මීට වඩා නම් දුක් විඳින්න බැහැ…

1220

ඝාතනය වී ඇති ආර්ථිකය ස්ථාවර කිරීම වෙනුවෙන් වේදනාකාරී තීන්දු ගැනීමට සිදුවී ඇතැයි මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසූ බව අන්තර්ජාලයේ සඳහන්ව තිබේ. ආර්ථික අවපාතයක් පවතින කාලයකදී ආර්ථිකය ස්ථාවර කිරීමට ගන්නා තීරණවලින් විශාල වේදනාවක් ජනතාව තුළ හටගන්නා බවද ඔහු කියා ඇත. මෙහිදී “ඝාතනය වී ඇති ආර්ථිකය” යන යෙදුම කෙරෙහි අපේ අවධානය යොමුකරනු ලැබේ. ‘ඝාතනය වී ඇත’ යනුවෙන් හඳුන්වන්නේ මිය ගොස් ඇති බව නොව මරා දමන ලද බවය. එකී අර්ථ නිරූපනයට අනුව බලන කල නන්දලාල් වීරසිංහගේ ද දෘෂ්ටිවාදයට අනුව කිසියම් පිරිසක් හෝ පුද්ගලයකු විසින් ලංකාවේ ආර්ථිකය මරා දමා ඇත. ආර්ථික ඝාතකයන් ගැන මුලින්ම කතා කරන්නට පටන් ගත්තේ විමල් වීරවංශ විසිනි. එම යෙදුම යහපාලන ආණ්ඩුවට පෙර මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව පැවති කාලයේදී ඔහු විසින් භාවිතා කරන ලදි. එම අවස්ථාවේදී මේ රටේ ආර්ථිකයේ තීරක බලධාරියා ලෙස කටයුතු කළේ ආචාර්ය පී.බී. ජයසුන්දර ය. මේ නිසා වැඩිදෙනා විසින් කල්පනා කරන ලද්දේ විමල් වීරවංශ කියන ආර්ථික ඝාතකයා පී.බී. ජයසුන්දර බව ය.

ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව බලයට පත් වූ පසුව අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ අධිපති බවට පත්වූ බැවින් ආර්ථික ඝාතක බෝලය ඔහුගේ අතට මාරුවිය. එතැන් පටන් විවිධ පුද්ගලයන් විසින් ආර්ථික ඝාතකයා ලෙස හඳුන්වන ලද්දේ නිවාඩ් කබ්රාල්ය. ගෝඨාභයගේ ආණ්ඩුව ශූන්‍ය වීමට පෙරම අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිකමින් ඉල්ලා අස්වී ගෙදර ගොස් පොතක් ලියන්නට පටන් ගත්තේය. ඒ පොතේ කියවෙන පරිදි සැබෑ ආර්ථික ඝාතකයා වන්නේ නිවාඩ් කබ්රාල් නොව වෙනත් පිරිසකි. ආර්ථික ඝාතකයන් ගැන කතා කිරීම පසුගිය දස අවුරුද්ද තිස්සේම සිදුවිය. එහෙත් අද වන තුරුත් මළ මිනිය හැරුණු විට මිනීමරුවා සොයා ගැනීමට කාටවත් හැකිවී නැත. ලසන්ත වික්‍රමතුංග ඝාතනයේදී සිදු වූයේ ද මළ මිනිය හමුවීම පමණි. වසීම් තාජුඩීන් ඝාතනයේදී ද ප්‍රතිපලය එයම විය. මේ මොහොතේදී සමාජයේ කතා බහට ලක්වන ලොකුම සිද්ධිය වන දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් ද තත්ත්වය එයමය. අද වනතුරු එම ඝාතනයේ මිනී මරුවා හමුවී නැති අතර ෂාෆ්ටර්ගේ මළ මිනිය පමණක් බොරැල්ල කනත්තෙන් හමුවිය. ෂාෆ්ටර් කිසිවකු විසින් මරා දමනු ලැබුවා නොව සිය දිවි නසාගත්තේය යන මතයක් දැන් ගොඩනැගී ඇත. මෙය ප්‍රශ්න විසඳීමට ඉතාම ලේසි පහසු ක්‍රමයකි. මළ මිනියක් තිබේ නම් සහ එම මරණය සිදු කළ කෙනෙක් සොයා ගැනීමට නැත්නම්, මිය ගිය තැනැත්තා සිය දිවි නසා ගත්තකු සේ සලකා මරණ සහතිකයන් නිකුත් කළ හැකි නම් ප්‍රශ්න ගොඩක් විසඳා ගැනීමට පුළුවන. එවිට අපරාධ පරීක්ෂණ පවත්වමින්, සැකකරුවන් අත්අඩංගුවට ගනිමින්, ඇඟිලි සලකුණු සොයමින්, සාක්ෂි සහ පරිවේශනීය සාක්ෂි අධ්‍යනය කරමින් වාත වීමට පොලිසියට සිදුවන්නේද නැත.

මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහගේ කියමනට අනුව මතුවන පහත සඳහන් කරුණු දෙස තවදුරටත් සලකා බැලිය යුතුය. එනම්,

  1. ඝාතනය වී ඇති ආර්ථිකය ස්ථාවර කිරීමට වේදනාකාරී තීරණ ගන්නා බව
  2. එවැනි විටකදී මහජනතාවට විශාල වශයෙන් රිදෙන බව

මීට අවුරුද්දකට පෙර මේ රටේ තිබුණු තත්ත්වයට වඩා යහපත් තත්ත්වයක් අද තිබේ. මේ වන විට ප්‍රගතිශීලී වාමාංශික කොටස් ආණ්ඩු බලය ලබා ගැනීම සම්බන්ධයෙන් කයිවාරු කෙළිමින් ඉන්නවා මිස අරගල කරන්නේ නැත. එසේම තෙල් පෝලිම් සහ ගෑස් පෝලිම් ද රට තුළ නැත. මිල ඉහළ ගොස් ඇති නමුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළෙන් ලබාගත හැක. පැය 12 විදුලි කැපිල්ල පැය 2 යි විනාඩි 20 ට සීමාවී ඇත. මේ සියලු සහන අස්සේ ජනතාවට සල්ලි නැත. එබැවින් පහසු ජීවිතයක් සඳහා ප්‍රවේශයක් ලබා ගැනීමට ජනතාවට හැකියාවක් නැත. ඇත්තම කතාව නම් පවතින ආර්ථික අවපාතය නිසා මේ රට අන්ත දුකකට පත්වී ඇති බවය. ශ්‍රී ලංකාව සහ තිළිණි ප්‍රියමාලි අතර වෙනසක් නැත. (අප මෙහිදී තිළිණි ප්‍රියමාලි යනුවෙන් හඳුන්වන්නේ එනමින් සිටින කාන්තාව ගැන නොව එනමින් තිබෙන ආර්ථික අවපාතය ගැනය.) තිළිණි ප්‍රියමාලි අවුරුදු ගණනාවක් තිස්සේ ආයෝජනවල ස්වරූපයෙන් දිගින් දිගටම ණය ගෙන අන්තිමේදී නන්නත්තාර විය. ශ්‍රී ලංකාව ද පිටරටවලින් දිගින් දිගටම ණය ගෙන අන්තිමේදී නන්නත්තාර විය. ණය ගෙවීමේ ක්‍රමයක් තිළිණි ප්‍රියමාලිට කවදාවත් තිබුණේ නැත. ගත් ණය ගෙවීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවට එදා තිබුණ ද අද නැත. මේ නිසා පිටරටින් ගත් ණය වාරිකයක් සහ පොලී වාරිකයක් ගෙවීම ඉකුත් මැයි මාසයේදී අපට අතපසු විය. ඒ සමගම ශ්‍රී ලංකාවට විරුද්ධව උසාවි ගිය බැවින් ජාත්‍යන්තර මුදල් වෙළෙඳ පොළ තුළ අපට තිබූ හොඳ නම බ්ලැක් ලිස්ට් විය. නන්දලාල් වීරසිංහගේ අර්ථ නිරූපනයට අනුව ඉදිරියේදී ලොකු දුකක් විඳීමට ජනතාවට සිදුවෙයි. අපට ඇති ප්‍රශ්නය වන්නේ මීටත් වඩා විඳීමට තිබෙන දුක කුමක්ද යන්නයි. අපි කොරෝනාවෙන් පසු නැත්තටම නැති වීමු. අපේ රටේ අයටත්, පිටරට සිටින අපේ අයටත් රැකියා නැති විය. ඊළඟට ආදායම් නැති විය. ඒ නිසා අත්‍යවශ්‍ය බඩු පිටරටින් ගෙන්වීමට බැරිවිය. කාබනික පොහොර මළ දානයක් නිසා රටේ අස්වැන්න බෙහෙවින් පහත මට්ටමකට පැමිණි අතර එදා වේල සපුරා ගනු පිණිස අවශ්‍ය කෑම බඩු ටිකවත් මිලට ගැනීමට ජනතාවට බැරි විය. අපේ ප්‍රශ්නය වන්නේ අපට විඳීම සඳහා මීටත් වඩා දුක් තිබේද යන්නය.

advertistmentadvertistment
advertistmentadvertistment