මීගමුවෙන් අතුරුදන් වූ බවට සැක දැරියගේ මළසිරුර හලාවත වෙරළින් හමුවෙයි

730

මීගමුව ප‍්‍රදේශයෙන් අතුරුදන් වූ බවට සැක කෙරෙන දරුවකුගේ මළසිරුරක් හලාවත – ඉරණවිල මුහුදු වෙරළට ඊයේ (21 දා) උදෑසන ගොඩ ගසා තිබීයදී මාදැල් වාඩි සේවකයකුට හමු වී තිබේ.

මේ පිළිබඳව හලාවත පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පරීක්ෂණ ආරම්භ කළ අතර ඉකුත් 18 වැනිදා මීගමුව – දුන්ගාල්පිටිය පදිංචිව සිටි අතුරුදන් වූ තමාෂා රොසේලි (අවු: 2 1/2) යන දැරියගේ සිරුරද යන්න දැනට පොලිසිය සැක පහළ කරයි.

තම දියණිය අතුරුදන් වී ඇති බව ඇයගේ මව්පියන් විසින් පසුගිය 18 වැනිදා සවස 5.00 ට පමණ දුන්ගාල්පිටිය පොලිසියට පැමිණිළි කර ඇති අතර එතැන් සිට දැරිවිය සම්බන්ධයෙන් සොයා බලා ඇති නමුත් තොරතුරක් ලැබී නොමැති බවට වාර්තා වේ.

අතුරුදන් වනවිට දැරිය ඩෙනිම් කොට කළිසමක් සහ සුදු පැහැති ටී ෂර්ට් එකක් ඇඳ සිට ඇත. හමුවී ඇති සිරුරේ සුදු පැහැති ටීෂර්ට් එකක් තිබෙන නමුත් කළිසම හෝ යට ඇඳුම් නොතිබීම ගැටලූවට කරුණක් බව පොලිසිය කියයි. ඒ අනුව සිරුර සම්බන්ධයෙන් මහෙස්ත‍්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර ඇති බව හලාවත පොලිසිය සඳහන් කළේය. හඳුනා ගැනීමට නොහැකි වන ලෙස සිරුර වෙනස් වී ඇති අතර ශරීරයේ ඇතැම් කොටස්ද නොමැති බවක් දක්නට ඇත. හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ

advertistmentadvertistment