මුදල් අයකර උතුරු මුහුදේ මසුන් මැරීමට ඉන්දියානුවන්ට ඉඩදීමේ සැලසුම අහෝසියි

37

ධීවර ඇමැතිගෙන් උතුරේ ධීවර සංගම්වලට පොරොන්දුවක්

මුදල් අයකිරීමේ ක්‍රමයක් මත ඉන්දීය ධීවරයන්ට උතුරු මුහුදේ මසුන් මැරීමට අවසර ලබා දීමට හිටපු ධීවර ඇමැතිවරයා විසින් සිදු කොට තිබූ සැලසුම ක්‍රියාත්මක නොකරන බව වත්මන් ධීවර ඇමැතිවරයා පෙරේදා (10 දා) උතුරේ ධීවර සංගම් නියෝජිතයින්ට ප්‍රකාශ කොට තිබේ.

ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසුවේ හිටපු ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා රජය හා ධීවර දෙපාර්තමේන්තුව සමග මීට ඉහතදී සාකච්ඡා පවත්වා ඉන්දීය ධීවරයින්ට උතුරු මුහුදේ මසුන් මැරීමට අවස්ථාවක් ලබා දීමට පියවර රැසක් අනුගමනය කිරීමට කටයුතු සූදනම් කොට තිබූ බවයි.

එවැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තුළින් ඉන්දු – ලංකා ධීවර ගැටලුවලට කිසිම ආකාරයක විසඳුමක් නොලැබෙන බව ප්‍රකාශ කළ ධීවර ඇමැතිවරයා කළ යුතු එකම විකල්පය වන්නේ ඉන්දීය රජය හා ශ්‍රී ලංකා රජය සෘජුවම සාකච්ඡා කොට ඉතා සුහදශීලීව මේ ප්‍රශ්නයට විසඳුමක් සපයා ගැනීම බවයි. මේ වන විට ඉන්දීය ධීවරයින් වැඩි වශයෙන් උතුරු මුහුද ආක්‍රමණය කිරීම වැඩි වී ඇති මොහොතක කුමන හෝ අවසරයක් ඉන්දීය ධීවරයන්ට උතුරු මුහුදට පැමිණීමට ලබා දුනහොත් එය විශාල තර්ජනයක් මෙන්ම විසඳා ගත නොහැකි ප්‍රශ්නයක් බවට පත්වන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ඉන්දීය රජය සමග සාකච්ඡා කොට මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගන්නා තුරු බලහත්කාරයෙන් උතුරු මුහුදට පැමිණෙන ඉන්දීය ධීවරයින් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණවලට ඉදිරිපත් කිරීම නතර නොකරන බවද ධීවර ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රකාශ කළේය.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment