මුදල් අච්චු නොගසා වැට් බද්ද වැඩි නොකළොත් කනගාටුයි; විදුලි බිල වැඩි කරන්න වෙනවා – ජනපති රනිල් වික්‍රමසිංහ

156

විදුලිය දිගටම දෙන්න නම් විදුලිබිල සංශෝධනය කළ යුතුමයි – විදුලිබල ඇමැති කංචන විජේසේකර

ව්‍යාපාරිකයන්ට සහනයක් නුදුන්නොත් මුළු ආර්ථිකයම කඩා වැටෙනවා – අනුර කුමාර දිසානායක

මුදල් අච්චු නොගසා, වැට් බද්ද වැඩි නොකරන්නේ නම් විදුලිය ගාස්තු වැඩි කිරීම වැනි ජනප්‍රිය නොවන තීරණය කණගාටුවෙන් වුවද ගැනීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) පැවසීය. අයවැය තුන්වන කියවීමේ අවසන් දින විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. නිවේදන, ලිපිලේඛන, වාර්ෂික වාර්තා, ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, 27/2 යටතේ පක්ෂ නායකයන් විසින් විශේෂ ප්‍රශ්න විමසීම හා ඒවාට පිළිතුරු සැපයීමෙන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අවසන් දිනයට ආරම්භ විය.

ඒ අනුව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සහ ඊට අදාළ දෙපාර්තමේන්තුහි වැය ශීර්ෂයන් පිළිබඳ විවාදය ආරම්භ කරමින්,

පත් කළ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා (ස.ජ.බ) –

මේ අයවැය හරියට අහසේ තිබෙන අයවැයක් වගේයි හදලා තිබෙන්නේ. මේක නිළධාරීන් හදපු අයවැයක් නෙවෙයි. දේශපාලන හස්තයක් විසින් තමයි මෙය නිර්මාණය කර තිබෙන්නේ. උගත් නිළධාරීන් කියන දේවල් ටිකක් ඇහුවානම් හොඳයි කියලාත් මම හිතනවා. මේක යථාර්ථවාදී අයවැයක් නොවෙයි. අනිවාර්යයෙන්ම මේක ෆේල් අයවැයක් වෙනවා. පසුගිය කාළයේ සීනි බද්ද ශත 25ට අඩු කලා. තවමත් සීනි බද්ද ශත 25මයි තිබෙන්නේ. ඒ නිසා බිලියන 57ක අලාභයක් මේ දෙසැම්බර් වන විටත් තිබෙන්නේ. ඇයි මේක වැඩි කරන්නේ නෑත්තේ. දුම්කොළ බදු බලන්න ඒ දුම්කොල බදු ගැහුවහම ඒ බද්ද ගිහිල්ලා තිබෙන්නේ වැඩිපුර ආන්ඩුවට නොවෙයි. ඒ නිසා මේවාට මිල සූත්‍රයක් ඕනා.

බදු ගහන්නේ රටේ ආදායම ඉහළ දාන්න. සෞඛ්‍යයත්, අධ්‍යාපනයත් නැංවීමට, මේ බදු පැනවීමටත් මිල සූත්‍රයක් අවශ්‍ය වෙනවා. වැඩි කළොත් වැඩි ප්‍රමාණය ආණ්ඩුවට ලැබිය යුතුයි. මිල සූත්‍රයක් දැම්මොත් රුපියල් බිලියන 35 ත් -45 ත් අතර තව මුදලක් රජයට ලබාගත හැකියි. මේවා වහාම කළ යුතුයි. රැඳවුම් බද්ද වැඩි කළොත් විශාල මුදලක් ආණ්ඩුවට ගන්න පුළුවන්. තව රුපියල් බිලියන 200 ක් පමණ වැඩිපුර උපයාගත හැකියි. මුදල් සෙවීම ගැන මුල්තැන දිය යුතුයි. සීනි රැඳවුම්, දුම්කොළ, ආදී බදු පැනවීමෙන් වැඩි මුදලක් ලබාගත හැකියි. ආරක්‍ෂක අංශයේ ආහාර හා නිල ඇඳුම්වලට රුපියල් බිලියන

56 ක් විතර යනවා. අපි දැන්වත් එකවර නැගිටින්න තීරණ ගනිමු. නැතිනම් ආජන්ටිනාව වගේ එකතැන කැරකෙන්න වේවි. ජාත්‍යන්තරය අපේ බෙල්ල මිරිකයි. ඉක්මන් තීරණ ගනිමු.

සෞඛ්‍ය, අධ්‍යාපනය වැදගත්. දුගී අයව ආරක්‍ෂා කළ යුතුයි. යටිතල පහසුකම්, වියදම් අඩු කරලා මේවායේ විසඳුම් වැඩිකළ යුතුයි. ප්‍රසූත නිවාඩුවලට බිලියන 06යි පුද්ගලික අංශයට යන්නේ. එම මුදල වෙන් කරන්න.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය –

බිඳවැටුණු ගොඩනැඟිල්ලක් පදනමේ සිට ගොඩනඟන ආකාරයට ආර්ථිකය නැංවීමට සිදුවී තිබෙනවා. අයවැය හිඟය පියවා ගන්නේ ණය මගින්. ඒත් අපි ණය නොගෙවන නිසා ජාත්‍යන්තර ණය ලැබෙන්නේ නෑ. ඒ මුදල අපි සොයාගත යුතුයි.

විපක්‍ෂයට බලය ගන්න අවස්ථාව තිබියදීත් ඔවුන් ගත්තේ නැත්තේ අභියෝගයට මුහුණ දිය නොහැකි නිසයි. අපි ඒ අභියෝගයට මුහුණ දෙනවා. විපක්‍ෂය මේ විවාදයෙත් සියයට 60 ක්ම කතාකර ඇත්තේ දේශපාලන කරුණුයි. ඉතිරි සියයට 40න් සියයට 80ක්ම කතා කර ඇත්තේ පැරණි කතා පමණයි. ආර්ථික අර්බුදයෙන් ගොඩට පැමිණිය හැකි ආකාරය හා අනෙකුත් විකල්ප ගැන කතා කර ඇත්තේ සියයට 1.6 ක් පමණයි.

අපිට පැවැති තත්ත්වයට වඩා රටේ වෙනසක් පේනවා, පෝලිම් නෑ. පොහොර ලැබෙනවා. ගෑස්, විදුලිය තියෙනවා. රට යම් තැනකට ගෙනවිත් තිබෙනවා. අපේ අපනයන අඩුවී තියෙනවා. විදෙස් ප්‍රේෂණ වැඩිවෙලා. අපනයන ක්‍රමයෙන් වැඩි වෙනවා. ක්‍රමයෙන් යථා තත්ත්වයට යමින් පවතිනවා. ආර්ථිකයේ විවිධ මිනුම් හොඳ පැත්තට ගමන් කරමින් පවතිනවා. මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මේ කාර්යයට විශාල සහයක් ලබා දෙනවා.

රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම –

සෑම අමාත්‍යාංශයකම අතිරේක ලේකම්වරයෙක් පත් කරලා ආයෝජන ප්‍රවර්ධනයට සහය දිය යුතුයි. තනි අමාත්‍යාංශයකට එය කළ නොහැකියි.

රටට ඩොලර් ලබාගත හැක්කේ ආයෝජන හා සංචාරක කර්මාන්තය මගින් පමණයි. ලොව තිබෙන ලොකු ආයතන 194 ටම මම කතා කරලා ලංකාවේ ආයෝජනයට දිරිගන්වන්න අපි කටයුතු කරමින් ඉන්නවා. විදේශ අමාත්‍යාංශය ඊට සහය දෙනවා.

භූ විiා කාර්යාංශයේ සභාපති වෙරළ සංරක්‍ෂණය අපිට විශාල සහයක් දෙනවා. ආයෝජන 73 ක් හිරවෙලා තිබුණා. එහි 60 ක් අත්සන් කරන්න හැකි වුණා. අපි අලුත් පැකේජ් සකස් කරනවා ආයෝජකයන් වෙනුවෙන්. ලංකාවේ ආයෝජනය කළ හැකි ප්‍රදේශවල කඩිනමින් ආයෝජනය කළ හැකි ලෙස අවශ්‍ය පහසුකම් කලින් සකස් කරනවා. හෙට ආවත් ආයෝජනය කළ හැකියි.

කල්පිටිය දූපත් ආශ්‍රිතව දූපත් 60 ක් තුළ සංචාරක ව්‍යාපෘති ගේන්න සැලසුම් කරමින් පවතිනවා. මාලදිවයිනේ දූපත්වලට වඩා විශාල දූපත් තිබෙනවා.

අපනයනකරුවන් සමග ගම්මාන ඇති කරනවා. අපනයනකරුවාට අවශ්‍ය පහසුකම් හා අපනයනයට දිරිගැන්වීම ගම්වලම සිදුකරනවා. සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදනකරුවන් අපනයනකරුවන් බවට පත් කිරීමටත් සැලසුම් ඇති කරනවා.

පෝට් සිටි ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ගැසට් සකස් වෙනවා. සමාගම් හයක් එහි දැනටමත් ආයෝජනයට සූදානමින් ඉන්නවා. නෙළුම් කුලුනෙන් රුපියල් මිලියන 218 ක් ආදායම ලබා තිබෙනවා.

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර

අද තෙල් නිධි, ගෑස් නිධි ගැන කතා කරන්නේ නෑ. විදුලිබල කප්පාදුවක් නැති කරන්නයි අපි සැලසුම් කරන්නේ. අපට තිබූ ණය බරෙන් වැඩි ප්‍රමාණයක් ගෙවා අවසන්.

අද අපට බැංකු පද්ධතියෙන් පවා ණය ලබා ගැනීමටත් ණය හිමියන්ගෙන් ණය ලබාගත හැකි ආකාරයටත් පත්වී අවසන්. පුණර්ජනනීය ව්‍යාපෘති 12 කට ගිවිසුම් අත්සන් කර අවසන්. වසර 12 ක් තිස්සේ මේවා කරන්න බැරිව සිටියේ. රාජ්‍ය ආයතන කිහිපයක වාර්තා ලැබුණු වහා ක්‍රියාත්මක වෙනවා. ජල විදුලිය, පානීය ජලය, පුද්ගලීකරණය කරන්න යනවා කියලා චෝදනා කරනවා. බලාගාර රජයේ යටතේ පැවතිය යුතුයි කියන මතයේ අපි ඉන්නේ.

විදුලි බිල සංශෝධනය කිරීමට ඉල්ලුවා. අඛණ්ඩව විදුලිය දිය යුතුයි. ඉදිරි කාලයේ සංචාරක කර්මාන්තය දියුණු විය යුතුයි. කර්මාන්ත දියුණු විය යුතුයි. ජනවාරි මාසයේ සංශෝධනයක් ගියොත් විතරයි විදුලිය දිගටම දිය හැක්කේ.

විපක්‍ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල –

ආණ්ඩුව ජනතාවට බුරුලක් දීලා තියෙන්නේ ණය නොගෙවන නිසයි. එය ආර්ථික ජයග්‍රහණයක් නොවෙයි. ණය නොගෙවීම නිසා සල්ලි ඉතුරු වෙනවා. ඉන් ජනතාවට සහන දෙනවා. මේ ආණ්ඩුව නිසා ජනතාව දහදුක් විඳිනවා. අවුරුදු දෙකහමාරක් රට විනාශ කළා.

1953 සිට හැම රජයක්ම අපනයනකරුවන්ගේ මුදල් රටට ගෙන්වන්න වැඩ කළා. 94 සිට 2014 දක්වා මේ මුදල් ගේන්න ඕන කියන ගාන අහෝසි කළා. අපනයනය කළාම දින 100ක් ඇතුළත රටට ගෙන ආ යුතුයි. 2016 දී තමයි නැවත නීතියක් ගෙනාවේ දින 100 කින් ගෙන ආ යුතු බවට. මූල්‍ය අරමුදලට දුන්නු පොරොන්දු රටට හෙළි කරන්න. අපි දන්නේ නෑ දුන්නු පොරොන්දු මොනවද කියලා. විදුලිබිල දැනටමත් දරාගන්න බැහැ. ඇමැතිට විදුලි බිල වැඩිකරන්න බැහැ. මෙහෙම වැඩිකරන්න එපා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ –

රටේ අර්බුදය ඇතිවුණේ පැවැති ආණ්ඩුවල ආර්ථික මොඩල නිසයි. ණයට කාලා ජීවත් වුණේ කමක් නැහැ කියලා පාලකයෝ සැප වින්දා. පාලකයෝ දාපු අර්බුද ඔවුන්ම වාසියට හරවා ගත්තා.

ජපානයේ සංචාරක වීසා ගතයුතු වන්නේ ලංකාවට හා උතුරු කොරියාවට පමණයි. අනෙකුත් රටවලට නෑ. මේ තත්ත්වය නිවැරදි කර ගන්න කවුරුවත් ක්‍රියාකර නෑ. පාසල් උපකරණ කිහිප ගුණයකින් වැඩිවෙලා. අධික බදු ඉවත් කරලා පොත්පත් ගන්න අවස්ථාව සලසන්න. ආබාධිතයන්ට ලංකාවට ගෙන එන උපකරණවලට බදු ඇත්නම් ඉවත් කිරීමට කටයුතු කරන්න.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි –

සිගරට් බද්ද වැඩි කිරීමට මිල සූතයට අනුව වැඩි කළේ නෑ. ඒ ගැන ඇහුවම උත්තර නෑ. කැසීනෝවලින් බදු අරගෙන තියෙන්නේ රුපියල් බිලියන 1.1 ක් පමණයි. නිවැරදි ආදායමට නිවැරදි බදු ගත්තා නම් මේ තත්ත්වය ඇති වන්නේ නෑ. අය කළ නොගත් බද්ද අය කර ගත්තානම් පීඩනය තව අඩුවෙනවා. ඉන්දියාවේ තත්ත්වය බලන්න. ජනතාව පෙළෙන්නෙ නැතිව ආදායම උපයා ගන්න පුළුවන්.

නාස්තිය නවත්වන්න. දූෂණයට ඇති ඉඩ නවත්වන්න.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් සුමිත්‍රආරච්චි (ශ්‍රීලපොපෙ)-

මේ රටේ ජනතාවට හෝ ජාත්‍යන්තරයට ආණ්ඩු මාරු කරන්න අවශ්‍ය නෑ. විපක්‍ෂය ජනතාවගේ පීඩනය හරහා තමන්ගේ බඩ වඩා ගන්න හදනවා. ජනතාව දැඩි පීඩනයක සිටියා. දැන් ක්‍රමානුකූලව රට යථා තත්ත්වයට පත් වෙමින් යනවා. තව මාස හත අටකින් රට ස්ථාවර වේවි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජාජබ) –

ආණ්ඩුවේ ඇමැතිවරු දැන් කරන්නේ මේ පවතින ආර්ථික අර්බුදය යහපත් තත්ත්වයකට පත්වෙමින් පවතිනවා වාගේ අදහස් දැක්වීම්. අපට මතකයි ඒ කාලයේ ඇමැතිවරයෙක් කිව්වා රුපියල් අඩුවක් නෑ, ඩොලර් හිඟයක් නෑ කියලා. ඒත් රටට මොකද වුණේ. අද අපි ණය ගෙවන්නේ නැතුව තමයි කටයුතු කරන්නේ. මේ ආර්ථික අර්බුදයේ ගැඹුර දකින්නේ නැතුව මතුපිට තත්ත්වය දකිමින් එය යථා තත්ත්වයට පත්වනවා වගේ විහිළු ජනක කතා කියනවා. පරණ තිබුණු ආර්ථික අර්බුදය කඩදාසියකින් වසා දැමීම පමණයි වත්මන් පාලකයන් විසින් සිදුකර තිබෙන්නේ. අද ජනතාව ඉතා අසීරුවෙන් ජීවත් වන්නේ. ඒ අය තමාගේ අවශ්‍යතා සීමා කරගෙන ජීවත් වන්නේ. අද කර්මාන්තකරුවා ඉතා අසීරුවෙන් සිටින්නේ. අද සමහර බැංකු රිකවරි සඳහා යම් මැර කණ්ඩායම් භාවිතා කරන තත්ත්වයට ඇවිත්. ව්‍යාපාරිකයෝ සියදිවි නසාගන්න තත්ත්වයකට ඇවිත් තිබෙන්නේ.මේ ව්‍යාපාරිකයෝ මංකොල්ලකාරයෝ නොවෙයි. ඒ නිසා මේ පවතින නීති වෙනස් කරලා යම් සහනයක් දෙන්න. මේ ව්‍යාපාරිකයෝ කඩා වැටුණහොත් මුළු ආර්ථිකයත් ජන ජීවිතයත් කඩා වැටේවි.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා-

මහවැලි ඉඩම් සඳහා අපි විශාල ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. දැන් අපි බලන්න ඕන ආණ්ඩුවට අයත් ඉඩම් මොනවද කාටද දීලා තිබෙන්නේ කියලා. ඉඩම් තිබෙනවා නම් ඒවා ජනතාවට හරියට යන්න ඕන. ඒ නැවත පදිංචිකිරීම් සඳහා. දැන් ඒ ඉඩම් දීගෙන යනවා. ඒ වගේම රජයේ නොවන විශ්වවිද්‍යාල පිහිටුවීම ගැන කතා වුණා. අපි ලබන 12, 13 හමුවෙලා කතා කරලා මේ ගැන තීරණයක් ඉක්මනින් ගමු. ඊට පස්සේ පුළුවන් අපට ඒ විශ්වවිiාල ටික පිහිටුවන්න. අප විදුලිය

ගාස්තු වැඩි කළා. ඒත් ඒක මදි. 2013 සිට අපේ අලාභය බිලියන 300යි. අපට දැන් ඒ මුදල හොයන්න වෙලා තිබෙනවා. ඒ වගේම ලබන වසරේදී අපට නියඟයක් එයි කියනවා. නියඟයක් ආවොත් අපට වැඩිපුර බිලියන 20ක් අවශ්‍ය වෙනවා. ආණ්ඩුවට ආදායමක් නෑ. එහෙනම් අපි කොහොමද මේක හොයා ගන්නේ. මුදල් අච්චු ගහන්නත් බෑ. එහෙනම් වැට් බද්ද වැඩි කරමුද? ඒක වැඩි කරලා වැඩි කරලා දැන් භාණ්ඩ මිල ඉහළ යන ප්‍රශ්නයක් එනවා. තුන්වෙනුව තිබෙන්නේ ගාස්තු වැඩි කරන්න. අපට විදුලිබල කප්පාදුවක් කරන්න පුළුවන්. ඒත් මම ඒකට කැමති වුණේ නෑ උසස් පෙළ විභාගය පෙබරවාරි දක්වා තිබෙන නිසා. දෙමව්පියෝ කිව්වේ මොකක් වැඩි කළත් කමක් නෑ විදුලි බලය නැති කරන්න එපා කියලයි. අපි මේ ගැන කතා කළා. කවුරුවත් කැමති නෑ මේවා වැඩි කරන්න.

මේ හැමෝම දේශපාලනය කරන්නේ. ජනතාවට තිබෙන බරත් අපි දන්නවා. මේ ආර්ථිකය අපි බොහොම අමාරුවෙන් කරගෙන යන්නේ. අපි චීනය එක්කත් කතා කරලා තිබෙන්නේ ඊළග පියවරට යන්න. අපිට මේ අලාභය විතරක් පෙන්නලා ලාභ පෙන්නන්නේ නැත්නම් අපිට මේ ආධාර පිටින් ලැබෙන්නේ නෑ. අපි බොහොම කණගාටුවෙන්, අකමැත්තෙන් හරි මේක කරන්න කියලා හිතුවා. රටක් ගැන හිතලා වැඩ කරන්න වෙනවා. ජනප්‍රිය නොවන තීරණ ගන්න වෙනවා. ඒත් ඒ ගන්න තීන්දු නිසා අනාගතය හොඳ වෙන්න යනවා. අපි හැමදාම ජනප්‍රිය නොවන තීන්දු නොගත්ත නිසයි අද අපි මෙතැන ඉන්නේ. 2013න් පසුව අපි විදුලිබිල වැඩි කරලත් නෑ. ඒකට අපි හැම කෙනෙක්ම වගකියන්න ඕන. අනෙක් රටවල් අමාරු තීරණ ගත්තා. අපි ඒකෙන් පැනලා ගියා. දැන් අහනවා අපි මොකක්ද කරන්න යන්නේ කියලා. මම තමයි මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත හැදුවේ. ඉතින් මම දන්නවා ඒ ගැන මෙහි බලය තිබෙන්නේ ජනාධිපතිටයි, විෂයභාර ඇමැතිවරයාටයි. අනෙක මේක තිබෙන්නේ මගේ අමාත්‍යංශය යටතේයි. ඉතින් මම නොදන්නවායැ. මම දන්නෑ ඇයි මෙහි සභාපති ජනතාව නොමඟ යවන්නේ කියලා. එහෙම බලයක් එයාට තිබෙනවාද? එහෙනම් කොහොමද ආර්ථිකය ගෙනියන්නේ. ඔහුට සමාගමක් තිබෙනවා මිලියන් කියලා. ඒ වගේම ඔහුට සුඛෝපභෝගී නිවාස සංකීර්ණ තිබෙනවා. ඒවාට කොතරම් විදුලිය අවශ්‍යද. විලාස් පවා තිබෙනවා. විදුලි බලය වැඩි වුණහම එතුමාගේ වියදම් වැඩි වෙනවා. ටි්‍රලියම් කියන සමාගමක් තිබෙනවා ඔහුට. දැන් අපට මාස හයක් සඳහා ගල් අගුරු ගන්න වෙනවා. මම එදා අගමැති වුණහම මේ මාස හයකට

ගන්න ඕන නිසා අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කර්මාන්ත ගැන ප්‍රශ්නය කිව්වා. ඒ වාගේම බැංකුවලටත් ප්‍රශ්නයක් තිබෙනවා. අපි දැන් කතා කරගෙන යනවා අයිඑම්එෆ් එකත් එක්කත් මේ ප්‍රශ්න ගැන කතා කරගෙන යනවා. අපි තවම මූලික ප්‍රශ්න ටික විතරයි කතා කරලා තිබෙන්නේ. අයිඑම්එෆ් එකත් එක්ක අපිට කතා කරන්න තිබෙනවා. අපි තීරණ අරගෙන ඉදිරියට යමු.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – විදුලි බිල සියයට 75 කින් විතර වැඩිවුණා. දැන් ආයෙත් වැඩි වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් වේවි.

රනිල් වික්‍රමසිංහ මහතා – අපි බලනවා සහන ක්‍රමවලට යන්න. ඒත් මේක කඩන් වැටුණොත් අපි කාටවත් ජීවත් වෙන්න බැරි වෙනවා. මේක ඉතා අමාරු ප්‍රශ්නයක්. මෙනෙවා හරි කරලා රට ගොඩ නඟමු.

කබීර් හෂීම් මහතා – ජනතාවට ප්‍රශ්න තිබෙනවා. නමුත් අපට තිබෙන ප්‍රශ්නය තමයි මේ ප්‍රශ්න නිර්මාණය කළ අය තවම නිදැල්ලේ ඉන්නවා. අජිත් නිවාඩ් කබ්රාල් රට නොමඟ යැව්වා. මේ ගැන පරීක්ෂණ කරන්න කොමිසමක් පත් කරන්න.

රනිල් වික්‍රමසිංහ මහතා – මේ ගැන තේරීම් කාරක සභාවක් පත් කරන්න පුළුවන්. ඒ ගැන තීරණයක් ගන්න.

පාර්ලිමේන්තුව අද (09 දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment