මීට පස්සෙ ආණ්ඩු පෙරළන අරගල බැහැ

190

ද්විත්ව පුරවැසි බැසිල් නරකයි කුමාර් හොඳයි – එහෙම කොහොමද
හදිසි නීතිය දානවා හමුදාව යොදනවා
ඩින්ඩියම්ලාට මේ රටේ තැනක් නෑ
මේක පිටිපස්සේ හිටියේ කුමාර් ගුණරත්නම් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි
පෞද්ගලීකරණය පටන් ගත්තේ ප්‍රේමදාස ජනාධිපති යටතේ
ගිනි තියන්න කියපු මාධ්‍ය හොයන්න කොමිසමක් දානවා
පාර්ලිමේන්තුව මම විසුරවන්නේ නෑ
17-19-21 ව්‍යවස්ථා සංශෝධන ගෙනා මට දැන් හිට්ලර්ලු
ජනාධිපති පාර්ලිමේන්තුවට කියයි

ද්විත්ව පුරවැසියකු නිසා බැසිල් රාජපක්ෂ හොඳ නැතිනම් ඉන්දියන් සාම හමුදාවේ මිනිසුන් මරා දැමූ ඡන්ද බලයක් නැති ද්විත්ව පුරවැසියකු වන කුමාර් ගුණරත්නම් හොඳ වන්නේ කෙසේදැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) පැවසීය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කළ ඊයේ දින එම විවාදයට සම්බන්ධවෙමින් ජනාධිපතිවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

විපක්ෂනායක සහ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීතුමා කිව්වා පාඩු ලබන ඒවා විකුණන්න, ලාභ ලබන ඒවා විකුණන්න එපා කියලා. මේ රටේ පෞද්ගලීකරණය, ජනතාකරණීය කරන එක පටන් ගත්තේ ප්‍රේමදාස ජනාධිපති යටතේ. මමයි එවකට කර්මාන්ත ඇමැති. අපි පළමුවෙන්ම විකිණුවේ යුනයිටඩ් මෝටර්ස්. දෙවනුව කළේ සිලෝන් ඔක්සිජන්, ලෙදර් කෝපරේෂන්. ටයර් කෝපරේෂන්, ලංකා මිල්ක් ෆුඩ්, ලංකා ඩිස්ටිලරීස්, ඊළඟට වැවිලි සමාගම් විකුණුවා. මේවා ලාභ ලබනවා. ප්‍රේමදාස අගමැතිතුමා, ජේ.ආර්. ජනාධිපතිතුමා අපේ ආර්ථිකය විවෘත කළා. ප්‍රේමදාස ජනාධිපතිතුමා 89 දී ඊළඟ පියවර ගත්තා. ඒ පියවර යටතේ සමහර අංශ රජයේ පාලනයෙන් ඉවත් කරලා පෞද්ගලික අංශයට භාර දුන්නා. ඒකට අපි උදාහරණයක් කර ගත්තේ චීනයයි.

ඊයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කිව්වා පාඩු ලබන ආයතන පමණයි විකුණන්න ඕනේ කියලා. එතුමාගේ සහායට අද විපක්ෂනායකුමාත් ආවා. අලාභ ලබන ආයතන පමණයි විකුණන්න ඕනේ කියලා. ඔන්න ඔබතුමාට හොඳ අනුගාමිකයෙක් ඉන්නවා. ඉතින් අපි තීරණය කරමු මොකක්ද කරන්නේ කියලා. අද අපි වාසනාවන්තයි මේ සභාවේ මේ කරුණු වාද කරන්න. නමුත් මැයි 09න් පසුව අපි මේවා තියෙයිද කියලා කල්පනා කළේත් නෑ. ඒ සිද්ධි ගැන උසාවියට කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. අනෙක් අතට එක් මන්ත්‍රීවරයෙක් පාරේ අමු අමුවේම මරලා දැම්මා. තව මන්ත්‍රීවරයෙක් තමයි ‘ගෝඨා ගෝ හෝම්’ කියලා මුලින්ම කිව්වේ. එතුමා අනූ නවයෙන් බේරුණේ. ගිනි තිබ්බා. හෝමාගම අය අඳුරන නිසා වෙල්ගම මන්ත්‍රීතුමාව බේර ගත්තේ. සමහර මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බා. අපිට මතකයි නාලන්ද එල්ලාවල ඝාතනය කරලා තිබුණා. මන්ත්‍රීවරු සම්බන්ධ වෙලා තිබුණා. එදාත් ගෙවල් ගිනි තියලා තිබුණා. අපි ඒවාටත් විරුද්ධ වුණා. අද මේ සභාවේ ඉන්නේ ඡන්දෙන් තේරී පත්වූ අයයි. ඒ අයට අපි ආරක්ෂාව දෙන්න ඕනේ. වන්දි දෙන්න ඕනේ. අපි බලාගන්න ඕනේ.

ජුලි 09දා ජනාධිපතිව පන්නලා දැම්මා. එදා ජනාධිපති මන්දිරයට මොකක්ද වුණේ. ගිහින් බලන්න ඒක නැති කරලා තිබෙන්නේ. ඊට පස්සේ ජනාධිපති කාර්යාලය අල්ල ගත්තා. බිම වාඩි වුණා. එන්න දුන්නේ නෑ කිව්වා. මම අයින් වෙන්නේ නෑ කිව්වහම මගේ ගේ ගිනි තිබ්බා. අපිට බහුතරය තිබුණා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදුවා නම් මට අයින් වෙන්න තිබුණා. ඊළඟට පාර්ලිමේන්තුවත් අල්ල ගන්න ආවා. මෙහෙම බලවේගවලට යටත් වෙන්න එපා කියලායි අපි විපක්ෂයටත් කියන්නේ. 17 සහ 19 ව්‍යවස්ථා සංශෝධන ගෙනාවෙත් මම, 21 වැනි සංශෝධනය ගෙනාවෙත් මම. ඒත් දැන් මම හිට්ලර් වගේලු. අල්ජසීරා එක කියනවා මෙයා ඒකාධිපතියෙක් වගෙයිලු. එදා අපේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම නැති වෙන්න ගියා. මේක අල්ල ගත්තා නමුත් ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. කවුද මේක පිටිපස්සේ හිටියේ, කුමාර් ගුණරත්නම් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. අපි 21 වැනි සංශෝධනය සම්මත කර ගත්තහම කිව්වේ බැසිල් රාජපක්ෂ පිටවෙලා යන්න ඕනේ කියලා. අපි ඒක පිළිගමුකෝ. පෙරටුගාමී එකේ නායකයත් ද්විත්ව පුරවැසියෙක්. ඔස්ටේ්‍රලියාවෙයි මෙහෙයි දෙකේම පුරවැසියෙක්. මෙයා නරක වෙලා එයා හොඳ වෙන්න බෑ. බැසිල්ට එන්න එපා කියලා අපි බලය දෙන්න යන්නේ ඡන්දෙකින්වත් බලයට ආපු නැති ද්විත්ව පුරවැසියෙක්ට. බැසිල් රාජපක්ෂට විරුද්ධව චෝදනා තිබෙනවා කිව්වා. එතුමාව උසාවියට ගෙනිහින් රිමාන්ඩ් කළා. මොකක්ද ගුණරත්නම්ට විරුද්ධව තිබෙන්නේ ඉන්දීයන් සාම හමුදාවේ මිනිස්සු මැරුවා කියලා. මේකයි අපේ විමුක්තිය.

මැයි 09යි ජුලි 09යි අතර අපේ පන්සල් කිහිපයකට ගිනි තියනවා කියලා තර්ජනය කළා. මල්වතු, අස්ගිරි විහාරවලට තර්ජනය කළා. කතා කරන්න එපා කිව්වා. හින්දු කෝවිල්වලටත් තර්ජනය කළා. කොහොම වුණත් අපි මේ රට ‘ඩින්ඩියම්’ පාලනයකට ගෙනයන්න ඉඩ දෙන්නේ නෑ. දැන් කියනවා ආපසු අරගලය ඕනෑලු. ඕනෑ කෙනෙකුට රැස්වීම් තියන්න පුළුවන්. ඕනා තරම් කෑගහන්න මම ඒකාධිපතියෙක් කියලා. කමක් නෑ. ඒත් ඒකට බලපත්‍රය ගන්න ඕනා. වාහනවලට යන්න අවහිර කරන්න එපා. අරගලයක් කරනවා නම් ආණ්ඩුවක් වෙනස් කරන්න මම ඒකට ඉඩ දෙන්නෑ. හමුදාව යොදවනවා. හදිසි නීතිය දානවා. ඩින්ඩියම්ලාට තැනක් නෑ මේ රටේ. කුමාර් ගුණරත්නම් එක්ක කවුද එතනට යන්නේ? එයා හොඳයි නම් බැසිල් රාජපක්ෂ හොඳ නෑ කියලා කතා කරන්න බෑ. ඒ අය හැමදාම කෑ ගැහුවා කියලා අද මිනිස්සු නෑ එයාත් එක්ක. දැන් බලමුකෝ ගිනි තියන්න කියලා කියපු මාධ්‍ය කවුද කියලා. ඒකට මම කොමිෂන් සභාවක් පත් කරන්න ඉන්නේ ඒ ගැන හොයන්න කියලා. පාස්කු ප්‍රහාරයෙන් පසුව අපි කොමිසමක් පත් කළා. මම ගිහින් සාක්ෂි දුන්නා. එහෙනම් අපි මේ ගැනත් කොමිසමක් පත් කරන්න ඕනා. අපිට දැන් හුඟාක් වැඩ කරන්න තිබෙනවා. අපි මෙතනට ඇවිත් තිබෙන්නේ වැඩ කරන්න. මම නම් පාර්ලිමේන්තුව විසුරවන්න යන්නේ නෑ. මේ රටේ ආර්ථිකය පිළිබඳ විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ඒක විසඳගෙන ඉමු. දැන් බොහෝ දෙනෙක්ට ඡන්දත් එපා වෙලා. දේශපාලනයත් එපා වෙලා. සජබ රැස්වීම්වලත් ඉන්නේ මම දන්න පරණ මුහුණුමනේ. අලුත් අය නෑ මෙතන. තරුණයින් බලන්නේ වෙනසක් කරනවාද කියලා. අපි සහනයක් දීලා ඡන්දෙකට යමු. මනාප ක්‍රමය තිබෙනකම් දූෂණය තිබෙනවා. ඡන්දයකට කොපමණ වියදම් කරනවාද බලන්න. ඡන්දයක් කරන්නවත් බෑ. මේවා ගැන හිතන්න ඕනා. මම විපක්ෂයට කියන්නේ එන්න අපි එක්ක එකතු වෙලා වැඩ කරමු. මට පුළුවන් මේ සියලු දෙනා එක්ක වැඩ කරන්න, කිසිම ප්‍රශ්නයක් නෑ. සුමන්දිරන් මන්ත්‍රීතුමාලා එකඟයි. විපක්ෂය එකඟද කියලා කියන්න. මනෝ එකඟයිලු. ලක්ෂ්මන් එකඟයිද කියන්න.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – එතුමා දන්නවා මම බලය බෙදනවාට කැමතියි කියලා. ඉස්සෙල්ලාම බලය බෙදන්න කියලා කිව්වේ සිංහල නායකයෝ.

රනිල් වික්‍රමසිංහ මහතා- මම ඔබතුමාව දන්නවා. සජබයේ ඔක්කොම එකඟයිද? ඒ වචනය අපිට දෙන්න.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- අපි ජනාධිපතිතුමා ගැන දන්නවා. අවුරුදු 20ක් එතුමා අපේ නායකයානේ. මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා තර්ටීන් ප්ලස් කියලා. එතුමා ඒකට කැමතිද? නැගිටලා මේ සභාවට කියන්න.

මහින්ද රාජපක්ෂ මහතා- අපි එකඟයි.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- මේ අගමැතිතුමා බලය බෙදනවාට විරුද්ධයිනේ.

ගෙවිඳු කුමාරතුංග මහතා- ඒකීය ශ්‍රී ලංකාවකට නම් අපි එකඟයි. නමුත් එයින් එහාට ගිය එකකට නම් අපි එකඟ වෙන්නේ නෑ. අපේ හමුදාව ජීවිත පුද කළේ ඒකීය ශ්‍රී ලංකාවක් වෙනුවෙන්.

රනිල් වික්‍රමසිංහ මහතා- චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගෙනාපු ව්‍යවස්ථාවට මොකක්ද වුණේ කියලා හිටපු ජනාධිපතිතුමා දන්නවා. එතුමාව හමුවෙලා අහගන්නකෝ. මගෙන් අහන්න වැඩක් නෑනේ, මම වෙන පක්ෂයකනේ. 11 වැනිදායින් පසුව මම රැස්වීමක් කැඳවන්නම්කෝ සියලුම දෙනාට.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment