මිහිලියගේ ප්‍රාණය රැකුමටදිවියම කැප කළවනදිවි විරුවෝ

35

සෑම වසරකම එළැඹෙන ජූලි මස 31 වැනි දිනය වෙන් කර ඇත්තේ ලෝක වනජීවී සංරක්ෂණ නිලධාරීන් විසින් සිදු කරනා නිහඬ සේවය සිහිපත් කිරීමටය. නමින් වර්ල්ඩ් රේන්ජර්ස් ඩේ (World Ranger’s Day) ලෙසින් අදාළ දිනය අර්ථ ගැන්වුවද, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉන් ගම්‍ය කරනුයේ එක් ආයතනයකට සීමා වූ තනතුරක් නොවන බව පළමුවෙන්ම සඳහන් කළ යුතුමය. මන්ද යත් රේන්ජර්ස් යන්න සිංහල උරුවට පෙරළාගත් කළ එහි තේරුම ලෙස අඩවි ආරක්ෂක ලෙස සටහන් කළ හැකිය. නමුත් ජූලි මස 31 වැනි දිනය අරුත් ගන්වා ඇත්තේ මිහිතලය මත ස්ථාපිතව ඇති ස්වභාවික සම්පත් සංරක්ෂණය වෙනුවෙන් ස්වකීය දායකත්ත්වය ලබාදුන් සහ ඒ වෙනුවෙන් නිරතව සිටි රාජකාරීන් අතර තුර දිවියෙන් සමුගත් වනදිවි විරුවන් සියලුම දෙනා සිහිපත් කිරීමට බවත් මෙහිලා සටහන් තැබිය යුතුමය.

ශ්‍රී ලාංකේය වනජීවී සම්පත සංරක්ෂණ ක්‍රියාවලියේ නියුතු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව රට තුළ ව්‍යාප්තව ඇති ස්වාභාවිකවික වනවැස්මෙන් සියයට දහහතරකට ආසන්න වපසරියක් සංරක්ෂණ ක්‍රියාවලියට භාජන කරයි. එතෙක් – මෙතෙක් පැමිණි වසර 73කට ආසන්න වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ රාජකාරී අතැර තුර දිවි පිදූ නිලධාරීන් පිළිබඳව කෙටියෙන් විමසා බලනුයේ යෙදී ඇති ලෝක වනජීවී සංරක්ෂණ නිලධාරීන්ගේ දිනය අර්ථ ගන්වනු පිණිසය.

මිහිලියගේ ප්‍රාණය රැකුමටදිවියම කැප කළවනදිවි විරුවෝ

වර්ෂ 1957 වසරේ විල්පත්තුව ජාතික උද්‍යානයට අනුයුක්තව සේවය කරමින් සිටි වනසත්ත්ව මුරකරු කේ. මැණික් රාල මහතා එම වසරේ ජූලි මස 04 වැනි දින වලසෙක්ගේ සපා කෑම නිසාවෙන් තුවාල ලබා මිය ගොස් ඇති අතර ඔහු ක්ෂේත්‍ර රාජකාරීන් අතැර තුරදී මිය ගිය පළමු වනජීවී නිලධාරියා ලෙසින් නාම ලේඛනයට ඇතුළත්ව ඇත. විල්පත්තුව ජාතික උද්‍යානයේ එළුවන්කුලම වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවයේ නිරතව සිටි වනසත්ත්ව නියාමක එච්. එම්. පී. ඒ. රත්නායක මහතා මේ වසරේ මාර්තු මස 15 වැනි දින දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්විය. ඒ අනුව රාජකාරී අතැර තුර දිවිපිදූ නිලධාරීන්ගේ නාම ලේඛනයට එක් වු 82 වැනි නිලධාරියා ලෙස එච්. එම්. පී. ඒ. රත්නායක මහතාගේ නම සටහන් විය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඉකුත්ව ගිය වසර 73කට ආසන්න වූ ඉතිහාසය තුළ වනජීවී සංරක්ෂණය වෙනුවෙන් රාජකාරියේ නිරතව සිටියදී දිවි පිදූ නිලධාරීන් සංඛ්‍යාව 82 කට ආසන්න වේ.

වනාන්තර මායිමේ පිහිටා ඇති ගම්මාන හා වගා බිම් වෙත කඩා පනිමින් හා ජන ජීවිතයට බාධා වන ආකාරයේ හැසිරීම් සහිත (ඇතැම් විට මිනිස් ජීවිත පවා බිලිගන්නා හැසිරීම් සහිත) වනඅලින් ජීවග්‍රහණයෙන් අල්ලා දුර බැහැර වනජීවී රක්ෂිත වෙත මුදා හැරීම සිතන තරම් පහසු කාර්යයක් වන්නේ නැත. ඉදින් එබඳු රාජකාරීන් මෙන්ම වනඅලි ඇල්ලීමේ හා ගම්වදිනා වනඅලින් යළිත් රක්ෂිත වෙත පළවා හැරීමේ රාජකාරී අතැරතුරදී මිය ගිය නිලධාරීන් ගණන 19 කට ආසන්න වේ. එම ගණනද ඇතුළත්ව විවිධ වනසතුන්ගේ පහරදීම් නිසාවෙන් මිය ගිය මුළු වනජීවී නිලධාරීන් ගණන 23 දෙනෙකි. වනඅලි ඇල්ලීමේ රාජකාරියක් අතැරතුර එනම් වර්ෂ 1998 අප්‍රේල් මස 24 වැනි දින ජීවිතක්ෂකයට පත් වූ වනසත්ත්ව අඩවි ආරක්ෂක කේ. මන්සූර් මහතා මෙන්ම 2020 වසරේ ජනවාරි 30 වැනි දින ජීවිතක්ෂයට පත් වූ වනසත්ත්ව අඩවි සහකාර පී. එම්. ඒ. ඩී. වෙන්දකඩුව මහතාද වනඅලි පහරදීම් වලට ලක් වීමට පෙර වනඅලින් 100 කට ආසන්න ගණනක් අල්ලා ඇති පළපුරුදු, දක්ෂ, ක්ෂේත්‍ර රාජකාරී වලට නොමඳ සහාය ලබා දුන් නිලධාරීන් විය. වනඅලි පහරදීමෙන් මිය ගිය නිලධාරීන් බොහෝ දෙනෙක් වනඅලි ඇල්ලීමේ රාජකාරිවල මෙන්ම වනඅලින් සම්බන්ධ සෙසු රාජකාරීන් සම්බන්ධයෙන්ද කටයුතු කළ අත්දැකීම් බහුල නිලධාරීන් වුවද, ඔවුන් ජීවිතක්ෂයට පත් වන්නේද එබඳුම රාජකාරීන් අතැර තුරදී වීමත් මෙම රාජකාරින්වල පවතින බැරෑරුම්කම කදිමට ඉස්මතු කර පෙන්වයි.

මිහිලියගේ ප්‍රාණය රැකුමටදිවියම කැප කළවනදිවි විරුවෝ

වර්ෂ 1985 මැයි මස 14 වන දින විල්පත්තුව ජාතික උද්‍යානයේ නිරතව සිටි රාජකාරියක් අතැර තුරදී නිලධාරීන් 24 දෙනෙක් ජීවිතක්ෂයට පත් වන්නේ කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතු වීමෙන්ය. එම සිදු වීම දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ සිදු වු කනගාටුදායකම සිදු වීම ලෙස හැඳින්විය හැකිය. එම 24 දෙනාද ඇතුළත්ව විවිධ අවස්ථාවන්හීදී එල්. ටී. ටී. ඊ. තර්ජනයන්ට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වූ මුළු නිලධාරීන් ගණන 37 කි. දඩයක්කරුවන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සිදු වූ ගැටුම් නිසාවෙන් මේ වන විට වනජීවී නිලධාරීන් 16 දෙනෙක් සහ රාජකාරීන් අතැර තුර හදිසි අනතුරුවලට බඳුන් වීමෙන් නිලධාරීන් 04 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් වූ නිලධාරීන් ගණන දෙදෙනෙකි. වනසම්පත් සංරක්ෂණ කාර්යය සඳහා වනජීවී සංරක්ෂණ නිලධාරීන් නිරතව සිටිනා රාජකාරී භූමිකාව පුළුල් වූ පරාසයක් පුරා දිව ගියද, ඒ සම්බන්ධයෙන් සමාජය තුළ කතිකාවක් ගොඩ නොනැගෙන්නේ වනජීවී සේවය නිහඬ වූ සේවයක් වන නිසාවෙනැයි මම සිතමි. තම තුරුණු වියේදීම දුෂ්කර වූ වනපෙත් ඇසුරේදී රාජකාරී දිවිය ආරම්භ කරනා වනජීවී නිලධාරීන් රාජකාරීන් අතැර තුරදී විවිධ සිදුවීම්වලට මුහුණ දීමෙන් ලබන්නා වූ පන්නරයම රාජකාරී ජීවිතයේ අඩිතාලම ශක්තිමත් කර ගැනීමට අනගි වූ පිටිබලයක් සපයයි. දිනෙන් දින ලබන්නා වූ වනගත අත්දැකීම් එළැඹෙන දිනය තුළදීත් එබඳු වූ අත්දැකීමකට මුහුණ දීමේදී අනුගත විය යුතු වන්නේ කෙබඳු ආකාරයෙන්දැයි සිතා බලා අවැසි දේ තීරණය කිරීමට සුදුසු පසුබිම සකස් කරයි. එබඳු වාතාවරණයක් අබිමුව පැමිණෙන විවිධ දුෂ්කරතාවන්ට සාර්ථකව මුහුණ දී අවසන රාජකාරි දිවියේ වසර 30 – 40 කට ආසන්න වූ අත්දැකීම් සම්භාරයකින් පිරිපුන්ව විශ්‍රාම ලබා ගත් නිලධාරීන්ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු බවත් අභිමානයෙන් යුතුව සිහිපත් කළ යුතුය. ඉදින් වනජීවී සංරක්ෂණය වෙනුවෙන් කැප වන සහ දිවි පිදූ සියලුම නිලධාරීන්ගේ ඒකායන පැතුම වනුයේ අනාගත පරපුරට කදිම වූ සුවදායි පරිසරයක් උරුම කර දීම බවද සටහන් තැබිය යුතුමය.

සඳමල් රශ්මී ශ්‍රී බුද්ධික

advertistmentadvertistment
advertistmentadvertistment