මිහින්තලේ බස් නැවතුමේ සිටි දැරියන් දෙදෙනා වෑන් රියක දමාගෙන ගොස් අතරමං කළ දෙදෙනා අත්අඩංගුවට

189

පාසල් යනවා කියා ගෙදරින් ඇවිත්
එක් සැකකරුවෙක් දැරියකගේ පෙම්වතෙක්
දින දෙකක් හෝටල් කාමරයක රඳවාගෙන ඉඳලා

මිහින්තලය පන්සල සහ කටු සෑය වැඳ පුදා ගෙන මිහින්තලේ බස් නැවතුම්පළේ රැඳී සිටි 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාල වයස්කර පාසල් සිසුවියන් දෙදෙනකු රවටා වෑන් රථයකින් රැගෙන ගොස්, එක් සිසුවියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කර අනෙක් සිසුවිය අපහරණය කර අතවරයට ලක් කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සීප්පුකුලම කුකුලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයකු සහ සිවලාකුලම සමාධිගම ප්‍රදේශයේ පදිංචි 30 පුද්ගලයෙකි.

පාසල් යන බව නිවැසියන්ට පවසා එම සිසුවියන් දෙදෙනා කහටගස්දිගිලිය පොදු වැසිකිලියට පැමිණ, පොත් බෑගයේ සඟවා ගෙනා ආ පාට ඇඳුම් ඇඳ මිහින්තලය වැඳ පුදා ගෙන කටු සෑයට ගොස් බාරයක් වී නිවසට යෑමට මිහින්තලේ බස් නැවතුම්පලට පැමිණි අවස්ථාවේදී එම සිද්ධියට මුහුණ පෑ බව එම දැරියන්ගේ ප්‍රකාශවල සටහන් වේ.

බස් නැවතුම්පළේ රැඳී සිටියදී වෑන් රථයකින් එම ස්ථානයට පැමිණි එක් පාසල් සිසුවියකගේ පෙම්වතා බව කියන පුද්ගලයා දැරියන් දෙදෙනා වෑන් රථයේ දමා ගෙන නිවසකට රැගෙන ගිය අවස්ථාවේදී එම නිවැසියන් දැරියන්ගේ වයස අසා, එම නිවසේ නවතා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව පොලිසිය කියයි. අනතුරුව සැකකාර පෙම්වතා එම දැරියන් දෙදෙනා මිහින්තලයේ හෝටල් කාමරයකට රැගෙන ගොස් එකම කාමරයේ දින දෙකක් රඳවා ගෙන සිට ඇති බවත් දෙවැනි දිනයේ සැකකාර පෙම්වතාගේ යහළුවකු එම කාමරයට පැමිණ අනෙක් සිසුවිය සමග එකට සිට ඇති බවත් පොලිසිය සඳහන් කළේය. අනතුරුව පසුදා සැකකරු විසින් දැරියන් දෙදෙනා, කල්ලංචිය පොලිස් වසමේ රොටවැව ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් එක් දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සහ අනෙක් දැරිය අපහරණය කර අතවර සිදු කර ඇති බවත් පොලිසිය පවසයි.

සිද්ධියට මුහුණ පෑ දැරියන් මිහින්තලේ පොලිස් ස්ථානයට පැමිණ, පැමිණිලි කිරීමෙන් අනතුරුව ඔවුන් ලබා දුන් ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.
මිහින්තලේ රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment