මුදල් කාරක සභාවේ ඉල්ලීම මහ බැංකු කාර්ය මණ්ඩලයට හා වෘත්තීය සමිතිවලට දන්වයි

74

මහ බැංකුවේ වැටුප් වැඩිකිරීම නැවත සලකා බලන ලෙස පාර්ලිමේන්තු මුදල් කාරක සභාව විසින් සිදු කළ ඉල්ලීම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් සියලුම මහ බැංකු කාර්ය මණ්ඩලයට සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ වෘත්තීය සමිති වෙත දැනුම්දී ඇත.

පාර්ලිමේන්තු මුදල් කාරක සභාව විසින් පසුගියදා මහ බැංකු අධිපතිවරයා ප්‍රමුඛ මහ බැංකු පාලක මණ්ඩල සමාජිකයන් කැඳවා සිදු කළ සාකච්ඡාවේ දී මෙම වැටුප් වැඩිකිරීම නැවත සලකා බලා වාර්තාවක් ලබා දෙන ලෙස මහ බැංකු පාලක මණ්ඩලයට නිර්දේශ කර තිබේ.

මෙම නිර්දේශ ප්‍රකාරව මහ බැංකු අධිපතිවරයා විසින් ඒ සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරීන් හා වෘත්තීය සමිති නියෝජිතයන් දැනුවත් කර ඇති අතර, මහ බැංකු පාලක මණ්ඩලය සාකච්ඡා කර එම වැටුප් වැඩිකිරීම ගැන නැවත සලකා බැලීමට නියමිතය. ඒ අනුව එම සමාලෝචනයෙන් පසු මහ බැංකුව විසින් පාර්ලිමේන්තු මුදල් කාරක සභාව වෙත වාර්තාවක් ලබාදීමට අපේක්ෂා කරයි.

එහෙත් වැඩි කළ මහ බැංකු කාර්ය මණ්ඩලයේ වැටුප් අඩු කරන ලෙස මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් යෝජනා කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත්, මහ බැංකු අධිපතිවරයා එවැනි කිසිදු යෝජනාවක් පුද්ගලිකව ඉදිරිපත් කර නැති බවත්, මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ගයකින් ‘දිවයින’ ට වාර්තා වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment