මීවනපලානේට යළි භික්ෂූත්වය දෙන්න හැදු සුමනසාර හිමිගේ තනතුරු ගලවයි

10187

මල්වතු මහා විහාරීය කාරක සංඝ සභාවෙන් ඒකමතික තීරණයක්

බුද්ධ චරිතය හා සම්බුද්ධ දේශනා විකෘති කරන මීවනපලානේ සිරි ධම්මාලංකාර නම් භික්ෂු ප්‍රතිරූපකයාගේ සාවද්‍ය විකෘති දේශනාවන් ප්‍රවර්ධනය කිරීම, සංඝ භේදය ඇතුළු කරුණු ගණනාවක් පදනම් කරගනිමින් බදුල්ලගම්මන සුමනසාර නාහිමියන් වෙල්ලස්ස බින්තැන්න නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් ඉවත් කිරීමට මල්වතු මහා විහාරීය කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

මහ නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායක ගරුතර කාරක මහා සංඝ සභාව විසින් ධර්ම විකෘතින් හා විවිධ අප්‍රතිකාරි අශ්‍රමණික ක්‍රියාවන් හේතුවෙන් සාමණේර ලියාපදිංචි අවලංගු කළ පන්සල්හේනේ ධර්මාලංකාර හෙවත් මීවනපලානේ සිරිධම්මාලංකාර නම් භික්ෂු ප්‍රතිරූපකයා නැවත මල්වතු මහා විහාර පාර්ශ්වයේ භික්ෂුවක් ලෙස සිය ආචාර්යත්වය යටතේ ලියාපදිංචි කරන ලෙස සාමණේර භික්ෂුන් පිළිබඳ ප්‍රකාශ පත්‍රයක් 2024.03.27 දිනැතිව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත සුමනසාර නාහිමියන් විසින් ඉදිරිපත් කිරීම මගින් මල්වතු මහාවිහාර ගරුතර කාරක සංඝ සභාව අපහාසයට පත්කර තිබෙන බව මේ සම්බන්ධයෙන් මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියන් නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ භික්ෂුවක ලෙස මහාවිහාර ධර්ම සම්ප්‍රදායන්ට හා ත්‍රිපිටක දේශනාවන්ට පටහැණිව බුදුරජාණන් වහන්සේ ලක්දිව ඉපදීම යන සාවද්‍ය මතවාදය ප්‍රචාරය කිරීම, චීවරය අවභාවිත කරමින් ශාසන විනාශයක් සිදුකරන මීවනපලානේ සිරි ධම්මාලංකාර නම් භික්ෂු ප්‍රතිරූපකයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ත්‍රෛනිකායික මහනායක මාහිමිපාණන් වහන්සේලා ජනාධිපති වෙත දන්වා යවා ඇති පසුබිමක එකී සංඝාඥාව අවඥාවට ලක් කරමින් සිය ආචාර්යත්වය යටතේ එම භික්ෂු ප්‍රතිරූපකයා නැවත මල්වතු මහාවිහාර පාර්ශ්වයේ භික්ෂුවක ලෙස ලියාපදිංචි කිරීමට තැත් කිරීමෙන් සංඝ සම්මුතීන්ට විරුද්ධව කටයුතු කිරීම හා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මල්වතු මහා විහාරයේ කීර්ති නාමය බරපතළ ලෙස විනාශ කිරීම යන චෝදනාව ද සුමනසාර හිමියන් වෙත එල්ල කර තිබේ.

මෙම සංඝ විරෝධී ක්‍රියාවන් හි බදුල්ලගම්මන සුමනසාර ස්ථවිර පාදයන් වහන්සේ නිරතව ඇති හෙයින් මල්වතු මහා විහාරීය ගරුතර සානුනායක කාරක මහා සංඝ සභාව විසින් උන්වහන්සේ වෙත ලබා දී තිබෙන වෙල්ලස්ස බින්තැන්න නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය අහෝසි කිරීමට මැයි මස 04 දින රැස් වූ ගරුතර සානුනායක කාරක මහා සංඝ සභාව එකමතිකව තීරණය කළ බවත් ඒ අනුව බදුල්ලගම්මන සුමනසාර ස්ථවිර පාදයන් වහන්සේ මෙතැන් සිට මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ප්‍රාදේශීය තෙරුන්නාන්සේ නමක් ලෙස කටයුතු නොකරන බව 2014.05.04 දිනැති ගරුතර සානුනායක කාරක මහ සංඝ සභාවේ නියමය පරිදි දන්වා සිටින බවත් මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරි නාහිමියන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment