මිහිඳු මාහිමි අප රටට වැඩම කර වසර 2331යි

117

1993 ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අනුබුදු මිහිඳු ජයන්තිය 2300 සමරු කාසිය

2024 මැයි 21වැනිදා හෙවත් වෙසක් පුන් පෝහෝදා “ශ්‍රී බුද්ධ වර්ෂ 2567” නිමාවී “ ශ්‍රී බුද්ධ වර්ෂ 2568” බෞද්ධයන්ගේ නව වසර උදා විය. එය 2024 වෙසක් මංගල්‍යය යනුවෙන් ඇතැමෙක් පුළුල් ප්‍රචාරයන් කළ බව විiුත් සහ මුද්‍රිත මාධ්‍යය මගින්ද විශේෂයෙන් කොළඹ නගර මධ්‍යයේද දුටුවෙමු.

බෞද්ධයන්ගේ වර්ෂ ක්‍රමය බුද්ධ වර්ෂ බවත් එය ගණනය ඇරඹෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් බවත් ඒ අනුව මෙවර “ වෙසක් උත්සවය 2024” නොව “ශ්‍රී බුද්ධ වර්ෂ 2568 වෙසක් මංගල්‍යය/උත්සවය” යනුවෙන් මාතෘකා කරන ලෙසත් පුවත්පත් මගින් අපි හෙළිදරව් කළෙමු. තවද බෞද්ධයා සහ ශ්‍රද්ධා රූපවාහිනි නාලිකා මඟින් “බු.ව. 2568” යනුවෙන් එම දින කිහිපයේම නිරතුරුව ප්‍රදර්ශනය විය.

2024 යනු කිතු උපතේ සිට ගණනය කරගෙන පැමිණි වර්ෂ ක්‍රමය නිසාත් එය බුද්ධ වර්ෂයට වඩා අවුරුදු 544කින් අඩු නිසාත් වෙසක් උත්සවය ඇතුළු බෞද්ධ කටයුතුවලට 2024 නොගැලපෙන බව හේතු සහිතව පැහැදිලි කළෙමු.

එබැවින් වෙසක් උත්සවයට “2024” මාතෘකා කළවුන් තරාතිරම කුමක් වුවද (ගිහි/පැවිදි), වෙසක් පුරාණය නොදන්නා වූද, නොසලකන්නා වූද, විකෘති කළ අය ලෙස සැලකිය යුතු වෙයි.

මීළඟට ක්‍රි.ව. 2024 ජුනි 21 සිකුරාදාට යෙදෙන පොසොන් පුන් පෝය, “2024 පොසොන් පෝය” නොවේ. එය ශ්‍රී බුද්ධ වර්ෂ 2568 පොසොන් පුන් පෝය බවත් සිහිපත් කරමු. වෙසක් උත්සවයේ කථානායකඩ වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ බවත්, පොසොන් උත්සවයේ කථානායක වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ බවත් ලක්වැසි බෞද්ධයන් හොඳින් දන්නා කරුණුය. එහෙත් බොහෝ දෙනා නොදන්නේ ඒ මහෝත්තමයන් විසින් කරන ලද ජාතික ශාසනික මෙහෙවරට අදාළ කාලවකවානුය.

මිහිඳු මහ රහතන් වහන්සේ අප රටට වැඩම කරන්නේ බුද්ධ වර්ෂ 236 වෙසක් මස සිට නවම් මස දක්වා මාස 9ක් දඹදිව පැවැත්වූ තුන්වැනි ධර්ම සංඝායනාවෙන් අනතුරුවය. ඒ අනුව මිහිඳු මාහිමි හෙළ බිමට වැඩම කරන්නේ බු.ව. 236 නොව, බු.ව. 237 දීය. එසේ නම් මෙවර අප සමරන්නේ මිහිඳු මාහිමි අප රටට වැඩම කර කිනම් සංවත්සරයද?

අද අපි සිටින්නේ – බුද්ධ වර්ෂ 2568හිය.

මිහිඳු මාහිමි වැඩම කළේ – බුද්ධ වර්ෂ 237හිදීය.

එම නිසා මෙම සංවත්සරය – වර්ෂ 2331යි.

තවද මීට වසර 31කට ඉහත දී, එනම් බුද්ධ වර්ෂ 2537 පොසොන් පුන් පෝය (ක්‍රි.ව. 1993 ජුනි)දා අනුබුදු මිහිඳු ජයන්තිය 2300 යනුවෙන් උත්කර්ෂවත් අන්දමින් සැමරූ අතර එහි සිහිවටනයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් රු.500ක මුහුණත වටිනාකමින් යුතු රිදී කාසියක් “අනුබුදු මිහිඳු ජයන්තිය 2300”යනුවෙන්ද “2537/1993” යනුවෙන්ද සඳහන් කරමින් සමරු කාසියක් ක්‍රි.ව.1993 ජුනි17 වැනිදා නිකුත්කර ඇත.

මේ අන්දමින් කරුණු සලකන කල්හී මෙවර (ක්‍රි.ව. 2024.06.21) අප සමරන්නේ ශ්‍රී බුද්ධ වර්ෂ 2568 පොසොන් පොහෝ දින මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන පිරිස එකල දේවානම්පියතිස්ස රජුගේ රාජ අනුග්‍රහය ඇතිව මෙරටට වැඩම කිරීමේ 2331වැනි වර්ෂ පූර්ණයයි හෙවත් සංවත්සරයයි. එසේම අප රටේ රාජ්‍ය නායකයාගේ රාජ අනුග්‍රහය ඇතිව සම්බුදු සසුන සුරැකීමේ සම්ප්‍රදාය ආරම්භ වී 2331වැනි සංවත්සරයයයි.

වරින්වර ඇතිවූ පරසතුරු උපද්‍රව නිසා පසුබෑම්වලට ලක්වුවද, බු.ව.2516දී හෙවත් ක්‍රි.ව. 1972 මැයි 22 දින ශ්‍රී ලංකා ජනරජයේ නව ව්‍යවස්ථාවෙන් බුදුදහම ආරක්ෂාකොට පෝෂණය කිරීම රජයේ පරම යුතුකමක් හා වගකීමක් ලෙසට වගන්ති ඇතුළත් වූයේ මීට වසර 2331කට පෙර දේවානම්පියතිස්ස රජු දුන් පූර්වාදර්ශයන්, එදා මෙදා තුර ලක්වැසි රජවරුන් පවත්වාගෙන ආ ශාසන මාමක ජාතික සම්ප්‍රදාය ඉදිරියටද පවත්වාගෙන යායුතු නිසාම නොවේද?

“චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය….

ලෝකානුකම්පාය” “ මහණෙනි, ලෝකයාට අනුකම්පාවෙන් බොහෝ ජනයාට හිතසුව පිණිස චාරිකා කරව්” යන බුදුවදන බොහෝ දෙනෙක් අසා ඇත.

එදා මිහිඳු මාහිමි, දේවානම්පියතිස්ස රජු ඉදිරිපිට තමන්ව හඳුන්වා දුන්නේ:-

සමනා මයං මහා රාජ – මහරජ අපි ශ්‍රමණයෝ වෙමු

ධම්ම රාජස්ස සාවකා – ධර්ම රාජයන්ගේ ශ්‍රාවකයෝ වෙමු

තමේව අනුකම්පාය – නුඹලාට අනුකම්පාකොට

ජම්බු දීපා ඉධා ගතා – දඹදිව සිට මෙහි පැමිණියෙමු.

මින් පෙනීයන්නේ තම බ්‍රහ්ම චර්යාව පවත්වන්නට සිව්පසයෙන් උපස්ථාන කරන වැසියන්ට යහමග පෙන්වා අනුශාසනා කිරීම, බුදුරජුන් වදාළ පරිදි භික්ෂුවගේ යුතුකමකි, කාර්යභාරයකි.

චන්න පීරිස්
සභාපති,
සුගත ධර්මෝදය පදනම,
මොරටුව

advertistmentadvertistment
advertistmentadvertistment