මිහිඳු හිමියන්ගේ ශාසනික හා සාහිත්‍යයික සේවය

566

 මිහිඳු හිමියන් ලංකාවට බුදු සසුන ගෙන ඒම හුදු ඓතිහාසික සිද්ධියක් පමණක් නොව, මේ රටේ ඉතිහාසයේත්, සිංහල ජනතාවගේත් පුනරුදයෙහි අත්තිවාරම දැමීමකි. මෙය තහවුරු කිරීමට අප සතුව පවත්නා විශ්වසනීය සාධක, ලිඛිත සාක්‍ෂි කෙසේ වෙතත් මූර්ත සාක්‍ෂි කිසිසේත් නිශ්ප‍්‍රභ කළ නොහැකිය. රාජ්‍ය තන්ත‍්‍රයේ සංවිහිතභාවය, සිංහලයාගේ අනන්‍යතාව හා ජීවන දර්ශනයෙහි හැඩගැස්ම ඒකාන්ත වශයෙන්ම සිදුවූයේ මේ ධර්මාභි සමයයෙන් පසුවය. අසෝක, දේවානම්පියතිස්ස හා මහා මහින්ද යන ත‍්‍රිපුද්ගල කේන්ද්‍රීයත්වයෙන් මේ සමාරම්භය ඇති වූ අයුරු අපට ඉතිහාසයෙන් දත හැකිය.

 බුදු දහමේ අභාසයෙන් ආධ්‍යාත්මික තෘප්තියක් ලබාගත් අසෝක රජතුමාට ඉක්බිතිව අවශ්‍ය වූයේ එය හැකිතාක් දුරට ප‍්‍රචාරය කරවීමය. ලංකාව එහිලා සුදුසු රටක් හැටියට තෝරා ගැනීමට ඉවහල් වූ හේතු සාධක කිහිපයකි. එකල ලංකා රාජ්‍යය භාරව සිටි මුටසිව රජුගේ දෙවැනි පුත් වූ තිස්ස රජතුමා අසෝකගේ මිත‍්‍රයෙක් විය. මේ මිත‍්‍රත්වය කෙසේ ඇතිවූවක් දැයි දීපවංසය හෝ මහාවංසය පැහැදිලි නොකරයි. එහෙත් මේ දෙරට අතර හැසුරුණු බ‍්‍රාහ්මණ පඬිවරුන්ගේ හා වෙළෙඳුන්ගේ ඇසුරෙන් තිස්ස හා අසෝක අතර නොදුටු මිතුදමක් දියුණු වෙන්ට ඇතැයි එල්. වී. පෞසින් සඳහන් කරයි. ඒ කෙසේ වෙතත් තිස්ස කුමරු රාජ්‍යය භාර ගැනීමෙන් පසුව කරන ලද ප‍්‍රථම කාර්යය හැටියට සැලකෙන්නේ තම බෑනා වන අරිට්ඨ ප‍්‍රමුඛකොට තෝරා ගනු ලැබූ ¥ත පිරිසක් මගින් අසෝක රජුට වටිනා තෑගිබෝග යැවීමය. මේ ¥ත පිරිසට පෙරෙවි බමුණකු ද තෝරා ගනු ලැබූ බව ඓතිහාසික වශයෙන් වැදගත් වේ. රාජ්‍ය සම්මාන ලබමින් පැළලූප් නුවර රාජධානියෙහි පස්මසක් විසූ මේ පිරිස පෙරළා ලංකාවට පැමිණියේ අසෝක පිරිනැමූ තෑගිබෝගත් රැුගෙන ය. එකල ඉන්දියාවේ සාම්ප‍්‍රදායික වශයෙන් පරිභාවිත වූ අභිෂේකයකට අවශ්‍ය භාණ්ඩ සම්භාරය එහි ප‍්‍රතිප‍්‍රදානයන්ට ඇතුළත් විය. මේ සිද්ධියෙන් කරුණු දෙකක් පැහැදිලි වෙයි. තිස්ස රජු දක්වා විසූ කිසිම රජකුගේ අභිෂේකයක් නියමිත සංවිධානයකට අනුව පවත්වා නැති බව එකකි. තිස්ස රජු සමඟ පැවැති මිත‍්‍රත්වය තහවුරු කිරීමක් හා භාරතීය සාමාජයෙහි උපාංගයක් වශයෙන් ලක් රජය පිළිගැනීම අනෙක ය. එය තහවුරු වූයේ අසෝක බොහෝ සෙල්ලිපිවලට අනුව තමාම හඳුන්වාගත් දේවනම්පිය යන ගෞරව නාමයෙන් තිස්ස රජු පිදුම් ලැබීමෙනි. තිස්ස රජු දේවානම්පියතිස්ස යනුවෙන් හඳුන්වනු ලැබුවේ එයින් පසුව බව නිගමනය කළ හැකිය.

 මිහිඳු මහ රහතන්වහන්සේ ප‍්‍රමුඛ ¥ත පිරිස ගෙනා බුදු සමය අසෝක රජු විසින් තිස්ස රජතුමා ඇතුළු ලංකාවාසීන්ට පිරිනමනු ලැබූ ත්‍යාගයකි. අනෙක් රටවල ප‍්‍රචාරය සඳහා සෙසු මහ රහතන්වහන්සේ තෝරා ගැනෙද්දී ලංකාව සඳහා තම පුත‍්‍ර රත්නය යොදා ගැනීමේ විශේෂත්වයක් දුට හැකිය. රජකු හා රජකු අතර පවත්නා මිත‍්‍ර සම්බන්ධය හා බුදු දහම බුද්ධි සම්පන්න නායකයකුගේ පුරෝගාමීත්වයෙන් ඇරඹීම සාර්ථකත්වයට තුඩු දෙන බව සිතන්නට ඇත. මේ අවදියෙහි සංවිහිත, බුද්ධිගෝචර ආගමික පසුබිමක් මෙහි නොවීය. කාලවේළ, විත්තරාජ, වළවාමුඛි වැනි යකුන් යකින්නන් ද වෙස්සවණ, ව්‍යාධදේව වැනි යක්‍ෂාධිපතියන් ද කුම්භාණ්ඩ, ජොතිය, ගිරි වැනි නිගණ්ඨයන් ද සිවුවරම්, යම, වරුණ, විභීෂණ වැනි දෙවිවරුන් ද මහාවංසයෙහි සඳහන් වන හෙයින් ඔවුන් ඇදහූ ජන කොටස් මෙහි වෙසෙන්නට ඇත. මේ සියල්ලක් ම යක්‍ෂ, නාග, වෘක්‍ෂ ආදී ආදිකාලීන ඇදහීම් ක‍්‍රමවලම කොටස් ය. බියෙන් පෙළෙන මිනිසුන් කුමක් හෝ අදහන බව බුදු දහමෙහි දැක්වේ. මේ අතර ඉන්දියාවට සම්බන්ධ වූ ආජීවකයන් හා බමුණන් ද මෙහි විසූ බවත්, ඔවුන්ට වාසස්ථාන සපයා දී තිබුණු බවත් මහාවංසය කියයි. විවිධ ජන කොටස් අතර මෙවැනි භූතාත්ම මෙන්ම මානව මූල වු ඇදහීම් ක‍්‍රම පැවැති නමුත් සමස්ත ජනකායටම එකසේ අනුගමනය කළ හැකි අබබෝධාත්මක ධර්මප‍්‍රයාර්යයක් නොවීය.

 මහින්දාගමනය සමයේදී ලංකාවේ පැවැති ආගමික පසුබිම පිළිබඳ ඉහත දැක්වූ කෙටි විස්තරයෙන් මා බලාපොරොත්තු වන්නේ එකල විසූ ජනතාව තුළ එලොව මෙලොව යන දෙකටම වැඩදායක වන ජීවිත ක‍්‍රමයක අවශ්‍යතාව එළඹ සිටි බව පැහැදිලි කිරීමය. බුදු දහම ගැන මෙයට පෙර ලක්වැසියාට යම් යම් තොරතුරු දැනගන්නට ලැබෙන්නට ඇත. ප‍්‍රාග් ෙඓතිහාසික පුරාවෘත්තයන්ගෙන් පමණක් නොව දෙරට අතර සංක‍්‍රමණය වුණු වෙළෙන්දන්ගෙන් ද දැනගන්නට ලැබෙන්නට ඇත. පූජාවලියෙහි හා තිරියාය ගිරි ලිපියෙහි සඳහන් වන පරිදි බුදුන් වහන්සේගේ ජීවමාන කාලයෙහි පවා බුද්ධ වන්දනය මෙහි යම් පමණකට පැවතුණු බවට සාධක ලැබේ. මෙවැනි කොතෙක් සාධක ලැබුණ ද, බුදු දහම දිවයිනෙහි ස්ථාවරව පිහිටි බවක් නොපෙනේ. එයට හේතු වූයේ ජනතාව ධර්ම මාර්ගයෙහි යෙදවීම සඳහා ඔවුන්ට ධර්මය තේරුම් කර දීමට කැප වූ භික්‍ෂු සංඝයා නොසිටීමය. මේ කාර්යය ඉටුවූයේ මහින්දාගමනයත් සමඟය. බුද්ධ ශාසනයෙහි පැවැත්ව සඳහා සංඝ සාසනය අනිවාර්ය අංගයක් බව තේරුම් ගත් අසෝක රජතුමා දහම, සෙල්ලිපි මගින් රාජ්‍ය නිවේදන වශයෙන් ප‍්‍රචාරය කිරීමෙන් පමණක් නොනැවතී සිය පුතු හා දියණිය ද භික්‍ෂු ශාසනයෙහි කොටස්කරුවන් බවට පත් කළේය. මහින්දාගමනයෙන් ලංකාවට සිදු වූ සේවය ගැන සලකා බැලීමේදී මෙහි සත්‍යය වටහා ගත හැකිය.

 අසෝක රජතුමාගෙන් ලැබුණු තෑග්ගක් හැටියට වුව ද බුදු දහම ලක්දිවට පැමිණියේ ඥාන මාර්ගයක් වශයෙනි. දහම් දෙසීමට පෙර මිහිදු හිමියන් තිස්ස රජුට ඉදිරිපත් කළ අඹ පැනයෙන් (අම්බපක්‍ඳ්හ* මෙය පැහැදිලි වේ. ගැඹුරු ධර්මයක් තේරුම් ගැනීමට තරම් විවේක බුද්ධියක් රජතුමාට තිබූ බව මිහඳු හිමියෝ මෙයින් තේරුම් ගත්හ. තත්කාලීන උත්සව දිනයක් වූ පොසොන් පොහෝ දින පැමිණීමත්, මිහින්තලා කඳු මුදුනත පෙනී සිටීම හා නම කියා රජුට ඇමතීමත් යන සිදුවීම්වල එකිනෙකට අදාළ අගයන් ගැබ්වී ඇත. ප‍්‍රාග් බෞද්ධ දේශීය උත්සව දිනයක් වූ පොසොන් පොහෝ දින අද දක්වාත්, බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨ ආගමික දිනයක් වීම, භික්‍ෂූන් වහන්සේ සෙසු ජනතාවට වඩා උසස් බව ඇඟවීම හා රහත් බව රජකම අභිබවා පවත්නා අයුරු පෙන්වීම යන කරුණු සංකේතාත්මකව නිරූපණය කළ ආකාරය මෙයින් තේරුම් ගත හැකිය. විහාරාරාම ආදිය තනවා පූජා කළායින් පසු, සෑහෙන ප‍්‍රමාණයකට බුදුදහම ප‍්‍රචාරය වීමෙන් පසු, ලක්දිව බුදු සසුන ස්ථාවර වී දැයි දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු හිමියන්ගෙන් ඇසූ ප‍්‍රශ්නයට උන්වහන්සේ පිළිතුරු දුන්නේ නැත යනුවෙනි. මේ රටේ උපත ලැබූ භූමි පුත‍්‍රයකු සසුන්ගතව ධර්ම විනය ඉගෙනගෙන ජනතාවට ධර්මාවබෝධය කරවා ද, ශාසනය චිරස්ථායි වන්නේ එයින් පසුව පමණකැයි උන්වහන්සේ පැවසූහ. විදේශීයභාවය තුරන් කර දේශීයත්වයට පැමිණවීම හේතුකොටගෙන එය රටවැසියාගේ ජාතික ආගම බවට පත්වීමත්, එතෙක් පැවැති ජීවිත ආකල්පය නව මඟකට යොමුවීමත් භික්‍ෂූන් වහන්සේ රාජගුරු තත්ත්වයට පැමිණීමත් අනිවාර්යයෙන්ම සිදුවිය.

 ලංකාව බුදු සමයට හැරවීම පිණිස මිහිඳු හිමියන් ඉන්දියාවේ සිට පැමිණියාක් මෙන් ක‍්‍රිස්තියානි මිෂනාරිවරු ද ජනතාවට කිතු දහම ඉගැන්වීම පිණිස ඒ ඒ රටවලට ගියහ යනුවෙන් සටහන් කරන ආචාර්ය දොන් පීටර් පියතුමා, ඉක්බිති ප‍්‍රතුගීසීන් ලංකාවට කිතුදහම ගෙනා අයුරුත් මිහිඳු හිමියන් බුදු සමය ගෙනා අයුරුත් සම විෂම කර පෙන්වයි. මේ අවස්ථා දෙකෙහි කිසිම සමාන බවක් නැත. කිතු දහම පැමිණියේ මේ රටේ කිසිවකුගේ වුවමනාවකට නොව. පෙරදිග රටවල් ගසාකෑමෙහි නියැළුණු

 පෘතුගීසි ධනවැද්දන්ට ආධාර කරනු පිණිසය. මෙහිලා ඞී. කෙයිරොස් නමැති ඉතිහාසඥයා මෙසේ කියයි. ප‍්‍රැන්සිස්කන් පුජකයකු වූ පේදුරු ද බෙලෙම් වම් අතින් කුරුසියත්, දකුණතින් කඩුවත් ගෙන කඩුවෙන් කපමින් භක්තියෙන් පණ ගන්වමින් තමාම ආගමික සොල්දාදුවකු බව පෙන්වීය. තව තැනෙක කෙයිරොස් මෙසේද සඳහන් කරයි. ‘‘අවි අමෝරාගන්න, අවි අමෝරාගන්න, අවි අමෝරාගන්න. කිසිම කි‍්‍රස්තියානි හදවතක් මිත්‍යාදෘෂ්ටිය ලංකාවේ රජ කරනු නොදකීවා’’ මේ පිළිබඳව විමසීමක් කරන ආචාර්ය දොන් පීටර් පියතුමා මෙසේ කියයි. ‘‘ක‍්‍රිස්තියානි ධර්මය පැතිරවීම පිණිස සටන් කළහ. ජීවිත පරිත්‍යාග කළහ. ගම් නියම්ගම් විනාශ කළහ. ඉඩකඩම් වැනසූහ. බිහිසුණු සැහැසිකම් කළහ. අතිශය දුක් දොම්නස් ගෙනදුන්හ. මෙවැනි සටහන්වලින් පෙනී යන්නේ කිතුදහම පළමුව පැමිණියේ, ධූම කේතුවක් මෙනි. රටවැසියාගේ විනාශය පිණිසය. කඩුව, භක්තිය හා ධනය මාධ්‍යය කරගෙන, නූගත්කමෙන් හා දුගී බවෙන් ප‍්‍රයෝජන ගනිමින් බලයෙන් ගිල්ලවන කිසිම දෘෂ්ටියකින් පුද්ගලයාගේ ආධ්‍යාත්මික දියුණුවක් නොකළ හැකි බව එයට හාත්පසින් වෙනස් වූ මහින්දාගමනයෙන් පැහැදිලි වේ.

 ත‍්‍රිපිටකයට අයත් සූත‍්‍ර පිටකයේ හැම දේශනාවක්ම හැඳින්වෙන්නේ සූත‍්‍ර නමිනි. සූත‍්‍ර වූ කලී අර්ථ සමූහයක් ලූහුඬු කර, කට පාඩමේ තබා ගත හැකි අයුරින් පිළියෙල කර තිබෙන සංක්‍ෂිප්ත පාඨ විශේෂයකි. සංස්කෘත සාහිත්‍යයෙහි ගෘහ සූත‍්‍ර, කාම සූත‍්‍ර ආදී වශයෙන් දක්නට ලැබෙන කෘති විස්තර කරදීම සඳහා භාෂා නමින් අට්ඨකථා ලියැවිණි. මේ අනුව අපේ ධර්ම සූත‍්‍ර විස්තර කරදෙනු පිණිස භාෂා ක‍්‍රමයක්, අර්ථ කථා ක‍්‍රමයක්් අවශ්‍ය විය. මේ අනුව ලියැවුණු විස්තර ග‍්‍රන්ථ අට්ඨකථා නමින් හැඳින්විණි. සිහලට්ඨකථා නමින් මහාවංස, පාලි අට්ඨකථා ආදියෙහි සඳහන් වන හෙළටුවා මිහිඳු හිමියන් විසින් හෝ උන්වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් මහාඅරිට්ඨ ආදී තෙරවරුන් විසින් සපයන ලදැයි බොහෝ තන්හි සඳහන් වේ. ලක්වැසි භික්‍ෂු සංඝයාට සූත‍්‍ර ධර්ම පහසුවෙන් තේරුම් ගනු පිණිස අර්ථ කථා ක‍්‍රමයක් අවශ්‍ය බව මිහිඳු හිමියන්ට වැටෙහන්ට ඇත. එහෙයින් උන්වහන්සේ හෙළටුවා සම්පාදනය කරන්නට ඇත. එහෙත් අපේ වංසකථාවල උන්වහන්සේ දීප භාෂාවෙන් ධර්මය දේශනා කළ බව මුත්, ධර්මය ලියූ බවක් එක එල්ලේම සඳහන් නොවේ. බාගදා එවැනි පැහැදිලි සටහනක් දක්නට නොලැබීම මේ සිද්ධිය විවිධාකාරයෙන් ඉදිරිපත් කිරීමට ඉවහල් වී ඇතැයි සිතමි. මිහිඳු හිමියෝ දීප භාෂාවෙන් ධර්ම දේශනා කිරීමෙන් පමණක් නොව, පිටකවලට ලියා තැබූ අටුවා එයට (දීප භාෂාවට* පෙරළීමෙන් ද මේ ප‍්‍රවණතාවට ප‍්‍රමුඛත්වයක් දුන්හ’’ යනුවෙන් ද තව තැනක ‘සිංහල අට්ඨකතා විශ්වාසනීයය, ඒවා මනා අවබෝධයක් ඇති මහා ප‍්‍රාඥ මිහිඳු හිමියන් විසින් රචනා කර ඇත.’’ යනුවෙන් ද මහාචාර්ය මලලසේකර මහතා එකම පොතේ දෙතැනක සඳහන් කරයි. මෙයින් පළමුවන අදහස එසේම නම් උන්වහන්සේ දීප භාෂාවට නැඟුවේ යම් පාලි අට්ඨකථාවක්ද, එසේ නම් ඒ පාලි අට්ඨකථා සැපයූවෝ කවුරුද, කිකලද, බොහෝ තන්හි පොරාණා යනුවෙන් සඳහන් වන්නේ මිහිඳු හිමියන් ප‍්‍රමුඛ පිරිස විනා ඉන් පෙර විසුවෝ කවුරු ද යනුවෙන් ප‍්‍රශ්න රාශියක් පැනන`ගී. එතුමා දෙවැනිව සඳහන් කරන අදහස එසේම නම් එහිලා ප‍්‍රශ්නයක් නැත.

 හෙළටුවා මිහිඳු මාහිමියන් විසින් ලක්දිව බුදු සසුන පිහිටුවීමත් සමඟ විශාල ලෙස නිපදවන ලද්දේයි යනුවෙන් කථිකාචාර්ය ආනන්ද කුලසූරිය මහතා කරන නිගමනය සාක්‍ෂි වශයෙන් නොව, කරුණු විසින් සම්මත මතයට එකඟය. මෙහිලා දැක්වෙන අනෙක් සාධකයක් නම් ක‍්‍රි. පූ. තුන්වන සියවසේ ශ‍්‍රී ලංකාවට බුදු සමය ගෙනා මහින්ද රහතන් වහන්සේ විසින් පාලියෙන් තැබූ බෞද්ධ අර්ථකතා සිංහලයට නඟන ලද බවට මහාවංසය කරන සටහනය. යනුවෙන් ද, අසෝක රජතුමාගේ අනුග‍්‍රහය යටතේ ලංකාවට බුදු සමය ගෙනා මිහිඳු හිමියන් විසින් බෞද්ධ අට්ඨකථා සිංහලයට නඟන ලදී යනුවෙන් එම අදහසම තවත් තැනකදී සහාය මහාචාර්ය දයා වික‍්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි. (මෙහි සඳහන් කරන මහාවංස පාඨයට පාදක සටහනක් යෙදුවා නම් මැනවි* මා ඉහත නැ`ගූ ප‍්‍රශ්නය මෙහිලා ද යෙදේ. මිහිඳු හිමියන් බෞද්ධ අර්ථකතා සිංහලයට නඟන ලද නම්, ඒවා මුලින් තිබෙන්ට ඇත්තේ පාලියෙනි. එය එසේ නම් අප සතුව දැනට පවත්නා අටුවා පොත් පරිවර්තන ක‍්‍රියා පද්ධතියක තෙවැනි අවස්ථාව වේ. පාලියෙන් සිංහලයට, සිංහලයෙන් නැවත පාලියට යනුවෙනි. මේ සියල්ල සිදුවී තිබෙන්නේ සියවස් තුනක පමණ කාලසීමාවක් තුළය.

 වංසත්‍ථප්පකාසිනි (මහාවංසටිකා*, සමන්තපාසාදිකා ආදී තන්හි සඳහන් වන සිහලට්ඨකථා මහාවංසය ම මහාවිහාරිකයන්ගේ කෘතියකි. මිහිඳු හිමියන් ප‍්‍රමුඛ පිරිස මහා විහාරයෙහි ආදි වාසීහුය. මේ පිරිස එකතු වී ධර්මය පැහැදිලි කරදෙනු පිණිස සිංහලයෙන් (මහා* අටුවාවක් ලියූහු ද යනු විමසිය යුත්තකි. එසේ නම් එය හෙළ’ටුවා යනුවෙන් වහරනු විනා මහාවංසය යන පදය ද එකතු කර අට්ඨකථා මහාවංස යනුවෙන් හැඳින්වීමේ යම්කිසි ඓතිහාසික වැදගත්කමක් තිබිය යුතුය. මේ අතර උත්තරවිහාර අට්ටකථා, උත්තරවිහාර මහාවංස යනුවෙන් අභයගිරිවාසීන්ගේ ද මහාවංසයක් තිබුණු බව වංසත්‍ථප්පකාසිනියෙහි එන ඇතැම් සටහන්වලින් පැහැදිලි වේ. මෙය මහාවිහාරවාසීන්ගේ මහාවංසයට පසුව සම්පාදනය කරන ලද්දක් විය හැකිය. බුද්ධඝෝස තෙරණුවන් මේ මහා විහාර සිංහල අටුවාව පාලියට පෙරළීමෙන් පසුව එය අනාදත වූ හෙයින්, අභාවයට යන්ට ඇත. උත්තර විහාර මහාවංසය මහාවිහාරවාසීන් අතින් වැනසෙන්ට ඇත. දිග කතාවක් ලූහුඬු කිරීම් වශයෙන් මෙහිලා ප‍්‍රස්තුතයට අදාළ වන පරිදි කිව යුත්තේ මිහිඳු හිමියන් ලංකා බුුද්ධ ශාසනයෙහි ආදිතම ධර්ම දේශකයාණන් පමණක් නොව, උදාර සම්භාව්‍ය දේශීය සාහිත්‍යයක ප‍්‍රථම කර්තෘවරයා ද වූ බවය.

mihnduhimiyange300

advertistmentadvertistment
advertistmentadvertistment