මීහරකෙක් බේරන්න ගිය වන්දනා බසය තවත් බසයක ගැටී 10ක් රෝහලේ

38

මාදුරුඔය පාලම අසලදී

මහඔය අරලගංවිල මාර්ගයේ මාදුරුඔය පාලම අසලදී පෙරේදා (03 දා) රාත්‍රී 8.10ට පමණ වන්දනා බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් තුවාල ලැබූ දහ දෙනෙක් මහඔය මූලික රෝහලට ඇතුළත් කළ බව මහඔය පොලිසිය පවසයි.

මාර්ගයේ සිටි මී හරකෙක් බේරීමට ගිය එක් වන්දනා බසයක් අනෙක් පසින් පැමිණි වන්දනා බසයක ගැටී ඇතැයි මහඔය පොලිසිය පවසයි.

අනතුරට සම්බන්ධ එක් බස් රථයක් අම්පාර වීරගොඩ ප්‍රදේශයේ එකකි. එය අනුරාධපුර වන්දනාවේ ගොස් යළි එමින් සිටියදී අනතුරට පත්ව ඇත. අනෙක් වන්දනා බස් රථය කුරුණෑගල මහව ප්‍රදේශයේ බස් රථයකි. එය අම්පාර දීඝවාපිය වන්දනාමාන කර යළි ගම්බිම් බලා යමින් සිටියදී මෙලෙස අනතුරට පත්ව ඇත.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් මහඔය පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව මහඔය මූලික රෝහලට රැගෙන ගොස් ඇත. අනතුරින් වැඩිම තුවාල සිදුව ඇත්තේ අම්පාර උහන වීරගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්ටය.

මහඔය පොලිසියේ ස්ථානාධිපති පුධාන පොලිස් පරීක්ෂක ඒ. එම්. සී. ඒ. ආර්. අරම්පොල මහතාගේ උපදෙස් පරිදි මහඔය පොලිසියේ රථවාහන අංශය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

පදියතලාව විශේෂ – භාෂණ සත්‍යප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment