මුදල් අච්චු ගැසීමේ ඇත්ත-නැත්ත

392

කොවිඩ්-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව පෙර නොවූ අන්දමේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් අනුගමනය කිරීම හේතුවෙන් විශේෂයෙන්ම 2020 වසරේ මුල් භාගයේ සිට ශ්‍රී ලංකාව තුළ ‘මුදල් අච්චු ගැසීම’ ඉතා ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වී ඇති බව පෙනේ. ආර්ථිකයේ සංසරණය වන කාසි හා නෝට්ටු ප්‍රමාණය ඉහළ යෑම, බැංකු පද්ධතිය තුළ අතිරික්ත වශයෙන් පවතින මුදල් ප්‍රමාණය (ද්‍රවශීලතාව) ඉහළ මට්ටමක පැවතීම සහ ශ්‍රී ලංකා මහ බැංකුව සතු රාජ්‍ය සුරැකුම්පත් ප්‍රමාණය ඉහළ යෑමත් සමග මහ බැංකුවේ මුදල් අච්චු ගැසීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ආර්ථිකයේ විවිධ පාර්ශ්වකරුවන්ගේ විශේෂ අවධානය යොමු විය. සාමාන්‍යයෙන් බොහෝ රටවල මුදල් අච්චු ගැසීමේ අධිකාරීමය බලය ඒ ඒ රටවල මහ බැංකු සතු වන නමුත් ඇතැම් රටවල භාණ්ඩාගාරය හෝ මුදල් අමාත්‍යාංශය හෝ වෙනම රාජ්‍ය ආයතනයක් මගින් මුදල් අච්චු ගැසීම සිදු කරනු ලැබේ. ශ්‍රී ලංකාව තුළ මුදල් මණ්ඩල ක්‍රමය වෙනුවට 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපිත කළ දින සිට මුදල් අච්චු ගැසීමේ කාර්යභාරය මහ බැංකුවේ විෂය පථයට ඇතුළත් විය.

● මුදල් යනු කුමක්ද?

ආර්ථික විද්‍යාත්මකව මුදල් ලෙස හඳුනාගනු ලබන්නේ මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන මුදල් සහ, මහජනතාව විසින් මූල්‍ය ආයතනවල තබා ඇති තැන්පතු මුදල් යන කොටස් දෙකෙහිම එකතුව වේ. ආර්ථිකයේ ගනුදෙනු කිරීමේ හෝ හුවමාරු කිරීමේ මාධ්‍යයක් ලෙස මුදල් මූලික වශයෙන් හඳුනාගනු ලැබේ. මුදල් මගින් ඉටු කරනු ලබන ප්‍රධාන කාර්යයන් තුනක් පවතී. එනම්;

(i) අනාගත අවශ්‍යතා සඳහා වටිනාකම රැස් කර ගැනීම හෙවත් වටිනාකමේ සන්නිධියක් ලෙස කටයුතු කිරීම

(ii) මිල ගණන් ප්‍රකාශ කිරීමට නැතහොත් මූල්‍ය වටිනාකම මැනීමේ ප්‍රමිතියක් ලෙස එනම්, ගිණුම් ඒකකයක් ලෙස කටයුතු කිරීම

(iii) භාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනීම හෙවත් හුවමාරු මාධ්‍යයක් ලෙස යොදා ගැනීම; යන ඒවාය.

ආර්ථික විද්‍යාවට අනුව, පුද්ගලයින් ළඟ තබා ගැනීමට කැමැති සමස්ත මුදල් ප්‍රමාණය මුදල් සඳහා වන ඉල්ලුම ලෙස හැඳින්වේ. විවිධ හේතු නිසා පුද්ගලයින් මුදල් සඳහා ඉල්ලුම් කරන අතර, ආදායම් මට්ටම, පොලී අනුපාතික සහ රටේ පවතින උද්ධමනය මෙන්ම අනාගතය පිළිබඳ පවතින අවිනිශ්චිතතා ඇතුළු සාධක කිහිපයක් මගින් මුදල් සඳහා වන සමස්ත ඉල්ලුම තීරණය වේ. අනෙකුත් මූල්‍ය වත්කම්වලට සාපේක්ෂව මුදල් සඳහා වන සමස්ත ඉල්ලුම තීරණය කෙරෙන ප්‍රධාන සාධක තුනක් හඳුනාගත හැකිය. එනම්; (i) ගනුදෙනු සම්බන්ධ හේතු, (ii) පූර්වාරක්ෂණ හේතු සහ (iii) සමපේක්ෂණ හේතු යන ඒවාය.

පුද්ගලයින් විසින් තම එදිනෙදා ගනුදෙනු සිදු කිරීම සඳහා මුදල් ඉල්ලා සිටිනු ලබන අතර එම මුදල් ප්‍රමාණය ගනුදෙනු මුදල් ශේෂය ලෙස හැඳින්වේ. නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ වර්ධනය, භාණ්ඩ හා සේවා සඳහා වියදම් සිදු කිරීමේ ඉහළ ප්‍රවණතාව, තම ආර්ථික තත්ත්වයේ දියුණුව යනාදී සාධක කිහිපයක් මත ගනුදෙනු වෙනුවෙන් මුදල් සඳහා සිදු කරනු ලබන ඉල්ලුම රඳා පවතී. එමෙන්ම, සැලසුම් නොකළ හෝ අනාගතයේදී ඇති විය හැකි හදිසි වියදම් පියවා ගැනීම සඳහා වන පූර්වාරක්ෂණ ක්‍රියාමාර්ගයක් ලෙසත් මහජනතාවට මුදල් අවශ්‍ය වේ. නිදසුනක් ලෙස, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020/21 වසරවලදී සංචරණ සීමා පැවති කාල සීමාව තුළ මෙලෙස ආරක්ෂණ චේතනාව යටතේ මුදල් සඳහා විශාල ඉල්ලුමක් ඇතිවීම දැක්විය හැකිය.

මීට අමතරව ඉදිරි කාලයකදී ආයෝජනය සිදු කිරීම තුළින් වර්තමානයේ ලබා ගන්නා ප්‍රතිලාභයට වඩා ඉහළ ප්‍රතිලාභයක් අත්කර ගැනීම සඳහා හැකියාවක් පවතී නම් මහජනතාව අද දවස තුළ මුදල් ළඟ තබා ගැනීමට පෙළඹෙති. මෙය සමපේක්ෂණ අරමුණු හේතුවෙන් පුද්ගලයින් මුදල් ළඟ තබා ගැනීම ලෙස හඳුනාගනු ලැබේ. කෙසේ වෙතත්, ප්‍රතිලාභ අනුපාතය සහ මුදල් ළඟ තබා ගැනීමේ ආවස්ථික පිරිවැය මත මුදල් සඳහා වන සමපේක්ෂණ ඉල්ලුම රඳා පවතී. ඒ, ඉහත කරුණු අනුව සමස්ත මුදල් ඉල්ලුම තීරණය වනුයේ, තම ආදායම, ආර්ථිකයේ පවතින පොලී අනුපාතික මට්ටම විශේෂයෙන්ම තැන්පතු අනුපාතිකය, ආර්ථිකයේ මිල මට්ටම, ධනය, පුද්ගල කැමැත්ත, ගනුදෙනු පිරිවැය සහ සාමාන්‍ය ජනතාවගේ ගෙවීම් ක්‍රමවේද යනාදී විවිධ හේතු මත බව පැහැදිලිය. බැංකු පහසුකම් නවීන තාක්ෂණයත්, නව මූල්‍ය උපකරණත් සමග දියුණු වීම තුළ මුදල්, මුදල් ලෙස ළඟ තබා ගැනීමේ වැදගත්කම වර්තමානයේදී තරමක් අඩු විය හැකිය.

සමස්තයක් ලෙස, ජනතාවගේ මුදල් සඳහා වන සමස්ත ඉල්ලුම ඉහළ යන විට, ආර්ථිකයේ ඇති විය හැකි අධි ඉල්ලුම් පීඩන පිළිබඳව විමසිල්ලෙන් සිටින අතරම, මහ බැංකුවක්, ආර්ථිකය වෙත අලුතින් මුදල් නිකුත් කිරීමේදී මනාව ස්ථාපිත, ජාත්‍යන්තරව පිළිගත් යාන්ත්‍රණයක් අනුගමනය කිරීමෙන් පසුව නව මුදල් සඳහා වන ඉල්ලුම සපුරාලීමට සෑම ප්‍රයත්නයක්ම දරයි.

● මහ බැංකු මුදල් අච්චු ගසන්නේ කෙසේද?

මුදල් අච්චු ගැසීමේ ඇත්ත-නැත්ත

ජනප්‍රිය ව්‍යවහාරය අනුව මුදල් අච්චු ගැසීම යනු ආර්ථිකය වෙත අලුතින් මුදල් නිකුත් කිරීමේ ක්‍රියාවලිය වේ. ආර්ථික විද්‍යාත්මක වශයෙන් ගත් කල, මහ බැංකුවක් විසින් අලුතින් නිකුත් කරන මුදල් ප්‍රමාණය සංචිත මුදල් නිකුත් කිරීමක් ලෙස හඳුන්වනු ලැබේ. මහ බැංකුව විසින් සිදු කරනු ලබන මුදල් නිකුතුව මත පදනම්ව වාණිජ බැංකුවලට වැඩි මුදලක් නිර්මාණය කළ හැකි බැවින් සංචිත මුදල් රටක මුදල් පදනම නැතහොත් අධිබලැති මුදල් ලෙස ද හැඳින්වේ1. මෙම සංචිත මුදල් මහ බැංකුවේ මූල්‍ය වගකීමක් ලෙස සැලකේ. ඒ අනුව සංචිත මුදල් ලෙස හඳුනාගනු ලබන්නේ මහ බැංකුව විසින් නිකුත් කරන ලද සමස්ත කාසි හා නෝට්ටු ප්‍රමාණය, එනම් සංසරණයේ පවතින කාසි හා නෝට්ටු ප්‍රමාණය සහ වාණිජ බැංකු විසින් මහ බැංකුවේ තම පියවීමේ ගිණුම තුළ පවත්වාගෙන යනු ලබන තැන්පතු ප්‍රමාණය යන කොටස් දෙකේ එකතුවයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ සංචිත මුදල් ගණනය කිරීමේදී, රාජ්‍ය ආයතන කිහිපයක් විසින් මහ බැංකුවේ තැන්පතු කර ඇති මුදල් සහ ප්‍රාථමික වෙළඳුන්ගේ ගිණුම්වල ඇති මුදල් ශේෂයන් සලකා බලනු ලැබේ.

ගිණුම්කරණයේදී භාවිත වන මූලික නියමයක් වන වගකීම සහ වත්කම් සමාන වීම මහ බැංකුවේ ශේෂ පත්‍රයට ද අදාළ වේ. ඒ අනුව, මහ බැංකුවේ ශේෂ පත්‍රයේ වත්කම් අංශය සලකා බැලීමේදී, මහ බැංකුවේ ශුද්ධ විදේශීය වත්කම් (මහ බැංකුවේ මුළු විදේශීය වත්කම්වලින් විදේශීය වගකීම් අඩු කළ පසු ලැබෙන අගය) සහ ශුද්ධ දේශීය වත්කම්වල එකතුව සංචිත මුදල් ලෙස හඳුනාගත හැකි අතර එමගින් අදහස් වන්නේ මුදල් වගකීම නිර්මාණය කිරීම සඳහා එයට පාදක වූ වත්කමක් තිබිය යුතු බවය. 1884 සිට 1950 දක්වා කාලය තුළ ක්‍රියාත්මක වූ ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය (1884 අංක 32 දරන කඩදාසි මුදල් ආඥා පනත යටතේ පිහිටුවන ලද) යටතේ ශ්‍රී ලංකාවේ සංචිත මුදල් නැතහොත් රටෙහි මුදල් පදනම මුළුමනින්ම මුදල් මණ්ඩල ක්‍රමය සතුව තිබූ ශුද්ධ විදේශීය වත්කම් තොගය මත පදනම් විය.

විශේෂයෙන්ම, මුදල් මණ්ඩල ක්‍රමය යටතේ, විනිමය අනුපාතිකය තනි මුදල් ඒකකයක මත හෝ මුදල් පැසක (සංශෝධනයක් සිදු නොකළහොත්) වටිනාකම මත ස්ථාවරව පවතී. අපනයන ආදායම්, විදේශ ආයෝජන, විදේශ ප්‍රදාන සහ වෙනත් ලැබීම් හරහා අමතර විදේශීය වත්කම් ලැබීම් මගින් ව්‍යවහාර මුදල් මණ්ඩලය යටතේ ඇති ශුද්ධ විදේශීය වත්කම් වැඩි වේ. එලෙස ශුද්ධ විදේශ වත්කම් වැඩිවීමට සමගාමීව, ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය මගින් ආර්ථිකය වෙත අලුතින් මුදල් නිකුත් කිරීමෙන් රටේ මුදල් තොගය ද ඉහළ යනු ලැබේ. එසේම, මුදල් මණ්ඩලය තුළින් විදේශීය වත්කම් ශුද්ධ පදනමින් ගෙවීමක් නැතහොත් විදේශ වත්කම් රටින් පිටතට ගලායෑමක් ඇත්නම්, රටේ මුදල් සැපයුම ශුද්ධ විදේශීය ගෙවීම්වල වටිනාකමට සමාන ප්‍රමාණයකින් අඩු වේ.

1950 වසරේදී මහ බැංකුව පිහිටුවීමත් සමග මුදල් මණ්ඩල ක්‍රමයට වෙනස්ව මුදල් පදනම සඳහා මහ බැංකුව සතු ශුද්ධ විදේශීය වත්කම්වලට අමතරව ශුද්ධ දේශීය වත්කම් ද ඇතුළත් කරගත හැකි පරිදි මුදල් පදනම තීරණය කරගත හැකි ආකාරයට නීති රාමුව වෙනස් විණි. ඒ අනුව රටෙහි මුදල් පදනම මහ බැංකුව සතු ශුද්ධ විදේශීය වත්කම් මත පමණක් තීරණය වන්නක් නොවේ.

ආර්ථික විද්‍යාත්මක වශයෙන් ගත් කල, මහ බැංකුවට ආර්ථිකය වෙත අලුතින් මුදල් නිකුත් කළ හැකි ප්‍රධාන ක්‍රම දෙකක් තිබේ. එක් ක්‍රමයක් නම්, මහ බැංකුවේ ශේෂ පත්‍රයේ පවතින අනෙකුත් සාධක ස්ථාවරව තබා ගනිමින්, බලපත්‍රලාභී වාණිජ බැංකුවලට හෝ රජයට ණය ලබා දෙමින් අලුතින් මුදල් මුද්‍රණය කිරීමයි. එය දේශීය වත්කම් රැස් කිරීමක් ලෙස සැලකිය හැකිය. දෙවැනි ක්‍රමය නම්, අනෙකුත් සාධක ස්ථාවරව තබා ගනිමින්, දේශීය විදේශ විනිමය වෙළඳපොළ වෙතින් හෝ රජය වෙත ගලා එන විදේශීය මුදල් ලැබීම් තුළින් හෝ මහ බැංකුව විදේශ විනිමය මිලදී ගැනීම මත පදනම්ව අලුතින් මුදල් මුද්‍රණය කිරීමය. මෙය විදේශීය වත්කම් රැස් කිරීමක් ලෙස හැඳින්විය හැකිය. ඒ අනුව, මෙකී දෙයාකාරයෙන්ම වත්කම්වල වටිනාකම සංචිත මුදල් යන්නට ඇතුළත් වේ.

මහ බැංකුව විසින් ශුද්ධ විදේශීය වත්කම් රැස් කිරීම රටකට විදේශ විනිමය ගලා එන ක්‍රම කිහිපයක් තිබේ. රට තුළ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා අපනයනය කිරීම මගින් ලබා ගන්නා ඉපැයීම්, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ, සංචාරක ඉපැයීම්, විදේශ ආයෝජන ලෙස රට තුළට ගලා එන විදේශ විනිමය ප්‍රවාහ, විදේශ රටවලින් ණය ගැනීම් සහ දේශීය ආයෝජකයන් ලබන ලාභ සහ වෙනත් විදේශ විනිමය ආදායම් ඇතුළු විවිධ ලැබීම් හරහා ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා ගැනීමේ අවස්ථාව පවතී. සමස්තයක් ලෙස, එවැනි විදේශ විනිමය ලැබීම් වැඩි ප්‍රමාණයක් වාණිජ බැංකු වෙත ඒවායේ ගිණුම් හිමියන් වෙනුවෙන් ලැබෙන ඒවාය. රජය විසින් විදේශ රටවලින් ලබා ගන්නා ණය හෝ වෙනත් රජයන්, පරිත්‍යාගශීලී ආයතන සහ බහුපාර්ශ්වික මූල්‍ය ආයතන වෙතින් ලැබෙන ප්‍රදාන රජය වෙනුවෙන් මහ බැංකුව වෙත ලැබේ. රජය එම මුදල් මහ බැංකුවට විකුණන විට එම විදේශ විනිමය ප්‍රමාණය මහ බැංකුවේ ශුද්ධ විදේශීය වත්කම් ලෙස එකතු වේ.

පුද්ගලයින්ට, සමාගම්වලට මෙන්ම රජයට වෙළඳ භාණ්ඩ ආනයනය සඳහා ගෙවීමට, ණය සේවාකරණ ගෙවීම් සිදු කිරීමට, විදේශ සංචාර සඳහා ගෙවීමට, විදේශිකයන් ලංකාව තුළ සිදු කර ඇති ආයෝජන තුළින් ලබා ගන්නා ලාභ හෝ ආදායම් ප්‍රේෂණය කිරීමට සහ විදේශ ණය ගෙවීමට විදේශ විනිමය අවශ්‍ය වේ. විශේෂයෙන්ම, විදේශ ණය ආපසු ගෙවන විට රජය සතුව විදේශ විනිමය නොමැති නම් රජය වෙනුවෙන් එවැනි විදේශ ණය ආපසු ගෙවීම් මහ බැංකුව විසින් සිදු කරනු ලැබේ. එමගින් මහ බැංකුවේ ශුද්ධ විදේශීය වත්කම් ප්‍රමාණය අඩු වේ. එවැනි අවස්ථාවලදී විදේශ ණය පියවීම සඳහා රජය විසින් ශ්‍රී ලංකා රුපියල් ද මහ බැංකුවෙන් ණයට නොගන්නේ නම් රජය විසින් මහ බැංකුවට එම විදේශ විනිමය ප්‍රමාණයට සමාන මුදලක් ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවිය යුතු වේ. එවිට පවතින රුපියල් මුදල් තොගය අඩු වීමක් සිදු වේ. බැංකු අංශය විසින් ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන්ගේ එවැනි විවිධාකාර විදේශ විනිමය ගෙවීම් අවශ්‍යතා සපුරාලීමෙන් අනතුරුව වාණිජ බැංකු සතුව අතිරේක විදේශ විනිමය ප්‍රමාණයක් පවතී නම්, මහ බැංකුවට වාණිජ බැංකුවලින් එම අතිරේක විදේශ විනිමය මිලදී ගැනීමට හැකිය. එම මිලදී ගැනීම් මහ බැංකුවේ ශුද්ධ විදේශීය වත්කම්වලට එකතු වේ. එලෙස විදේශ විනිමය රැස් කරන විට, මහ බැංකුව විසින් අදාළ වාණිජ බැංකු වෙත එම විදේශ මුදලට සමාන වටිනාකමක් සහිත ශ්‍රී ලංකා රුපියල් නිකුත් කළ යුතු වන අතර එය ආර්ථිකය වෙත අලුතින් මුදල් මුදාහැරීමකි.

මහ බැංකුව වාණිජ බැංකු හෝ රජය සමග විදේශ විනිමය ගනුදෙනු සිදු කිරීම මගින් එහි ශුද්ධ විදේශීය වත්කම් ප්‍රමාණය වෙනස් වේ. එමගින් මහ බැංකුව රට තුළ පවතින ශ්‍රී ලංකා රුපියල් තොගයට බලපෑම් ඇති කරයි. කෙසේ වෙතත්, මෙවැනි විදේශ විනිමය ගනුදෙනු තුළින් ශ්‍රී ලංකා රුපියල් මුදල් තොගය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වුවහොත්, රටේ මුදල් ප්‍රසාරණය අවම කිරීම සඳහා මහ බැංකුව විසින් තම රාජ්‍ය සුරැකුම්පත් විකිණීමේ ක්‍රියාවලිය හරහා එවැනි අතිරික්ත මුදල් තොග ආර්ථිකයෙන් ඉවත් කර ගැනීම හෙවත් අවශෝෂණය කර ගැනීම සිදු කරනු ලබයි.

ඉතිරිය ලබන සතියට…

ජානක එදිරිසිංහ
අංශ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ අර්ථශාස්ත්‍රඥ
මුදල් සහ බැංකු අංශය
ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව

advertistmentadvertistment
advertistmentadvertistment