මිහිඳු මහරහතන් වහන්සේගේ ධර්ම දේශනාවල විද්‍යාත්මක පදනම

121

ක්‍රි.පූ. 236 වැන්නේ මෙම මිහිතලය මත සිදුවූ දැහැමි විප්ලවය නම් මහින්දාගමනය යි. ගෞතම බුදුරදුන් විසින් පන්සාළිස් වසක් මුළුල්ලේ ලෝක සත්ත්වයාට දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය සහිත ත්‍රිපිටකය, මාගධී අට්ඨකතා ආදිය ලාංකික ජනතාවට දායාද කර ලංකාව බෞද්ධ රාජ්‍යයක් බවට පත්වූයේ මෙම මහින්දාගමනය නිසාවෙනි. ඒ නිසාම මහින්ද මහරහතන් වහන්සේ ලක්වැසියෝ දෙවැනි බුදුහාමුදුරුවෝ යන අර්ථයෙන් “අනුබුදු” යන නාමයෙන් හඳුන්වති.

මහින්දාගමනය සහ එම දූත පිරිස ගැන සඳහන් බ්‍රාහ්මී අක්ෂර වලින් යුතු සෙල්ලිපි දෙකක් මිහින්තලා හා රිටිගල බිම් වලින් සොයා ගෙන ඇත. “මහිද තෙර ච උහිය තෙර ච ඉටිය තෙර ච ” ආදී පාඨ වලින් එම ඓතිහාසික ගමන ස්ථීර වේ. එයට අමතරව ජාතික වංශකතාව වූ මහා වංශයේ 13 පරිච්ඡේදයේ සිට 20 වන පරිච්ඡේදය දක්වාම මහින්දාගමනය සහ එහි විපුල ප්‍රයෝජනය වර්ණනා කොට ඇත.

ලක්දිවට පහනක් බඳු වූ මිහිඳු හිමියන් හෙළදිව වැසියන්ට හෙළ බසින් දම් දෙසූ බවද මහාවංශ 14 පරිච්ඡේදයේ සඳහන් වේ. සැබවින්ම මිහිඳු හිමියන්ගේ කාර්යභාරය විපුල ය. සම්බුදු දහම ලක්දිව ප්‍රචාරය කිරීම පමණක් එහි අරමුණ නොවීය. මිහිඳු සංස්කෘතියන් දායාද කිරීම ද අභිප්‍රාය විය. ත්‍රිවිධ රත්නය ලක්වැසියන්ට හඳුන්වාදීම, නිර්වාණ මාර්ගය පහදා දීම, ජීව, අජීව පරිසරයේ නියමු සාධකය වටහා දීම, පින් පව් කුසල් අකුසල් පහදා දී සව් ලෝ සතුන්ට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ තුළින් ඉස්මතු වන ශාන්ත රසය බෙදාදීම ද මිහිඳු සංස්කෘතියේ පැහැදිලි සාධක විය.

ගස් ගල් පර්වත වන්දනය, යක්ෂ නාග දේව ඇදහිල්ල ඉන්දියානුවෝ මෙන් ම පැරණි හෙළයෝ ද අනුගමනය කළහ. කාෂාය වස්ත්‍රධාරී අනුබුදු මිහිඳු මාහිමි ප්‍රමුඛ මහරහත් පිරිසගේ දර්ශනයෙන් ඔදවැඩී ගිය ලාංකික ජනතාව දේවානම් පියතිස්ස රජු අනුගමනය කරමින් බුදුසමය සරණ ගියෝය. දේවවාදී තිරර්ථක වන්දනා ක්‍රම වලින් ඉවත් වූහ. චුල්ලහත්ථිපදෝපම, සමචිත්ත පර්යාය, ආසිවිසෝසම, බාල පණ්ඩිත, ධම්මචක්කපවත්තන, මහා හත්ථිපදෝපම සච්ච සංයුක්තය, විමානවත්ථු සහ පේතවත්ථු වැනි වූ ත්‍රිපිටකාගත සූත්‍ර මෙන් ම, බෞද්ධ සාහිත්‍යය උද්දීපනය කරන බෞද්ධ කතා වස්තු තුළින් ද මූර්තිමත් වූ ධර්මදේශනා මාලාවක් ඔස්සේ දන මන පුබුදු කළ මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධිමත් මෙන් ම බුද්ධි හීන ජනතාව ද එකසේ ආමන්ත්‍රණය කළසේක. මජ්ක්‍ධිම නිකායේ චුල්ලහත්ථීලදෝපම සූත්‍රය මිහිඳු මාහිමි විසින් පළමු කොට දේවානම් පියතිස්ස රජදරුවන් ප්‍රමුඛ පිරිසට කරන ලද ප්‍රථම ධර්ම දේශනාව වේ. මෙම ධර්මය ශ්‍රවණය කළ හතළිස් දහසක් ජනතාවට ධර්මාභිසමය වූ බව මහා වංශයේ සඳහන් වේ. ත්‍රිවිධරත්නය හඳුන්වා දීමත්, බුද්ධ ධම්ම සංඝ යන එකී ත්‍රිවිධ රත්නය සතු සූවිසි ගුණ සමුදාය පෙන්වා දීමත් ත්‍රිවිධ රත්නය සරණ යෑමට වඩා වෙනත් සරණක් නොමැති බව පෙන්වා දීමත් මෙහි අභිප්‍රාය විය. කුඩා ඇතෙකුගේ පියසටහන් තුළට ඕනෑම සත්ත්ව පාද සටහනක් ඇතුළත් වන්නා සේ, ත්‍රිවිධ රත්නය සතු සූවිසි මහ ගුණ සමුදාය අතික්‍රමණය කළ හැකි වෙනත් බලවේගයක් නොමැති බව පෙන්වා දී දේවානම් පියතිස්ස රජදරුවන් පුමුඛ පිරිස ලක්දිව ප්‍රථම උපාසක උපාසිකා පිරිස බවට පත් කිරීම එම ධර්ම දේශනාවේ අභිප්‍රාය විය. එම සංකල්පය එලෙසම ඉෂ්ට විය.

ඉන්පසු අනුබුදු මිහිඳු මාහිමියන් අපේක්ෂා කළේ මිනිස් සන්තානය මිථ්‍යා සිතුවිලි වලින් වළක්වා යහපත් සාධු ජනක සිතුවිලි වලින් පූර්ණය කරවීමට ය. පාපකාරී සිතුවිලිවල අයහපත් ආදීනව පෙන්වා දෙන අතර යහපත් පිවිතුරු සිතුවිලිවල ආනිශංස පෙන්වා දීම පිණිස සමචිත්ත පරියාය සූත්‍ර ධර්මය දේශනා කළ සේක. මෙම ධර්ම දේශනාවල යහපත් ප්‍රතිඵල සමාජයට දායාද කිරීමට නම් සමාජය තුළ ආර්ථික සාමාජීය සහ සංස්කෘතික විප්ලවයක් සිදුවිය යුතු බව මිහිඳු හිමියෝ පසක් කරගත්හ. මෙහි මූලික පසුබිම සකස් වූයේ තිස්ස රජුගේ නැගණිය අනුලා දේවිය ප්‍රමුඛ කුල කාන්තා පිරිසට පැවිදි වීමට අභිලාෂය පහළ වීම ය. ඒ සඳහා සංඝමිත්තා තෙරණිය වැඩම කළයුතු විය. සංඝමිත්තා තෙරණියගේ ආගමනය යහපත් ලෙස සැලසුම් වූයේ ඒ අනුව ය.

ඒ අනුව ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කළ අතර එය එදා අනුරාධපුර ජනතාව මෙන් ම ලක්වැසි ජනතාව දුටුවේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමක් ලෙසය. සංඝමිත්තා තෙරණිය සමග දෙසියපනහක් වූ පිරිසක් ද, ලක්දිවට පැමිණි අතර ශ්‍රී මහා බෝධියට උවටැන් කරන “බෝධහාරක කුල” වශයෙන් පැමිණි මෙම පිරිස අතර විවිධ කර්මාන්ත නිපුනයන් පැමිණීම සංස්කෘතික සහ සාමාජික විපර්යාසයක් බවට පත්විය.

මෙම පිරිස පැමිණෙන විට මිහිඳු මහරහතන් වහන්සේ ජනතාවගේ චිත්ත සන්තානයන් තුළ පුබුද්ධ මානසික මට්ටමකට පත්කර හමාරය. එසේම මෙම අටළොස් ශිල්පීය පිරිස පැමිණෙන විට බාල පණ්ඩිත සූත්‍රය ඔස්සේ සිත කය ලාංකික ජනතාව මිතුරු පිරිසක් බවට පත්කර හමාරය. වචන තිදොර ඔස්සේ අයහපත් වැඩ කරමින් කම්මැලි උදාසීන පුද්ගලයා බාලයකු බව පෙන්වා දුන් මිහිඳු මහ රහතන් වහන්සේ පණ්ඩිතයාගේ ලක්ෂණ ජනතාවට පෙන්වා දෙමින් යහපත් වැඩ කරන යහපත් සිතුවිලි සිතන ධෛර්යවන්ත උදාර පුරුෂයා සමාජය තුළ බැබළෙන ආකාරය පෙන්වා දුන්හ.

සංඝමිත්තා තෙරණිය සමග පැමිණි කර්මාන්ත නිපුණ පිරිස් ආශ්‍රය කරමින් තම ආර්ථීක සමෘද්ධිය උදාකර ගැනීමට ලාංකික ජනතාව පෙළඹුණේ මෙවැනි ධර්ම දේශනාවල ප්‍රතිඵල නිසාවෙනි. රන්, රිදී, මුතු, මැණික්, කුඹල්, පේෂකර්ම, උද්‍යාන, ගෘහ උපකරණ, මල් ලියකම්, සම් වැඩ ආදී කර්මාන්ත රැසක නිපුණයෝ ලාංකික ජනතාව සමග සම්මිශ්‍රණය වූහ. ක්‍රමානුකූලව වාසි සංස්කෘතියක් සමග සම්බන්ධ වූ ලාංකික ජනතාව කෘෂිකර්මය පදනම් කොටගත් ජීවන රටාවකට යොමු වූහ. මෙසේ ශ්‍රී ලාංකික ජනතාව ආර්ථීක සාමාජික සමෘද්ධිමත් බව දායාද කර ගනිද්දී කිසිවෙකුත් බුදු සමයට හෝ එහි ඉගැන්වීම්වලට විරුද්ධ නොවීම විශේෂත්වයකි. පණ්ඩුල බ්‍රාහ්මණයා වැනි සංස්කෘත උගත් බ්‍රාහ්මණික පවුල් විශාල සංඛ්‍යාවක් රජරට අවට ජීවත් වූ අතර ඔවුන් සියල්ලෝම බුදු දහමට අනුගත වූහ.

ලාංකික ජනතාව ක්‍රමානුකූලව බුද්ධිමත් පිරිසක් බවට පරිවර්තනය වන බව දුටු අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඔවුන්ට එලොව දියුණුව මෙන්ම පරලොව සංසාර බිය ද පෙන්වා දුන් සේක. පාපකාරී ක්‍රියාවලට සහ චේතනා වලට යොමුවී පව් වැඩ හෝ අකුසල ක්‍රියා කළහොත් අපායේ ඉපිද අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට ගොදුරුවන ආකාරය ඛුද්දක නිකායේ පේතවත්තු කතා පුවත් මගින් පහදා දුන් සේක. සම්මා දිට්ඨියෙන් යුතුව යහපත් කුසල චේතනා මූලික වී යහපත් ක්‍රියා රැස් කිරීම නිසා දෙව්ලොව ඉපිද මිනිසා සැප විඳින ආකාරය විමානවත්ථු පාලිය ඔස්සේ ජනතාවට පෙන්වා දුන් සේක. මිනිස් සමාජය නිතර අයහපත් දේ කිරීමට පෙළඹේ. ආර්ථීක සහ සාමාජික වශයෙන් මිනිස් සමාජය වර්ධනය වන විට ඊර්ෂ්‍යාව තරහව කාම තණ්හාව වර්ධනය වේ. සංසාරගත සහ සමාජගත දුකක් එය නිර්මාණය වීමට බලපාන හේතුව වූ තෘෂ්ණාවත් විෂය කරගනිමින් එය විද්‍යාත්මකව පහදා දීමට මිහිඳු මහරහතන් වහන්සේ දරණ ලද උත්සාහය මීළඟට ප්‍රකට වන්නේ මහමෙව්නා උයනේ ධම්මචක්ඛපවත්තන සූත්‍රය දේශනා කිරීමෙනි. නිවන හා නිවන් මඟ ද ජනතාවට හෙළි කළ මිහිඳු හිමියෝ යමෙක් අධික ලෙස පංඡේන්ද්‍රිය පිනවමින් පස්කම් සැපතට ගිජු වුවහොත් මෙලොව මෙන්ම පරලොව ද විනාශ කරගන්නා බව අග්ගික්ඛන්දෝපම සූත්‍රය වදාරමින් දේශනා කළ සේක. මෙම ධර්ම දේශනා සියල්ලම ඒ ඒ ස්ථාන වල සිටින විවිධ ජනකොටස් ඉලක්ක කරගෙන දේශනා කළ අතර හෙළ බසින් පැවැත්වූ මෙම දේශනා නිසා හෙළ බස ද කාලීන වශයෙන් සංවර්ධනය විය.

පරිසරයට ජීව සත්ත්ව කොටස් මෙන්ම වෘක්ෂලතා ගංගා ඇළ දොල ද අයත් වේ. ආසිවිසෝපම සූත්‍රය ඔස්සේ ජීව අජීව වස්තු නිර්මාණය වී ඇත්තේ පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා භූත රූප වලින් බව පැහැදිලි කරති. මෙම ආසිවිසෝපම සූත්‍රය මිහිඳු මහරහතන් වහන්සේ විසින් ජනතාවට දේශනා කිරීම නිසා අදෘෂ්‍යමාන බලවේගයක් මගින් සත්ත්වයා හෝ ශාක නිර්මාණය වී ඇති බවට ජනතාව අතර මුල්බැසගත් සංකල්පනා නිෂ්ප්‍රභ වේ. මෙහිදී පංචස්කන්ධය වධකයන් පස්දෙනකුට උපමා කිරීමෙන් පැහැදිලි වන්නේ සංසාරගත දුක සියලු දුක් කරදර බන්ධන වලට වඩා විෂම බවකි.

මජ්ක්‍ධිම නිකායේ දේවදූත සූත්‍රයේ දී දේවදූතයන් පස්දෙනකු පිළිබඳ කරන සටහන ලාංකික හදවත් තුළ චිත්ත රූප මැවෙන සංකල්පනාවක් වන්නට ඇත. බිලිඳු දරුවා, වයස්ගත මහල්ලා, රෝගීව අසරණ වූ මිනිසා, අපරාධකරුවා සහ මියගිය පුද්ගලයා දේවදූතයන් ලෙස හඳුන්වා ඇත. මෙය විද්‍යාත්මක සමාජ විවරණයකි. මෙවැනි සංකල්පනා වුවද බුද්ධිමත් ලෙස වටහා ගැනීමට හැකි වන පරිදි සමාජය දැනුවත් කිරීමට මිහිඳු තෙරුන්ට හැකි වූයේ ආදි සිංහලයා තුළ විද්‍යමාන වූ විචාරශීලී බුද්ධි පාඨය නිසා බව තේරුම් ගත යුතුය.

ලාංකික ජනතාවට සම්බුදු දහමේ දාර්ශනික පැතිකඩ විවරණය කරන අතර ලාංකික සංස්කෘතිය උදාර සිතුවිලිවලින් පෝෂණය කිරීම ද හෙළ ජනතාව උදෙසා සම්බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනය කරවීම ද මිහිඳු ධර්ම දේශනාවලින් සිදුවිය. එම කාර්යය නිර්වාණවබෝධයට වඩා මිහින්තලා පියගැටපෙළ තරණය කරමින් අවබෝධ කරගතයුතු සදහම් පණිවිඩයකි.

මහින්දාගමනයේ ප්‍රතිඵල අපි අද භුක්ති විඳිමින් සිටිමු. දාගැබ් මහබෝ පෙති පිළිම චිත්‍රකලාව, ගෘහ නිර්මාණශිල්පය, වාස්තු විද්‍යාව, කෘෂිකර්මය විවිධ කර්මාන්ත, සාගර පරයන මහ වැව් නිර්මාණය කරමින් ප්‍රෞඪ අභිමානවත් ශ්‍රී ලාංකික පරපුරක් ජනිත කරවීමට මිහිඳු ධර්මදේශනා උපකාරී විය.

හෝමාගම පුරාණ විහාරාධිපති
නියෝජ්‍ය අධ්‍යක්ෂක (පිරිවෙන්)
හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක
පූජ්‍ය මාදෝවිට වජිරබුද්ධි හිමි

advertistmentadvertistment
advertistmentadvertistment