මීටරේ කොටවේ… මාස්ක් එක නිකටේ… බේබද්දො තුරුල්ලේ… බාර් ළග බාල් නටන බේබද්දන්ගේ කතාව

627
  • ලොක්ඩවුන් කාලසීමාව තුළ ලෝකයේ කිසිම රටක බාර් විවෘත කළේ නෑ…
  • බාර් වහලා තියෙන එක දවසකට රුපියල් මිලියන 500-800ක පාඩුවක්…
  • රජයේ සියලූ දෙනා එකතු වෙලා තමයි බාර් විවෘත කරන්න තීරණය ගත්තේ…

පසුගිය සිකුරාදා සැන්දෑවේ මත්පැන්ලෝලීන්ට වසන්තය උදා විය. බමන මතින් මත් වූ මිනිස්සු සුරාසැල් අසල ජෝගි නැටූහ. දරුමල්ලො තුරුලු කරගන්නා සේ අරක්කු බෝතල් පහ, හය පපුවට තුරුලු කරගත් මිනිසුන් පරිස්සමට වාහනවලට, යතුරුපැදිවලට ගොඩවන අයුරු ගාලූ පාර දිගට සුරාසැල් අසලදී අපි දුටිමු. ඒ නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වැනිදා දක්වා යළිත් දීර්ඝ කර මත්පැන්හල් විවෘත කිරීමේ ප‍්‍රීතිය සැමරීමටය.

‘ලෝකයේ සියලූම මත්පැන් හෙට සිට අවසන්’ යැයි සිතාගෙන අරක්කු බැරල්වල බැස නාන බේබද්දන්ට නම් සුරාසැල් විවෘත කිරීම රටක් රාජ්‍යයක් ලැබුණා හා සමාන සතුටක් බව සැබෑය. එහෙත් මත්පැනට ගිජු නොවූ, මහමෙරක් අඟහිගකම් මැද අසීරුවෙන් ජීවිත ගැටගසාගෙන දිවි ගෙවන දුප්පතුන්ට රට වසා ‘බාර්’ ඇරීම ගැන ඇත්තේ හදවත් ගිනි පත්තු කරවන කෝපයකි.

‘‘රට පුරා වේගයෙන් කොරෝනා පැතිරෙනකොට පිටකොටුවේ කඩ වැහුවේ ආණ්ඩුව කියලා නෙමෙයි ව්‍යාපාරිකයන්ගේ කැමත්තෙන්. ගෝලීය වසංගතය හමුවේ රජය පීඩාවට පත් නොකර හරිහැටි බඩට නොකා තියෙන විදිහට අපි ජීවත් වුණා. ගමේ මිනිසුන්ට වගේ නෙමෙයි, කොළඹ මිනිස්සුන්ට සල්ලි නැති වුණොත් වතුරවත් නෑ. ඒත් අපි කඩ වහගෙන, කට වහගෙන හිටියේ පැතිරෙන වසංගතයේ භයානකකම දන්න නිසයි. ඇස් පනාපිට අපේ මිනිස්සු මැරුණු නිසයි. මෙවැනි භයානක ව්‍යසනයක් තුළ රට වහලා බාර් අරිනවා කියන්නේ මිනිසුන්ව වළලන්න වළ කැපීමක් වගෙයි…’’ ඒ ගිනියම් වචන අපගේ කන වැකුණේ පසුගිය සිකුරාදා සැන්දෑවේ වැල්ලවත්තේ අඳුරු වීදියකදීය. කෝපාවිෂ්ට ස්වරයකින් එසේ කතා කළේ ස්වයං රැුකියා නියුක්තිකයන්ගේ සංගමයේ ලේකම් අචින්ත ප‍්‍රියලාල්ය.

මීටරේ කොටවේ...  මාස්ක් එක නිකටේ... බේබද්දො තුරුල්ලේ... බාර් ළග බාල් නටන බේබද්දන්ගේ කතාව

‘‘ගල් අරක්කු නැතිව සමහර මිනිස්සු හිටියේ හරිම අමාරුවෙන්. ඒ මිනිස්සුන්ට කසිප්පු කොච්චර බිව්වත් වැඩක් නෑ. මත්ද්‍රව්‍ය කොච්චර පාවිච්චි කළත් ගල් අරක්කු ෂොට් එකක් නැතිව ?ට නින්ද යන්නේ නෑ. එහෙම මිනිස්සු බාර් ඇරියා කියන ආරංචියට ගෙවල්වල තියෙන අන්තිම සතයත් අරගෙන දිව්වා. බලන්න මහත්තයො බාර්වල තදබදය. මීටර් කැලේ. බේබද්දො තුරුලේ. හේ දිගු සුසුමක් පිට කළේය. සුරාසැල් සමීපයේ සිටින පොලිස් නිලධාරීන්ව තුට්ටුවකට මායිම් නොකොට, සමච්චලයට සිනාසෙමින් කාලේ කුප්පි කටට හලාගන්නා ‘සුරා පේතයන්’ දුටු විට මගේ ගත හිරිවැටිණි.

පිටකොටුව, වැල්ලවත්ත, දෙහිවල, මොරටුව එකී නොකී කොළඹ සහ සෙසු නගර ආශ‍්‍රිත වතුවල පමණක් නොව, හද්ද වන්නියේ ජීවත්වන මත්පැන්ලෝලීන් ද බාර් විවෘත කළ ආරංචියට කැත්ත, උදැල්ල අතහැර නගරයට දිව ගිය බව රට වටෙන් වාර්තා වන කතාවකි. කලවාන, අත්වැල්තොට අති දුෂ්කර කළුකන්දාව ගමේ තිදරු පියෙක් ද බාර් විවෘත කළ ආරංචියට කඩමණ්ඩියට දිව ගිය හැටි බිරිඳ අපට කීවේ දැඩි කම්පනයෙනි.

‘‘අපේ ගමේ ඇති වෙන්න කසිප්පු තියෙනවා. උතුරන්න රා තියෙනවා. ඒත් බාර් ඇරිය ආරංචියට අපේ මිනිහා පහළට දිව්වේ පුදුමාකාර හදිසියකින්. ලෙඩක්, දුකක් හැදුණත් ඔය මනුස්සයා කන්දෙන් බහින්නේ අපේ කටේ බලේට. සිකුරාදා සවස තේ දලූ කඩන එකත් පැත්තකට දාලා ගිහින් අරක්කු බෝතල් දෙකක්ම ගේනාවා. එනකොට මහ රෑ. සතුට උතුරනවා. ඔය බෝතල් දෙක ඇඳ අස්සෙ ගහගෙන බෙහෙත් බොනව වගේ හැන්දෑවට බොනවා. දවල් දවසට උගුඩුවෙක් වගෙ කසිප්පු, රා බොනවා. ඔය ගල් අරක්කුවලයි, ගමේ පෙරන කසිප්පුවලයි තියෙන වෙනස මොකක්ද මහත්තයො…’’ ඇයගේ කතාවට මම නිරුත්තර වෙමි.

පළමු කොරෝනා රැල්ලට රට වැසූ අවස්ථාවේදී ජීවිතයට කසිප්පු පානය කර නොතිබූ අය ද ගෙදර ලිපේ කසිප්පු පෙරාගෙන බිව්ව බව ප‍්‍රසිද්ධ කතාවකි. පලතුරු, බෙහෙත් බඩු, විවිධ දෑ, සීනි, යීට්ස්, ජලය සමඟ කලවම් කර පල්වෙන්නට තබා දන්න ශිල්ප භාවිතා කරමින් කසිප්පු පෙරූ හැටි ඇතැම්හු උජාරුවෙන් කතා කළහ.

‘‘මෙච්චර කාලයක් අපි බීලා තියෙන්නෙ මොනවද? ලොක්ඩවුන් එකේදී තමයි නියම පලතුරු අරක්කු ටිකක් බිව්වේ. වස, විෂ නෑ. ගෙදර හදපු බඩු…’’ තම රට බීම සංචිතය අවසාන වූ පසු නිවසේදීම පලතුරුවලින් කසිප්පු පෙරාගෙන පානය කළ රාජ්‍ය ආයතනයක ඉහළ නිලධාරියෙක් සතුටු සාමීචියේදී එසේ කීවේය. එවැනි රාජ්‍ය නිලධාරීන් පවා පෙරාගෙන කසිප්පු බොන තැනට පත් වූ ඇඳිරිනීතිය තුළ මත් වෙන්න බැටරි ඇසිඩ් හෝ බොන ගමේ සහ නගරයේ වත්තේ සිරිසේනලා, මුරුගන්ලා, මොහොමඩ්ලා කසිප්පු පෙරීම රැකියාවක් කරගෙන සිටි බව අප‍්‍රසිද්ධ කතාවක් නොවේ. ‘මතට තිත’ යටතේ යට ගිය කසිප්පු ජාවාරම කොරෝනා ලොක්ඩවුන් සමඟ රැුල්ලක් මෙන් රට පුරා ව්‍යාප්ත වූ බව සැබෑය. ගෙදර අගහි`ගකම් ලූණු පොල් කට්ටට දැණුන ද බේබද්දො හවසට මත් වෙන්න සල්ලි සොයාගත්හ. රජය ලබාදුන් රුපියල් පන්දහසේ දීමනාව කසිප්පු බීමට පරිස්සමට වියදම් කළ කාලකණ්ණි අපතයන් ගමේත් නගරයෙත් සිටි බව රහසක් නොවේ. පවතින නිරෝධායන ඇඳිරිනීතිය තුළ සුරාසැල් විවෘත කර තැබීමට, රට පුරා වේගයෙන් ව්‍යාප්ත වන කසිප්පු ජාවාරම ද රජය විසින් දඩමීමා කරගෙන සිටින බව ඇතැම් ආණ්ඩු පක්‍ෂ දේශපාලනඥයන් කියන කතාවලින් අපට වැටහිණි. එහෙත් නිරෝධායන ඇඳිරිනීතිය තුළ බාර් විවෘත කිරීම සම්බන්ධයෙන් කටහැකර දේශපාලනඥයන් කියන කතා අපට වැදගත් නැත. රටට වැදගත් ඒ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව කියන කතාවය. මේ පෙළගැසෙන්නේ ඇඳිරිනීතය තුළ සුරාසැල් විවෘත කිරීම ගැන සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා කියන කතාවය.

‘‘රජයේ සියලූදෙනා එකතුවෙලා තමයි බාර් විවෘත කරන්න තීරණය කළේ. ඒක බරපතළ තීන්දුවක්. ඒත් අපි එම තීන්දුව ගත්තේ රට ගැන හිතලා සද්භාවයෙන්. බාර් වහලා තියෙන එක දවසකට රුපියල් මිලියන 500-800ක් අතර නිෂ්පාදන බදු ආදායමක් රටේ ආර්ථිකයට අහිමි වුණා. වෙනත් නිෂ්පාදනවලට සාපේක්‍ෂව මත්පැන් නිෂ්පාදනය තුළින් ක්‍ෂණික ආදායමක් රජයට ලැබෙනවා. ඒ වගේම මත්පැන් නිෂ්පාදන ආයතන විසිහතරක් තියෙනවා. මත්පැන් අලෙවිසැල් එක්දහස් එකසීයක් තියෙනවා. සුරාබදු බලපත‍්‍ර තියෙන ස්ථාන හාරදහස් නවසීයක් තියෙනවා. එම ආයතනවල සේවය කරන පිරිස විසිදහසකට වැඩියි. බාර් වැසීම නිසා ඒ සියලූදෙනාට රැුකියා අහිමි වුණා. ඒත් බාර් වැහුවා කියලා රටේ මිනිස්සු නොබී හිටියේ නෑ.

රුපියල් පන්දාහට, හයදාහට ගල් අරක්කු බෝතල් අරගෙන බොන මිනිස්සු හිටියා. නීති විරෝධී කසිප්පු ජාවාරම රට පුරා ව්‍යාප්ත වෙලා තිබුණා. කසිප්පු කලරින් කරලා ගල් අරක්කු විදිහට බෝතල් කර අධික මිලට විකුණපු ජාවාරම්කාරයන්ව අපි අත්අඩංගුවට අරගෙනත් තියෙනවා. ඒ වගේම නීති විරෝධී මත්පැන් මිනිස් පරිභෝජනයට සුදුසු නෑ. කසිප්පු විෂ වෙලා මිනිස්සු රෝගී වූ අවස්ථා අපිට වාර්තා වෙලා තියෙනවා. මේ හැම දෙයක් ගැනම හිතලා තමයි බාර් විවෘත කරන්න තීරණය කළේ. ඒත් බාර් විවෘත කිරීම රටට ප‍්‍රකාශ කිරීමත් සමඟ ‘බාර් අරින්නෙ පැය දෙකකට විතරයි’ කියලා සමාජ මාධ්‍ය හරහා වැරැුදි ප‍්‍රවෘත්තියක් සමාජගත වුණා. අරක්කු තොග ඉක්මනට අලෙවි කරගන්න ඒක කළේ සුරාසැල් අයිතිකාරයො. මිනිස්සු කලබල වෙලා බාර්වලට දිව්වා. අරක්කු වැඩි මිලට විකුණන ජාවාරම්කාරයෝ බෝතල් තොග පිටින් අරගෙන යන්න පටන් ගත්තා. සිකුරාදා හැන්දෑවේ බාර්වල තිබුණු තදබදය සෙනසුරාදා, ඉරිදා තිබුණේ නෑ. මාධ්‍යයෙන් පෙන්නුවෙත් සිකුරාදා හැන්දෑවේ බාර්වල පොරකන එක විතරයි…’’

‘‘මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් අමුතු ප‍්‍රතිපත්ති තියෙන්නෙ අපේ රටේ විතරයි. ලොක්ඩවුන් වෙච්ච ලෝකයේ කිසිම රටක මත්පැන් අලෙවිසැල් වැහුවේ නෑ. ලොක්ඩවුන් කාලසීමාව තුළ මත්පැන් අලෙවිසැල් විවෘත කර, දුරස්ථභාවය තබාගෙන මත්පැන් අලෙවිය සිදු කරගෙන යන ලෙසට ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවේ අධිකරණයෙන් තීන්දුවකුත් ලබා දීලා තියෙනවා. දුරස්ථභාවය තියාගෙන වෙළෙඳාම කරගෙන යන ලෙසට අපිත් දැනුවත් කරලා තියෙනවා. අනුමත සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රමවේදයන් අනුගමනය නොකරන මත්පැන් අලෙවිසැල් සම්බන්ධයෙන් උපරිම නීතිය ක‍්‍රියාත්මක කරනවා. ඒ වගේම අපිත් මේ රාජකාරිය කරගෙන යන්නේ දහසක් ප‍්‍රශ්න මැද. මගේ නිලධාරීන් දෙදෙනෙක් කොවිඩ් හැදිලා මියගියා. තවත් නිලධාරීන් එකසිය ගානකට කොවිඩ් පොසිටිව් වුණා. ඒත් අපි දෙපාර්තමේන්තුව වහන්නේ නැතිව රාජකාරිය කරගෙන යන්නේ රට ගැන හිතලා. මේ රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගන්න හැකි උපරිම ශක්තිය ලබාදෙන්න…’’

සුරාබදු කොමසාරිස් ජනරාල් කියන විදිහට සුරාසැල් වසා තැබීම තුළ රටේ ආර්ථිකයට අති විශාල බදු ආදායමක් අහිමි වී ඇත. අසීරුවෙන් ඇදගෙන යන අපේ රටට එම පාඩුව දරාගැනීමට නොහැකි තරම්ය. එහෙත් ඉහළ සමාජයේ සිටින ධනවතුන්ට ඔන්ලයින් ඇණවුම් කර විස්කි, බ‍්‍රැන්ඩි මිලදි ගැනීමට පහසුකම් තිබෙන බව වාර්තා වේ. සුපිරි මන්දිරවල මිනි බාර්වල මිල අධික මත්පැන් සංචිත තිබෙන බවද සැබෑය. නිරෝධායන ඇඳිරිනීතිය තුළ මෙරටට පැමිණෙන සංචාරකයින් කිහිපදෙනා ද බාර්වල පෝලිමේ සිට අරක්කු මිලදී නොගන්නා බව ද සැබෑය. සුරාසැල් ඉදිරිපිට පොරකන්නේ අරක්කු නොබිව්වොත් අත පය වෙව්ලන බේබද්දන් සහ මත්පැන් පොදක් නැතිව මිතුරු සාමීචීයක් පැවැත්වීමට පෞරුෂයක් නැති මිනිසුන්ය. මේ දෙපිරිස අතරින් බහුතරය දුප්පත්ම මිනිසුන් සහ මධ්‍යම පාන්තික මිනිසුන්ය. ඇතැම් දේශපාලනඥයන් සහ නිලධාරීන් කියන විදිහට ඔවුන් විශාල ආදායමක් හැටියට දකිනුයේ රටේ දුප්පත් මිනිසුන් මත්පැනට දිය කරන මුදලය.

එමෙන්ම බාර් නැවත විවෘත කළ පසුගිය සිකුරාදා හැන්දෑවේ පමණක් බීමත්ව කලහකරගැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් පනස්දෙකක් කොළඹ ජාතික රෝහලට පැමිණි බව එම රෝහල් ප‍්‍රකාශකයෙක් පවසා තිබිණි. ඒ අතර කාන්තාවන් පස්දෙනෙක් සිටි බව ද හෙතෙම පවසා තිබිණි. එමෙන්ම දුරස්ථභාවය අමතක වී, මුව ආවරණ නිකටට වැටී සුරාසැල්වල යකඩ කූරු මත එල්ලීගෙන පොරකෑ අය අතර කොවිඩ් රෝගීන් සිටීමට ඇති ඉඩ අතිශය වැඩිය. එම

රෝගීන් ඇසුරින් ‘බාර් පොකුරක්’ නිර්මාණය වූ විට නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කර, වාර්තා වන එම කොවිඩ් රෝගීන් සුවත්පත් කිරීමට දැරීමට සිදුවන වියදම ගැන බාර් විවෘත කිරීමට තින්දු තීරණ ගත් ආර්ථික ඔස්තාර්ලා සැලකිලිමත් නොවීම ගැන ඇඳිරිනීතියෙන් හොඳ හැටි බැටකන අපට ඇත්තේ දුකකි. එමෙන්ම ඇබ්බැහිවූවන්ගෙන් කොරෝනා ව්‍යාප්තවීමේ වර්ධනයක් පෙන්නුම් කරන බැවින් ලෝකයේ දියුණු රටවල ලොක්ඩවුන් කාලසීමාව තුළ තැබෑරුම් සම්පූර්ණයෙන්ම වසා තැබූ බව මත්ද්‍රව්‍ය සහ මද්‍යසාරවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම, මනෝ උපදේශක, ඇමරිකාවේ වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථානාධිපති ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව හාමුදුරුවෝ ද අපට කීහ.

‘‘ලොක්ඩවුන් කාලසීමාව තුළ කිසිදු යුරෝපීය රටක තැබෑරුම් වගේම රෙස්ටුරන්ට්, සුපිරි හෝටල්වල බාර් පවා සම්පූර්ණයෙන්ම වසා තැබුවා. අපි ජීවත්වන ඇමරිකාවේ විනෝදාශ්වාදය වෙනුවෙන් වෙන් වූ නගර සම්පූර්ණයෙන්ම වැහුවා. ඇමරිකානු රජයට බිලියන ගානක් පාඩු ඇති. ඒත් එම තීන්දුව අරගෙන තිබුණා. ඒකට හේතුව කොරෝනා වෛරසයේ භයානකකම යුරෝපීයයන් හොඳින් අවබෝධ කරගෙන සිටීම. වෛරසයක් කියන්නේ ඇහැට පේන දෙයක් නෙමෙයි. ඒ නිසා වෛරස් ගැන මිනිසුන් හොඳ අවබෝධයෙන් සිටීම ආරක්‍ෂාවීමට පහසුයි. ඒ නිසා තමයි මිනිසුන් ගැවසෙන අත්‍යවශ්‍ය නොවන ස්ථාන වහලා තැබුවේ. අත්‍යවශ්‍ය නොවන සේවාවක් ලෙස සලකා තැබෑරුම් වහලා තැබුවේ. ඒ වගේම ලෝකයේ බහුලව වෛරස් ව්‍යාප්ත වෙන්නේ ඇබ්බැහිවූවන්ගෙන්. ඇබ්බැහිවීමේ සිතුවිල්ල තුළ ඔවුන්ට ජීවීතය පිළිබඳ ආශාවක් ඇතිවෙන්නේ නෑ. තවත් කෙනෙක් ගැන හිතන්නේ නෑ. මේක ඇබ්බැහිවූවන් තුළ තියෙන ගැටලූවක්. ඒ ගැටලූ ගැන රටේ පාලකයන්ට, නිලධාරීන්ට සවිඥානික බවක් තියෙනවා නම් මෙවැනි මෝඩ තකතීරු තීරණ ගන්නේ නෑ. මේ රට පාලනය කරන නායකයන්ට මේ ගැටලූ පිළිබඳ දැනුමක් නැති නම් දන්න අයගෙන් අසා දැනගත යුතුයි. පෙනෙන වාසියට වඩා නොපෙනෙන අවාසිය ඉතා ප‍්‍රබල බව තේරුම් ගැනීමට බුද්ධියක් නැති පාලකයන්, නිලධාරීන් පාලනය කරන රටක් මේ තත්ත්වයෙන් තිබීමත් වාසනාවක්…’’ ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව හාමුදුරුවෝ ඇමරිකාවේ සිට උපන් රට ගැන එසේ කම්පා වන විට මෙරට කොරෝනා ව්‍යාප්තියත් සමඟ විටින්විට රට වසා තැබූ පසුබිමකදී පවා මත්පැනට, මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන්ගේ ශීඝ‍්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්ථානයේ නිර්මාතෘ කුප්පියාවත්තේ බෝධානන්ද හාමුදුරුවෝ අපට පැවසූහ. එම ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමට රජයට සාර්ථක වැඩපිළිවෙළක් නැතිවීම ගැන උන්වහන්සේ කනගාටුවෙන් කතාකළහ. උන්වහන්සේලාගේ ප‍්‍රාර්ථනාව මතින් තොර රටක් නිර්මාණය වීම දැකීමය. එහෙත් මෙරට පාලකයන්ගේ සහ නිලධාරීන්ගේ කැමත්ත මත විකුණා රට ගොඩගැනීමය.

මැති ඇමැතිවරුන්ට අරක්කු තැබෑරුම්, මත්පැන් අලෙවිසැල් තියෙන රටක, මෙපමණ දිනකට හෝ මත්පැන් අලෙවිසැල් වසා තැබීම ගැන පුරවැසියන් විදිහට අපි සතුටු වීමු. ගල් අරක්කු ෂොට් එකක්, දෙකක් නැතිව නින්ද නොයන දේශපාලනඥයන් රට පාලනය කරන පසුබිමක ‘මතින් තොර රටක්’ දැකීම දවල් සිහිනයක් බව ද මතක තබාගත යුතුය. සිහියෙන් ජීවත් වෙමින් මේ රටට වෙන විපත්ති දැක කම්පා වෙනවාට වඩා, බොක්ක තැම්බෙන්න, මනස විකාර වෙන්න අරක්කු බී උන්මත්තකයන් ගානට ජීවත්වීම සැනසීමකි. අපට තියෙන කනගාටුව මෙරට අමද්‍යප ව්‍යාපාරය ආරම්භ කිරීමේ පුරෝගාමියකු වූ ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ජන්ම දිනය සැමරූ සිකුරාදාම රටේ බාර් විවෘත කර අයට වැටී තිබෙන සමාජය මත් කිරීම ගැනය. යහපත් රටක්

ගොඩනැඟීමට බහුතරයක් වූ සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන් පත් වූ රජය සුරාව විකුණගෙන කන තැනට පත්වීම ගැනය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment