මීගමුව වැල්ලේ මත්ස්‍ය වෙළෙඳපොළ අද මිහිපිට ආපායක්… දිනකට වෙළෙඳාමට රුපියල් 100 – 500 දක්වා අය කරනවා

1080

ඉඩම 99 අවුරුද්දට බදු ගැනීමට අපි ඉල්ලූවා… වෙළෙඳ සංකීර්ණය ගොඩනඟන මුදල් අප ළඟ තිබෙනවා – සුජීව අතුකෝරළ පියතුමා

මීට වසර 12කට පෙර සංචාරක සම්පත් වැඩි දියුණු කිරීමේ අරමුණෙන් ජෙයිකා ආයතනය විසින් එවකට රුපියල් ලක්‍ෂ 420 ක් වැයකොට මීගමුව වැල්ලේ අභිනවයෙන් ඉදිකළ බස්නාහිර පළාත් සභාව වෙත භාරදුන් මීගමුව වැල්ලේ පිහිටි සිල්ලර මත්ස්‍ය අලෙවි සංකීර්ණය එම වෙළෙඳපොළේ ධීවර

ව්‍යාපාරිකයන්ගෙන් පිට ප‍්‍රදේශවල සිට එළවළු පලතුරු සහ අත්‍යවශ භාණ්ඩ වෙළෙඳාම් කිරීම සඳහා මීගමුව වැල්ලට පැමිණෙන ලොරි රථවලින් සහ පාපැදි – යතුරු පැදි සහ වාහනවලින් පැමිණ ගාල් කරන පාරිභෝගිකයන්ගෙන් රුපියල් දස දහස් ගණන් මුදල් දිනපතා ලබා ගනු ලැබුව ද මේ දක්වා එම කාලය තුළ කිසිදු අලූත් වැඩියාවක් නොකිරීම නිසා වෙළෙඳ සංකීර්ණය කැඞී බිඳී සමතලා වී ජරා ජීර්ණ වී ඇත.

මෙම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අයිතිය මීගමුව මහ නගර සභාව සතුවුව ද එහි සම්පූර්ණ ආදායම ලබා ගන්නේ මීගමුව වැල්ලවීදිය දේවස්ථානයක් මගිනි. වෙළෙඳ සංකීර්ණය සහ එහි පරිසරය විනාශ වී ඇතත් ඒ පිළිබඳව තැකීමක් නොරකරන එම දේවස්ථානයේ භාරකරුවන් දිනපතා රුපියල් 30,000ක පමණ මුදල් මත්ස්‍ය වෙළෙඳුන් ගෙන් ලබා ගන්නා බව ඔවුහු චෝදනා කරති.

මීගමුව වැල්ලේ මත්ස්‍ය වෙළෙඳපොළ අද මිහිපිට ආපායක්... දිනකට වෙළෙඳාමට රුපියල් 100 - 500 දක්වා අය කරනවා

මෙහි ඇති වැසිකිළි පද්ධතිය කඩා වැටී ඇති අතර එහි පැමිණෙන දහස් ගණන් පාරිභෝගිකයන් මෙන්ම මත්ස්‍ය අලෙවි වෙළෙඳුන් ද තමන්ගේ හදිසි ශාරීරික අවශ්‍යතා සඳහා යොදා ගන්නේ වෙළෙඳ සංකීර්ණයට යාබදව පිහිටි මීගමුව වැල්ලය.

මෙම වෙළෙඳ සංකීර්ණය තුළ මත්ස්‍ය අලෙවි වෙළෙඳුන් 200ක් පමණ වෙළෙඳාමේ නියුතුව ඇති අතර උදෑසන සිට තම වෙළෙඳාම සවස් කාලයේ අවසන් වනතුරු එහි වහලය නොමැති වීම නිසා ඔවුනට දැඩි අව්වේ වෙළෙඳාම් කිරීමට සිදුව ඇත. මත්ස්‍ය වෙළෙඳපොළෙන් ඉවත්කරන අපජලය බැස යෑම සඳහා කාණු පද්ධතියක් එහි තිබූ නමුත් ඒවා අබලන් වීම නිසා මේ වනවිට අපජලය වෙළෙඳ භූමිය තුළ ගලා යයි.

මේ වනවිට දැඩි දුඟද හමන අපිරිසිදු ස්ථානයක් බවට වෙළෙඳපොළ පත්ව තිබේ. පාරිභෝගිකයන් වෙළෙඳසැල තුලට ඇතුළු විය යුත්තේ ජරා ජීර්ණ වූ අපිරිසිදු එම භූමිය තුළින්ය. එහෙත් දැඩි අප‍්‍රසන්න තත්ත්වයෙන් යුතු සිල්ලර මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය තුළ වෙළෙඳාමේ යෙදෙන වෙළෙඳුන්ගෙන් රුපියල් 100 සිට 500 දක්වා මුදලක් දේවස්ථානය මගින් ටෙන්ඩර්කරුවකු ලවා අයකර ගනී. ඊට අමතරව බාහිර ප‍්‍රදේශවල සිට මීගමුවැල්ලට වෙළෙඳාම සඳහා පලතුරු, එළවළු ආදිය රැගෙන එන වාහනවලින් රුපියල් 200 සිට 500 දක්වා මුදල් අය කරයි. ඊට අමතරව මීගමුව වැල්ල අසල නගර සභා භූමියේ පාරිභෝගිකයන් පැමිණ නවතා තබන පා පැදි, යතුරු පැදි සහ වාහනවලින් ලැබෙන සැලකිය යුතු ආදායමක්ද දේවස්ථානය අයකරගනී. දිනකට මත්ස්‍ය වෙළෙඳන්ගෙන්, නවතා තබන වෙළෙඳ වාහනවලින් සහ එහි පැමිණෙන පා – පැදි යතුරු පැදි සහ වාහනවලින් අයකර ගන්නා දෛනික ආදායම රුපියල් 30,000කට ආසන්නය. එහෙත් වෙළෙඳසැල ආරම්භකර මේ දක්වා එම වෙළෙඳපොළෙන් රුපියල් මිලියන 99කට ආසන්න මුදලක් දේවස්ථානයට ලබාගෙන ඇතත් මත්ස්‍ය වෙළෙඳපොළේ කිසිදු අලූත්වැඩියා කිරීමක් වෙළෙඳ පොළ තුළ සිදුකොට නැත. වෙළෙඳපොළෙන් ඉවත ලන අපජලය මීගමු වැල්ලට එක්වෙමින් විශාල පරිසර දූෂණයක් දිනපතාම සිදුවේ.

මේ වෙළෙඳපොළ ජරාජීර්ණ වී පවතින අපිරිසිදු තත්ත්වය පිළිබඳව මීගමුව නගරාධිපති දයාන් ලාන්සා මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු ප‍්‍රකාශකර සිටියේ මෙම මත්ස්‍ය වෙළෙඳපොළ ආරම්භයේ සිටම එහි බදු සහ කුලී අයකරනු ලබන්නේ මීගමුව වැල්ල වීදියේ දේවස්ථානයෙන්ය. ඒ නිසා වෙළෙඳ සංකීර්ණයේ අලූත් වැඩියාව, පිරිසිදුකම සිදු කිරීමේ වගකීම ඇත්තේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට යැයි නගරාධිපතිවරයා පැවසීය.

පසුව මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය පත්ව ඇති අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව මීගමුව වැල්ලවීදිය අදාළ දේවස්ථානය භාර එහි මීසමාධිපති සුජීව අතුකෝරළ පියතුමන් ගෙන් විමසූ අවස්ථාවේ පියතුමන් මෙසේ පැවසීය. මෙම වෙළෙඳ සංකීර්ණයේ ගොඩනැ`ගිල්ලක් ඉදිකිරීමේ සැලසුමක් සහ ඊට අවශ්‍ය මුදල් අප ළඟ තිබෙනවා. වෙළෙඳ සංකීර්ණය ඇති ඉඩම 99 අවුරුද්දකට බදු ගැනීම අපි ප‍්‍රාදේශීය ලේකම්වරයා ගෙන් සහ වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම්කර තිබෙනවා යැයි පැවසීය. එහෙත් එම වෙළෙඳ සංකීර්ණය පිහිටි මීගමුව වැල්ලේ කොටසට පමණක් වෙනම ඉඩම් ඔප්පුවක් නොමැති යැයි පවසන රජයේ බලධාරීන් මෙම තත්ත්වය යටතේ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය තවදුරටත් දිනෙන් දින ජරාවාස වීම හැර එහි කිසිදිනක අලූත් වැඩියාවක් සිදු නොවනු ඇතැයි ඔවුන් මත පළ කරති.

සටහන සහ සේයාරූප මීගමුව විමල් කීර්ති

advertistmentadvertistment