මැදිහත්වී උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන, උතුරු මැද දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අයි.බී.සී.ටී. සුගතපාල, අනුරාධපුර කොට්ඨාස භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී තිලින හේවාපතිරණ යන මහත්වරුන්ට උපදෙස් ලබා දීමෙන් අනතුරුව මේ ගැන විමර්ශනය කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් පහක් පත් කරන ලද්දේය.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ජයවීර රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් ඉතා සියුම් ලෙස කරන ලද පරීක්‍ෂණවලට අනුව මෙකී අපරාධය සිදු කළ සැකකරු සොරකම් කර රැගෙන ගිය, අදාළ වෛද්‍යවරියගේ ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තා හඳුනා ගත්තේය.

සැකකරු ගල්නෑව පොලිස් වසමේ අව්කන ප්‍රදේශයේ සැරි සරන බවට හඳුනා ගත්තේ එලෙසය. ඉන් අනතුරුව මෙම පුද්ගලයාගේ ඡායාරූප අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් ගල්නෑව පොලිසියට ලබාදීමෙන් අනතුරුව ගල්නෑව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. එම්. රොහාන් මුණසිංහ මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් අදාළ සැකකරු සොයා විමර්ශන ආරම්භ කළ අතර ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ද එක්වූහ.

සැකකරුගේ ඡායාරූප දුටු පොලිසිය ස්ථානාධිපතිවරයාට එක්වරම සිහියට නැගුනේ ගල්නෑව පොලිස් වසම තුළ පසුගිය කාලයේ සිදුවූ අපරාධ සිද්ධීන් රැසකට සම්බන්ධ සැකකරුවෙකු, මෙම රුවට සමාන බවය. අනතුරුව මෙම සැකකරු දිවයිනේ නමගිය, ලියාපදිංචි අපරාධකරුවන්ගේ නාමලේඛනයේ සිටින අයෙකු බවට ගල්නෑව පොලිස් ස්ථානාධිපතිවරයා තහවුරු කර ගත්තේය. ඒ ඔස්සේ විමර්ශන සිදු කර අවට පොලිසිවල සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ඇතුව ගල්නෑව පොලිස් වසමෙන් පිටවන සියලු ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ගවලට මාර්ග බාධක යොදා සැඟව සිටින සැකකරු සෙවීම ආරම්භ කළහ.

දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ගල්නෑව පොලිස් වසමේ නිදිකුම්බායාය ප්‍රදේශයත්, මහමෙව්නා අසපුවත් අතර කැලෑ කොටස තුළ සැඟව සිටි සැකකරු දැඩි පරිශ්‍රමයක් යොදා අපරාධ සිද්ධිය සිදුවී පැය 36ක් යෑමට මත්තෙන් අත්අඩංගුවට ගැනීමට එම පොලිස් කණ්ඩායම සමත් වූහ.

‘බන්ටි‘ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන එම සැකකරු, ගල්නෑව නව නගරය, ඩී. තුන ඇල පාර, ඩී. නිලන්ත මදුරංග රත්නායක නමැති 34 හැවිරිදි හිටපු යුද හමුදා සෙබළෙකු මෙන්ම චීවරධාරියෙකි. අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ දීර්ඝ පාපොච්චාරණයක් කර තිබිණි. 2008 වර්ෂයේ යුද හමුදාවට බැඳී, වැලිඔය ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටියදී, එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් උදරය ප්‍රදේශයට වෙඩි වැදුණු අයෙකි. අනතුරුව යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබා සුවය ලබා යළි රත්නපුර කුරුවිට ප්‍රදේශයේ කඳවුරක කෙටි කාලයක් සේවය කරමින් සිටියදී එම කඳවුරෙන් පැනගිය බව සැකකරු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

පසුව කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථානයකදී පැවිදි දිවියට පත්ව, අනතුරුව කුරුණෑගල වැව රවුම, රිදීගම සහ පොල්පිතිගම යන ප්‍රදේශවල විහාරස්ථාන කීපයක ද වාසය කර තිබේ. මේ සැකකරු ගැන කතාබහ අලුත් වන්නේ 2013 වර්ෂයේදී ගල්නෑව පොලිස් වසමේ ගෙවල් බිඳුම් දෙකකට ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය. අධිකරණයට ඉදිරිපත් කරන ලදුව වරදකරුවී ඉන් අනතුරුව, සිරගතව සිට යළි පැමිණ කෑගල්ල, රඹුක්කන, ගල්කිස්ස යන ප්‍රදේශවල ගෙවල් බිඳුම්, සොරකම් මංකොල්ලකෑම් රැසක් සිදු කර ඇති බවත් අවසන් වරට මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී, ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිට අනුරාධපුර බන්ධනාගාරයට මාරු කර යවා ඇති බවත් කියැවේ. වින්දිත වෛද්‍යවරියට ලිංගික අපරාධයක් සිදුකිරීම සිදුවන්නේ ඉකුත් මාර්තු 10 වැනිදා අදාළ සැකකරු ඇප ලබා පැමිණෙමින් සිටියදී බව ඔහුගේ පාපොච්චාරණයෙන් කියැවේ.

සැකකරු ඇප ලැබී පැමිණෙන අතරතුර වෛද්‍යවරිය නිල නිවාසයට ගමන් කරන අයුරු දැක තිබේ. එහිදී ඇය ලුහුබැඳ ගොස්, ගෙලට පිහියක් තබා බිය ගන්වා මෙම අපරාධය සිදු කර, වෛද්‍යවරියගේ ජංගම දුරකථනය රැගෙන ගිය බව ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා තිබිණි. එමෙන්ම, මෙම සැකකරුට නවාතැන් පහසුකම් ලබාදෙමින් රැකවරණය ලබාදීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුගේ, 37 හැවිරිදි වැඩි මහල් සහෝදරියක වන ගල්නෑව, නව නගරය, ඩී. තුන, ඇලපාර, පදිංචි සාලිකා හර්ශනී රත්නායක නමැත්තිය මේ මස 17 දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය. මුලින් කීවාක් මෙන් මෙය අනුරපුරයට පමණක්, ආසන්න කාලයට පමණක් සීමා වූ “අලුත් පන්නයේ අපරාධයක්” නොවේ. විවිධ වේශයෙන් පැමිණෙන අපරාධයේ එක් අවස්ථාවක් පමණි. එකී වෛද්‍යවරිය මෙන්ම අපරාධයට ගොදුරු වුණු, ඇය තරමින්ම කඳුළු සලන, ඒ අමිහිරි මතකයන් සමග සමාජයෙන් හුදකලාව දිවිගෙවන තවත් බොහෝ අය වෙති. එපමණක් නොව බරපතළ ලිංගික අපරාධයකින් නොනැවතී කෲරතර මරණයකට හිමිකම් කී දැරියන්, කාන්තාවන් බොහෝය. පීඩනය, අවමානය දරාගත නොහී දිවි තොර කරගත් අය ද බොහෝය. ඒ සියලු දෙනා වෙනුවෙන් යුක්තිය ඉල්ලා පියවරකට යා යුතු අවස්ථාව අනුරපුර සිද්ධිය සමග මතුව ආ බව අපේ විශ්වාසයයි. එමෙන්ම අනුරපුර සිදුවීම සමගම, මතුවුණු මාධ්‍යයේ හැසිරීම ගැන ද සංවාදයකට යා යුතුය. ආචාරධර්ම පද්ධතියකට, නියාමනයකට යටත් මාධ්‍ය මෙන්ම නියාමනයකට යටත් නොවන සමාජ මාධ්‍ය තුළ ද මේ ගැන සංවාදයට බඳුන් කළ අයුරු, වාර්තා කළ අයුරු හැසිරීම කොතරම් නරක තැනක තිබේදැයි පෙන්වා දුන්නේය.

විටෙක එය පංති බේදයක් ඉස්මතු කිරීමේ සිට, දේශපාලනික කාරණා දක්වාම ඇදී ගිය බවක් දක්නට ලැබිණි. අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ මතුව ඇති අනාරක්‍ෂිත තත්ත්වය නිරීක්‍ෂණය කිරීම සඳහා ගිය සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස කී කතාව ඉතා වටිනා එකක් බව කිව යුත්තේ ඒ නිසාය.

“අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියට සිදුවුණු හිංසනය අපි බැරෑරුම් සිද්ධියක් ලෙස සලකනවා. මේක එක වෛද්‍යවරියකට හෝ එක කාන්තාවකට සිදුවූ සිදු වීමක් හැටියට පමණක් නොවෙයි අපි සලකන්නේ, මෙවැනි සිදුවීම් ලංකාවේ නොවිය යුතුයි. වෘත්තිය තරා තිරම කිසිවක් නොසලකා කාන්තාවන්ට සුදුසු පරිසරයක් හදන එක තමයි අපේ ආණ්ඩුවේ කාර්ය භාරය.

දුර බැහැර ඉඳන් මෙවැනි රෝහලකට ඇවිල්ලා ප්‍රදේශයේ ජනතාවට සේවය කරමින් සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කෙනෙකුට මෙවැනි දෙයක් සිදුවීම අපි කනගාටු වෙනවා විතරක් නෙමෙයි, ඉදිරියේදී මෙවැනි දේවල් වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තමයි අද මම අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණියේ. ඊට අදාළව අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සමඟ අපි උදෑසන සාකච්ඡාවක් කළා. විශේෂඥ වෛද්‍යවරු සහ අනෙකුත් සියලුම කණ්ඩායම් සමඟ පළමුව දැනට පවතින මේ අර්බුදකාරී තත්ත්වය සිදු වීම නිසා, විශේෂයෙන් අපේ විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍යවරියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් සියලු දෙනා යම්කිසි ආකාරයක භීතියකට පත්වෙලා සිටිනවා. යම් කම්පනයකට පත්වෙලා තිබෙනවා.

අනුරපුර ශික්‍ෂණ රෝහල සම්බන්ධයෙන් විවිධ කරුණු කාරණා ඉස්මතු වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර ද රෝහල ආශ්‍රිතව පැනනැඟුණු විවිධ විෂමාචාරයන්, කොල්ලකෑම් ගැන වාර්තා විය.

දිවයිනේ රෝහල් අතුරින් අනුරාධපුර ශික්ෂණ රෝහලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ තිස් වසරක් පුරා පැවැති කුරිරු යුද්ධයේදී ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ රණවිරුවන් සහ මායිම් ගම්මානවල ජීවත්වූ අහිංසක වැසියන්ගේ ජීවිත බේරා ගැනීමට කරන ලද සුවිශේෂී මෙහෙවරක් නිසාය.

දිනකට තුන්දහසකට වැඩි රෝගීන් පිරිසක් ප්‍රතිකාර ලබාගැනීම සඳහා මෙම රෝහලට පැමිණෙන අතර නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා පිරිස දහස් ගණනකි.

උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වකුගඩු රෝගයට ලක්වූ දහස් ගණනක් රෝගීන් ප්‍රතිකාර ලබා ගැනීම මෙන්ම, අනුරාධපුර සංචාරයේ පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ඇතිවන හදිසි අසනීප තත්වයන් සහ සිදුවන හදිසි අනතුරු සඳහා ප්‍රතිකාර ලබා ගන්නේද මෙම රෝහලෙනි. මීට මාසයකට පෙර අනුරාධපුර සංචාරයේ නිරත වූ ඇමෙරිකානු ජාතික කාන්තාවකට ඇතිවූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි. නේවාසික ප්‍රතිකාර ලබා සුවය ලබා පිටව යන අවස්ථාවේදී ඇය අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම නිසා තමන්ගේ ජීවිතය බේරා දීමට කෘතගුණ සැලකීමක් ලෙස රුපියල් ලක්ෂ දහයක් වටිනා දැඩි සත්කාර ඇඳන්, රෝහලට පරිත්‍යාග කළාය. අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ සිදු කෙරුණු විශ්මිත ඝනයේ ඇතැම් ශෛල්‍යකර්ම මෙරට තුළ සිදුකර ඇත්තේ ප්‍රථම වතාවට වීමද විශේෂත්වයකි.

එවැනි සැත්කම් රාශියක් සිදුකර තිබෙන අනුරාධපුර ශික්ෂණ රෝහල මෑතකදී දැඩි ලෙස සමාජය තුළ කතා බහට ලක්වූ එක් සැත්කමක් වූයේ, රෝගියා නිර්වින්දනයට ලක් නොකර, අවදියෙන් සිටියදී එම රෝගියා සිතුවමක් අඳින අවස්ථාවේදී ඔහුගේ මොළයේ හට ගෙන තිබූ ගෙඩියක් ඉවත් කිරීමේ ශල්‍යයකර්මයයි.

වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය විසින් රෝගී ජනතාවට සිදු කරන මෙම විශිෂ්ට සේවාව අභිබවමින් අනුරාධපුර ශික්ෂණ රෝහල මෑත කාලය තුළ දැඩි ලෙස කතා බහට ලක්ව ඇත්තේ, එම රෝහල් පරිශ්‍රය තුළ හා ඒ අවට මේ වන විට මතුවී තිබෙන අපරාධ හා විෂමාචාර ක්‍රියාවන් හේතුවෙනි.

මීට වසර කිහිපයකට පෙර අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයට අයත් වැසිකිළියක කැමරාවක් සවිකර රෝහල් කාර්ය මණ්ඩල සේවිකාවකගේ නිරුවත් දර්ශන ලබා ගත් වෛද්‍යවරයෙකු අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් ද වාර්තා විය. ඉකුත් 2019 මාර්තු මාසයේදී 28දා අනුරාධපුර ශික්ෂණ ගිණුම් අංශයට ඇතුළුවූ සොරෙකු රෝහලේ සේප්පුව සූක්ෂම ලෙස විවෘත කර එහි තිබූ මුදල් රුපියල් හැටතුන් ලක්ෂ අනූඅටදාස් පන්සිය පනස් හතරක් සොරකම් කර තිබිණි.

ඉකුත් දිනක අනුරාධපුර ශික්ෂණ රෝහලේ 66 වන වාට්ටුවට අලුයම් කාලයේදී ඇතුළු වූ පුද්ගලයකු, එහි ප්‍රතිකාර ලැබූ රෝගියෙකු කපා කොටා ඝාතනය කළ අතර එහිදී 39 හැවිරිදි එම රෝගියා ජීවිතක්ෂයට පත්විය. පසුගිය 2024 වර්ෂයේ පෙබරවාරි මාසයේ දිනෙක අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ශල්‍යගාරය තුළ සැත්කමක් සිදු කරමින් සිටි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකුගේ රුපියල් ලක්ෂ තුනකට වැඩි අත්ඔරලෝසුව කිසියම් පුද්ගලයෙකු විසින් ශල්‍යගාරය තුළදී සොරකම් කර තිබුණි.

පසුගිය වසර පහක පමණ කාලය තුළ ශික්ෂණ රෝහල් භූමිය තුළ නවතා තිබියදී වෛද්‍යවරුන්ගේ හෙදියන්ගේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ සහ රෝගීන්ගේ යතුරුපැදි 15කට ආසන්න සංඛ්‍යාවක් සොරකම් කිරීමේ සිද්ධීන් පොලිසියට වාර්තා විය.

එමෙන්ම පසුගිය කාලයේ රෝහල් සේවකයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි මවක් රවටා ස්කෑන් කිරීමට රැගෙන යන බවට පවසා, රෝහලේ කාමරයක් තුළට ඇය රැගෙන ගොස් ඇය පැළඳ සිටි රන්බඩු සියල්ල ගලවා ගෙන පලා යෑමේ සිද්ධියක් ද වාර්තා විය.

මීට වසර කීපයකට පෙර අනුරාධපුර රෝහල් පරිශ්‍රයේ තිබූ කිලෝ ගණනක් බර, විශාල ප්‍රමාණයේ තඹ බොයිලේරුවක් සොරකම් කර තිබුණි. එමෙන්ම රාත්‍රී කාලයේදී රෝහල් සේවකයන් සඳහා නීති විරෝධී මත්පැන් රෝහල් පරිශ්‍රයට රැගෙන විත් විකිණීමද සිදුකර තිබිණි.

රෝහල් පරිශ්‍රය තුළ මේ දිනවල වැඩ ආරම්භ කර තිබූ ගොඩනැඟිල්ලක් සඳහා රැගෙන ආ තිබූ රුපියල් 76000ක් වටිනා ටයිල් තොගයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීට දින තුනකට (11දා) පෙර රෝහල් සේවකයෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු අනුරාධපුර මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තේය.

මේ අනුරාධපුර ශික්ෂණ රෝහල ආශ්‍රිතව සිදුවූ, සිද්ධීන් කිහිපයක් පමණි.

රෝහලේ නිරීක්ෂණ චාරිකාවේ නිරත වූ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ තිබෙන ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ තර්ජනයක් මතුව තිබෙන බවය. එම අනාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් පැමිණිලි ලැබී ඇති බවත්, එම පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී ඇත්තේ පසුගිය රජයන් පැවති සමයේ බවද කීය. බොහොමයක් පැමිණිලි රෝහල් පරිපාලනය තුළින් විසඳා ගත හැකිව තිබූ ඒවා බවද සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

ඇමැතිවරයා ඒ කියන කතාව හැබෑය. අනුරපුර ජනතාවද වගකිව යුත්තෝද ඒ බව දනිති. එහෙත් කෲරතර අපරාධමය කටයුත්තක් සිදුවන තුරුත් ඊට පිළියම් නොයෙදීම ගැන අප ලජ්ජා විය යුතුය. රජයට, සියලු වගකිව යුත්තන්ට සිහිපත් කළ යුත්තේ මෙය අනුරපුරයට පමණක් පොදුවූ කාරණයක් යැයි අපි විශ්වාස නොකරන බවය. රටේ බොහෝ ප්‍රදේශවල අපරාධමය ක්‍රියාවන්ට පාදකවිය හැකි, පසුබිමක් ඇති තැන් ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුය.

රංග චතූ – මිහින්තලේ


advertistmentadvertistment