මීරිගම දරුවන්ට වුණේ මොකක්ද?

214

‘‘අපිව ගෙදරට දෙන්න එපා’’ දරුවෝ කියති.

දින හතළිහක් මීගමුවේ අගුපිල්වල ඉඳලා

රටක අනාගතය රැඳී ඇත්තේ දරු පරපුර මතය. හොඳම දේ දරුවන්ට යැයි කියන්නේ හේතු ඇතුවය. නමුත් අපේ හෙට දවස එච්චර සුබ නැත. ඒ කියන්නේ දරු පරපුරට හොඳම දේ ලැබෙන්නේ නැති බවය. වත්මන් දරු පරපුරට හොඳ හෙටක් නොමැති නම් රටේ අනාගතය ඉතා නරක එකකි. අඳුරු එකකි. අප එලෙස කියන්නේ හේතු ගණනාවක් සිත යට තෙරපි තෙරපී නලියන නිසාය. දැන් ඒ පූර්විකාව පසෙකට තබමු.

ඉකුත් බ‍්‍රහස්පතින්දා දිනයේ ඇස ගැටුණ සිද්ධියක් නිසා පෑරුන සිත මේ දක්වා සුවපත් වී නැත. හිත පෑරුණේ කොටදෙනියාව, බාඳුරාගොඩ ප‍්‍රදේශයේ අනතුරුදන්ව සිටී දරු දෙදෙනාගේ සිද්ධිය දුටු පසුවය. ඒ දරු දෙදෙනා හමුවූයේ බ‍්‍රහස්පතින්දා (06 දා) හරිනම් දරු දෙදෙනා නිරුපද්‍රිතව හමුවූ පසු අප තුළ ඇතිවිය යුත්තේ සැනසුම් සුසුමකි. නමුත් මේ දරු පැටව් දෙදෙනාගේ කතාව ඇසූ පසු ඇතිවූයේ කියාගත නොහැකි සිත් වේදනාවකි. සිත පෑරුණා යැයි කීවේ ඒ නිසාය.

මේ දරු පැටව් දෙන්නා අයිය මළෝය. අයියා නමින් අකිල දිනිදුය, වයස අවුරුදු දාහතරකි. මල්ලිගේ නම කවීෂ සඳරුවන්ය. වයස අවුරුදු දහයකි. ඔවුන් පදිංචිව සිටියේ කොටදෙනියාව, බාඳුරාගොඩ ප‍්‍රදේශයේය.

දින හතළිස් හතරක කාලයක් පුරා අතුරුදන්ව සිටි දරු දෙදෙනා හමුවූ පසු ඔවුන් කීවේ මේ ටිකය.

‘‘අම්මා හැමදාම අපිට බනිනවා ගහනවා. වරදක් කළත් නැතත් හැමදාම අම්මා අපිට වධ දෙනවා. මල්ලි බලාගන්නෙ නෑ කියලත් ගහනවා. ඒ වධ හිංසා ඉවසා ගන්න බැරිම තැන මමයි මල්ලියි එක දවසක් ගෙදරින් පැනලා ගියා. ඒත් අපි පදිංචි කොටදෙනියාව පොලිසියේ අංකල්ලා අපිව අල්ලලා ආයෙ අම්මට භාර දුන්නා. අතුරුදන්ව සිට හමුවූ ඒ දරු පැටවා කීවේ එවැනි කතාවකි.

මේ මව කවරාකාර එකියකැයිද අපි දන්නේ නැත. එක්කො ඇය යම් කිසි මානසික ආතතියකින් පෙළනවා වන්නට බැරි නැත. ලේ කිරි කර පොවා හදා වඩාගත් දරු දෙදෙනෙක් යහමගට ගැනීමට යම් පමණකට තරවටු කිරීමක්, අවවාද දීමක්, තදින් බැන වැදීමක් පිළිබඳ තර්ක කළත් ඵලක් නැත. කෝටු පාර දී දරුවන් යහමගට ගත්තත් එහි වරදක් නැත. නමුත් මේ දරුවන් කියන පරිදි මේ මව් ඔවුනට මොන ආකාරයෙන් වද දෙනවා දැයි යන්න තාමන් හරිහැටි හෙළිවී නැත.

‘‘මායි මල්ලියි අම්මයි බාල මල්ලියි එක්ක ජීවත් වුණේ බාඳුරාගොඩ නිවසෙ. අපි දෙන්න හැම තිස්සෙම ගුටි කනවා.’’

මීරිගම දරුවන්ට වුණේ මොකක්ද?

දරු දෙදෙනා බ‍්‍රහස්පතින්දා හමුවන විට ඔවුන් දෙදෙනා දින 44 ක් තිස්සේ ජීවත්වී ඇත්තේ මහ පාරේය.

වයස අවුරුදු දහයක හා වයස අවුරුදු දාහතරක දරු දෙදෙනෙක් කෙලෙස නම් මහමග ජීවිතය ගෙවුයේ දැයි සිතාගත නොහැකිය. ඒ තැනට හිත ශක්තිමත් කර ගන්නට තරම් මේ පුංචි හිත්වලට ශක්තිය ආවේම ඒ නපුරු මවගේ හැසිරීම ද යන්න සිතාගත නොහැකි දෙයකි.

මේ පාර ගෙදරින් පැන ගත්තේ ආයි මේ අම්ම ළඟට එන්නෙම නෑ කියලා හිතාගෙනයි. අම්මලා මීරිගම ටවුන් එකට ආපු වෙලාවේ තමයි අපි පැන ගත්තේ. අපි එහා පැත්තේ ගෙදරක වත්තකට පැනලා ගොටු කොළ කැඩුවා. ගොඩුකළ මිටි හදාල ළඟ පොඩි කඬේකට ඒ ටික විකුණුවා. මුදලාලි අපිට රුපියල් 100 යි දුන්නෙ.

ඒ රුපියල් සියය අරගෙන මමයි මල්ලියි මීරිගමට ආවේ පයින්මයි. එතැනින් අපි මීගමුව බස් එකකට නැග්ගෙ කිසිම අරමුණක් නැතුව. ඒ දරු දෙදෙනා කියා සිටියේ නෙතට නැඟුණ කඳුළැලි මතුවෙද්දීය. නමුත් සිත හයියය. මොනතරම් හයිය දැයි කියන්නේ නම් මෙවැනි වයසේ පසුවන සෙසු දරුවන්ට නැති සවි ශක්තියක් ඒ දරු පැටව් දෙදෙනාට උරුම වී ඇත.

අපි රෑට නිදා ගත්තේ මීගමුවේ අගු පිල්වල. රෑට සීතලයි. වෙව්ලනවා.

බඩගින්න ඉවසගන්න බැරි තැන කඩවලට ගිහින් හඟා කෑවා. සමහරු අපිට බැන්නා සමහරු කෑමට යමක් දුන්නා. දවසක් මීගමුවේ කඩ පිලක අපි ඉන්න කොට පොලිසියේ මාමලා ඇහුවා මොකද ළමයි කරන්නේ කියලා. අපි කිව්වා මාම එනකන් ඉන්නෙ කියලා. ඒ පොලිසියේ මාමලා ඒක පිළිගත්තා.

මේ අතර හරි හොඳ මිනිස්සු අපිට හමුවුණා. බැන වදින මිනිස්සුන් හමුවුණා. හරියටම පසුගිය බදාදා (05 වැනිදා) මීගමුව ටවුන් එකේ කෙඬේකින් කන්න යමක් ඉල්ලූවා. ඒ කෙඞ් හිටිය නැන්දා හරිම හොඳයි. කරුණාවන්තයි. අපේ අම්මත් එහෙම හිටියානම් කියලා අපිට හිතුණා. එතකොට නම් ගොඩක් දුක හිතුණා. ඒ දරු දෙදෙනා කීවේ පොඩි හිතේ තෙරපුන හැඟුම්ය.

ඒ ආන්ටි අපිට කන්න දුන්නා. අලූත් ඇඳුම් අරන් දුන්නා. ඊට පස්සේ අපි කිව්වා අපට යන්න එන්න තැනක් නෑ. ආන්ටි අපිව ඔයාලගෙ ගෙදර අරන් යන්න කියලා. ඊට පස්සේ තමයි ඒ රත්තරන් ආන්ටි අපි දෙන්නව ඒ අයගේ ගෙදර අරගෙන ගියේ. ඊට පහුවෙනිදා ඒ ආන්ටි තමයි පොලිසියට භාර දුන්නේ. අනේ අපිව ආයි ගෙදර නොයවා ඒ ආන්ටිගෙ ගෙදරට යවන්න. පින්සිදු වෙයි. ඒ දරු දෙදෙනාගේ එකම ඉල්ලීම ඒකයි.

මේ රටට ගිය කලක්.. හැම තැනම ප‍්‍රශ්නය. ඒ මදිවාට දරුවන්ටත් අපලය. මව්වරු පියවරු තිරිසනුන් ්ලෙස හැසිරෙන්නේ මන්ද? සමාජය පිරිහී ගොස්ද නැතිනම් මේ විපරීත කාලයද? ඒ කොයි හැටි වෙතත් මේ දරු දෙදෙනාට සාධාරණයක් අවැසිය. ලොවක් දිනන දරු දෙදෙනෙක් බවට මේ දරු පැටව් දෙන්නා පත්කළ යුතුය. නීතිය ක‍්‍රියාත්මකය. නීතිය දෙස පමණක් බලා නොසිට මේ දරු පැටව් දෙන්නාට යහපත් හෙටක් නිර්මාණය කර දෙන්නට අතමිට ඇති පහසුකම් ඇති ඔබටද මැදිහත්විය හැක. මේ දරු පැටව් දෙන්නා හොඳින් උගෙන ඉහළම තැනකට රැගෙන යා හැකිය. එලෙස කළ හැකි නම් එය මේ දරු පැටව් දෙදෙනාට පමණක් නොව මුළු රටේම දරුවන් වෙනුවෙන් කරන මහඟු මෙහෙරවකැයි අපගේ විශ්වාසයය.

ශිරාන් රණසිංහ
පසුබිම් වාර්තා ඡායා –
චන්ද්‍රවීර වික‍්‍රමරත්න, සුජාතා ජයරත්න, ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment